රටවල් හතරක වධකාගාර – යන්නේ බලාගෙනයි

4187

කාම්බෝජය, තායිලන්තය, මියන්මාරය, ලාඕසය

තොරතුරු තාක්‍ෂණයට අදාළ ඉහළ වැටුප් සහිත රැකියා ලබාදෙන බව කියමින් මෙරට තරුණ තරුණියන් විශාල පිරිසක් සිරකරගෙන ඔවුන් විවිධ වධ බන්ධනයන්ට ලක්කරමින් පරිගණක අපරාධ සඳහා ඔවුන් යොදාගන්නා පාතාල කල්ලි ගණනාවක් කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය සහ ලාඕසය යන රටවල ක්‍රියාත්මක වී තිබෙන බව මෙරට බුද්ධි අංශ විසින් මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

එබැවින් කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය, ලාඕසය යන රටවල තොරතුරු තාක්‍ෂණයට අදාළ රැකියා ලබාදීමට උත්සාහ කරන විදේශ රැකියා ඒජන්සි පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස බුද්ධි අංශ මෙරට තරුණ තරුණියන්ට අනතුරු අඟවයි.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම රටවල් 4 තුළ පාතාල කල්ලි විසින් පාලනය කරන කඳවුරුවල ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දහසකට අධික පිරිසක් විවිධ වධ බන්ධනයන්ට ලක් කරමින් ඔවුන්ගේ ශ්‍රමය බලහත්කාරයෙන් ලබාගන්නා බවයි.

චීන, පාකිස්තාන්, බංගලාදේශ සහ ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් සංවිධානාත්මක කණ්ඩායම් විසින් මෙම කඳවුරු පාලනය කරන අතර වසර 05ක පමණ කාලයක සිට මොවුන් මෙම පරිගණක අපරාධ කරගෙන යන බවද වාර්තා වේ.

මියන්මාරයේ පාතාල කඳවුරක අපා දුක් විඳිමින් විවිධ වධ බන්ධනයන්ට ලක්වූ ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් පසුගියදා ඉන් පලා ආ අතර ඔවුන් සිදුකළ අනාවරණයන් වලින් පසුව මෙම කඳවුර පිළිබඳ විමර්ශන කටයුතු මේ වන විට අදාළ රටවල් විසින් ආරම්භ කර තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment