පිය පරපුරේන් ලද වෙදකමට නව අරුතක් දුන් වෙදැදුරා

200

මේ කාලය වැඩියෙන් අසන්නට ලැබෙන්නෙ මිය යාම් ගැනය. බාල තරුණ මහලූ ජීවිත අහිමිවීම් ගැනය. බලාපොරොත්තු සහ අපේක්ෂාවන් අතරමැදි අත්හරින්නට සිදුවන්නෙ අනපේක්ෂිත මරණයන් සමගය.

සිය ජීවිතයෙ ඉලක්ක සහ අරමුණු කරා ළ`ගාවූ, ජීවිතයට අර්ථයක් තිබිය යුතු බව ආදර්ශයෙන් පෙන්වාදුන් මිනිසෙක් ඉකුත් දිනක අවසන් ගමන සනිටුහන් කර තිබිණි.

හැටේ දශකයෙ මැද තාරුණ්‍යයේ දොරකඩින් පියවර කිපයක් තබා සිටි තරුණයෙක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රැකියාවකට ඉල්ලූම් කරයි. කුඩා කල සිටම ලිවීමෙ හැකියාව ද කියැවීමේ රුචියද නොඅඩුව තිබූ මෙම තරුණයාට ඉංග‍්‍රිසි සිංහල භාෂා ද්විත්වයම එක සේය. ඉංග‍්‍රිසි පොත පතද කියවන්නට පාසල් සමයේ සිටම පුරුදුව සිටි තරුණයා මාර්ටින් වික‍්‍රමසිංහ, ජී. බී. සේනානායක වැනි ලේඛකයන්ගෙ ලේඛන ශෛලිය පිළිබඳව අදහසක් ඇති කරගන්නේ කලියුගය, භවතරණය, සත්ත්ව ලෝකය වැනි මාර්ටින් වික‍්‍රමසිංහයන්ගෙ පොත්ද, පළිගැනීම, දුප්පතුන් නැති ලෝකය වැනි කෙටිකතා ද සිය වැටුපෙන් ලබාගන්නා පොත් වලිනි.

පංචමහාවාදය, බුත්සරණ, සිංහල දීප වංශය වැනි පැරණි සාහිත්‍ය පොතපතද කියැවීමට අප කථානායකයා තුළ පෙළැඹවීමක් ඇති කරන්නෙ ගමේ පන්සලය. මාර්ටින් වික‍්‍රමසිංහයන්ගෙ සදාචාරය සහ නිරෝගි සම්පත නම් වු පොත බෙහෙවින් සිත්ගත්තකි. පොතපත කියැවීමෙන් ලිවීමේ හැකියාවට රුකුලක්වන බව ඔහුගේ විශ්වාසය වු අතර අවස්ථාවක් ලද විගස පොතක් කියැවීම පසුව පුරුද්දක් විය. පසුකලෙක අපේක්ෂා නමින් කෘතියක් පළ කිරීමට ද හැකිවිය.

ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රැකියාව ලැබෙන විට මේ තරුණයා සමාජය පිළිබඳවද, පොතපතේ දැනුමෙන්ද සන්නද්ධව සිටියේය.

ඇඹරලූව ගම්මානයේ ඉපදී හැදී වැඩුන එඞ්වඞ් වික‍්‍රමාරච්චි නම් මෙම තරුණයාට සිය පවුලේ ආභාෂයෙන් ලැබුණ තවත් විෂයයක් තිබිණ. ඒ දේශීය වෛද්‍ය ශාස්ත‍්‍රයයි. බෙහෙත් හදන හැටි දැක පුරුදු ඖෂධ සුවඳට හුරුවූ, පාසල් ගොස් ගෙදර එන වික‍්‍රමාරච්චි ශිෂ්‍යා සිය පිය පරපුරේ වෙදකමට අවශ්‍ය බෙහෙත් නිෂ්පාදනයට හොඳ අත්උදව්කරුවෙක් විය. ඇඹරලූව පාසලෙන් පසු කොළඹ කේරි විද්‍යාලයට ඇතුළු වන්නට අවස්ථාවක් ලැබෙයි. ශිෂ්‍යයාට හොඳ ඉංග‍්‍රිසි දැනුමක් ලැබෙන්නෙ කේරි විදුහලෙනි.

ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ස්ථිර භාෂා පරිවර්තක ලෙස කටයුතු කරමින් සිටියදීම දේශීය වෛද්‍යවරු වු තාත්තා මෙන්ම බාප්පලාටද උදව් පදව් කරන ගමන් වෙදකම ගැන ඉගෙන ගැනීමද කළේය. පණ්ඩිත වෛද්‍ය චක‍්‍රවර්ති ජී. පී. වික‍්‍රමාරචිචි මහතාගෙ ලක්දිව රක්ත රෝග සංග‍්‍රහය මෙන්ම භෝජන සංග‍්‍රහය කෘතිය ද කියැවීමෙන් ලද ආශ්වාදය ද ආයුර්වේදය කෙරෙහි වන ඇල්මට හේතුවක් විය.

