ඇමරිකාවෙන් නිවාඩුවකට ඇවිත් පාට පාට හීන ගේන – ඉමායා

252

පාට පාට හීන ගේන රෑ පාසා
රෝස රෝස දෑස පාන මේ ආශා
උකුළු මුකුළු කරන ආල ශෘංගාරා
හද පිනවන නුපුරු ගැස්ම මනහාරා

ආල පාන රංගානා
පාමී ප්‍රේම අංගානා
පාවී පාවී ඈත ඈත ඈත ඈත යං…

පසුගිය දිනෙක ජනගත කරන ලද ඉමායා ජයවර්ධනගේ ‘පාට පාට හීන’ ගීතය ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රාවකයන්ට සවන්දීමේ අවස්ථාව හිමිවූ අතර එහි රූප රචනාව ළඟදීම ප්‍රේක්‍ෂකයන්ට නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇත.

නිව්යෝර්ක් හි Frank D. Paulo අන්තර් මධ්‍ය පාසලෙහි අධ්‍යාපනය ලබන ඉමායා සංගීතයට මහත් ලැදිකමක් දක්වන අතර, ගිටාර්, බටනලා, සැක්සෆෝන් සහ පියානෝ වාදනයෙහි ද දස්කම් දක්වන්නීය. මීට අමතරව, ඉංග්‍රීසි, සිංහල, හින්දි, ප්‍රංශ සහ පර්සියන් භාෂාවලින් ගීත ගායනා කිරීමේ හැකියාවද ඉමායා සතුව පවතී.

පසුගිය ගිම්හාන නිවාඩුවේදී සති 3 ක් වැනි කෙටි කාලයකට පවුලේ උත්සවයක් සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකාවට පැමිණි ඉමායාට, ඇයගේම ගීතයක් සහ එහි රූප රචනාවක් නිර්මාණය කිරීමට ආශාවක් ඇතිවී තිබූ අතර ඇයගේ පවුලේ ළඟම හිතවතෙකුගේ සහයද ඇතිව එම කටයුතු සාර්ථකව නිමකර ගැනීමට ඇයට හැකිවිය.

ප්‍රසිද්ධ ගේය පද රචක ශෙහාන් ගලහිටියාව මහතා අතින් ලියැවුණු මෙම ගීතය, ප්‍රවීණ සංගීත අධ්‍යක්‍ෂ ප්‍රියන්ත නාවලගේ මහතාගේ ද සහය ඇතිව දින 2 ක් වැනි කෙටි කලකදී ඉතා සාර්ථකව පටිගත කර ගැනීමේ හැකියාව ඇයට හිමිවිය.

ඇමරිකාවෙන් නිවාඩුවකට ඇවිත් පාට පාට හීන ගේන - ඉමායා

ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට දින 4 ක් වැනි කෙටි කලක් තිබියදී මෙම ගීතයේ රූප රචනාව සිදුකිරීමට රමේෂ් මලින්ත මහතා ඇතුළු කණ්ඩායම ඉතා විශාල සහයෝගයක් ලබාදුන් බවද ඉමායා සිහිපත් කර සිටියේ ඉතා ස්තූතිපූර්වකය. රූප රචනාව අවසන් වීමත් සමග ගීත ප්‍රචාරණ කටයුතු සඳහා සිරස ටීවී සහ එම්-එන්ටර්ටේන්මන්ට් ආයතන සම්බන්ධ කරගත් නමුත් ඉමායාට මුහුණ පෑමට සිදුවූ විශාලතම අභියෝගය වූයේ සිංහල භාෂාව හසුරවමින් සජීවී සම්මුඛ සාකච්ඡාවලට සම්බන්ධ වීමයි. කෙසේ වුවද ගැටලු රාශියක් මධ්‍යයේ ඉතා සාර්ථකව ‘පාට පාට හීන’ ගීතය ජනතාව අතරට යැවීමට ඉමායාට හැකිවිය. අනාගතයේදී මෙවැනි ගීත සහ රූප රචනා රැසක් ප්‍රේක්‍ෂකයන්ට දායාද කරමින් විශාල ප්‍රේක්‍ෂක ප්‍රජාවක් අතරට යෑම ඉමායාගේ බලාපොරොත්තුව බවද ඇය සඳහන් කළාය.

සිංහල භාෂාව හැසිරවීමේ නිපුණත්වයද ලබා ගැනීමේ අරමුණින් පසුවන ඉමායා ඇගේ පාසලේ ජෑස් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව සහ සැක්සෆෝන් වාදන ශිල්පිනියක් ලෙස පසුගිය වසරේ පැවති තරගයකදී තම කණ්ඩායමට රන් සම්මානය ලබාදීමටද ඉමහත් දායකත්වයක් දක්වා ඇත. මේවන විටත් පාසලේ පොප්-රොක් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදන ශිල්පිනිය ලෙස කටයුතු කරමින් සංගීත ලෝකයේ නව මංපෙත් සොයා යෑමට වෙර දරන ඉමායාට අපි හදවතින්ම සුබ පතමු.

advertistmentadvertistment
advertistmentadvertistment