කෙසේ වුවද සිය පිය පරපුරෙ වෛද්‍ය ක‍්‍රමයෙන් අතහැරුන එහෙත් ඉපැරැණි ඉතිහාසයක් ඇති රූපලාවන්‍ය සඳහා ඖෂධ ගැන හැදෑරීමකට හිත යන එඞ්වඞ් වික‍්‍රමාරච්චි රජ සමයේ රූපලාවන්‍ය සඳහා බෙහෙත් ඔරු යොදාගැනීමද, මී පැණි, මල්වර්ග යොදා ගැනීම ගැන ද පැරණි රූපලාවන්‍ය රහස් ද සොයාගැනීමට වෙහසව කටයුතු කළේය. රූපය ගැන වැඩියෙන් උනන්දුවන්නේ කාන්තාවන්ය. ඉනුත් තරුණ කතුන්ය. අවිවාහක කතුන් රූපය ගැන උනන්දුය.

ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක රූපලාවන්‍යයට කී‍්‍රම් වර්ග ගෙදරදීම හදන කාලයේ අද මෙන් රූපලාවන්‍ය කී‍්‍රම් බහුල නොවීය. හම සුදු කරන එන්නත් ද නොවීය.

මුහුණ පැහැපත් කරන, ක‍්‍රීම් එකක්ද, වියලි සමට කී‍්‍රම් එකක්ද නිෂ්පාදනය කළ පසු ඒවා කුඩා ගප්පි වලට අසුරා බයිසිකලයේ තබාගෙන අලෙවිකරන්නට යන්නේද ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකමය. සතියේ දිනවල කාර්යාලයට යන නිසා තවත් කෙනෙකුගෙ සහය ලබාගැනීමට කල්පනා කරන එඞ්වඞ් වික‍්‍රමාරච්චි මුල්ම රස්සාව දෙන්නෙ ගමේ අයෙකුටය. පසුව තවත් බයිසිකලයක් ආදි ලෙස බයිසිකල් කිහිපයක්ම බෙදාහැරීම් කටයුතුවලට යොදා ගැනෙයි.

මේ හැත්තෑව අවසන් කාර්තුවය ටිකෙන් ටික රූපලාවන්‍යයට ස්භාවික ඖෂධ යොදා කරනු ලබන නිෂ්පාදන කටයුත්ත පුළුල් වෙයි. අසුව දශකය වන විට එඞ්වඞ්ගේ නිෂ්පාදන වලට හොඳ වෙළඳපළක් නිර්මාණය වෙයි.

ව්‍යපාරයද කරගෙන රැකියාව ද හොඳින් කරමින් වසර විසිපහක් පමණ වන විට රැකියාවෙන් විශ‍්‍රාම යන මේ වික‍්‍රමාරච්චි රූපලාවන්‍ය නිෂ්පාදන වලට සීමා නොවී වෙනත් ඖෂධ නිෂ්පාදනයටද යොමුවෙයි. එතැන් පටන් දේශීය ඖෂධ වර්ග කිහිපයක්ම වික‍්‍රමාරච්චි නිෂ්පාදන ලේබලයෙන් ලාංකේය වෙළඳපළට පිවිසෙන කාලයකි.

එඞ්වඞ් වික‍්‍රමාරච්චි තරුණයා විවාහ වන්නේ ද වික‍්‍රමාරච්චි පරපුරෙම ඇඹරලූව ගමේම තරුණියක සමගය. ඇය ඉන්ද්‍රා වික‍්‍රමාරච්චිය. සම්පත් සහ ඉරෝෂා එම දෙපළගෙ දරුවෝ ය. ගමේ පන්සලේ දායක සභාවෙ වගකීම් රැසක් තමන් වෙත පවරාගෙන ඒවා නිසිලෙස ඉටුකරමින් දුන් ආදර්ශය අනෙක් පරම්පරාවට පාඩමක් බඳුය. නොකඩවා දායක සභාවෙ සභාපති වු එතුමා වසර කිහිපයක් එහි භාණ්ඩාගාරික තනතුරද දැරීය. එදා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ භාෂා පරිවර්තක ලෙස කටයුතු කරමින් ඇරඹූ වික‍්‍රමාරච්චි ඖෂධ නිෂ්පාදන අද ජාත්‍යන්තර වෙළඳපළටද ආගන්තුක නැත.

බයිසිකලයෙන් පසුව වෑන් රථයෙන් බෙදාහැරුනු වික‍්‍රමාරච්චි නිපැයම් අද රට පුරා බෙදාහරින්නෙ ලොරි රථද යොදාගෙනය.

අධිෂ්ඨානය, වීර්යය, මෙන්ම නොපසුබස්නා ගුණයද නිසාම ජය මාවතක දොරටු විවර කරගත් එඞ්වඞ් වික‍්‍රමාරච්චි, තමන්ගෙන් උදව්වක් උපකාරයක් ඉල්ලා පැමිණි කිසිවෙක් හිස් අතින් ආපසු හරවා නොයැවීය.

වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙකු වූ හෙතෙම සිංහ සමාජයේද ක‍්‍රියාකාරිකයෙකි.

වසර අසූපහක ආයු විඳි වික‍්‍රමාරච්චි මහතා ජන්මය ලබා ඇත්තේ 1936 අවුරුද්දේ දීය. 2021 සැප්තැම්බර් මස හය වැනිදා ඒ මහතා කීර්තිභාවෝපශේෂ ගතවිය.

කුමාරදාස ගිරිබාව

advertistmentadvertistment
advertistmentadvertistment