ශ්‍රීපාද වන්දනා වාරය අදින් ඇරැඹෙයි

28

පූජා භාණ්ඩ පෙරහැර 4කින් උඩමළුවට

2023-2024 වර්ෂය සඳහා ශ්‍රීපාද වන්දනා වාරය අද (26දා) උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බව ශ්‍රීපාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පූජා භාණ්ඩ ඊයේ (25 දා) අලුයම රත්නපුර පලාබද්දල, එරත්න මාර්ගයෙන් පෙරහැර දෙකක්, තවත් පෙරහැරක් රත්නපුර, අවිස්සාවේල්ල, හැටන් හරහා සහ තවත් පෙරහැරක් බලංගොඩ, බගවන්තලාව මාර්ගය ඔස්සේ ගමන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියෝ කියා සිටියහ.

මාර්ග හතරක් ඔස්සේ වැඩම කරන සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පූජා භාණ්ඩ අද ශ්‍රීපාද උඩමළුව වෙත වඩම්මවා ශ්‍රීපාද පත්මය දෝවනය කිරීමෙන් අනතුරුව පැවැත්වෙන ආගමික චාරිත්‍ර ගණනාවකින් අනතුරුව ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කරන බව උන්වහන්සේ පවසති.

මෙවර ශ්‍රීපාද වන්දනා සමයේ වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන් ශ්‍රීපාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සලකා පරිසරය ආරක්ෂා කර ගනිමින් කරුණා කරන ලෙසත් ශ්‍රීපාද වන්දනාවට හැටන් මාර්ගයේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව උදෙසා නල්ලතන්නිය පොලිසියට අමතරව ශ්‍රීපාද මාර්ගයේ ගඟුලතැන්න, රතු අම්බලම සහ සීතගඟුල පොලිස් මුරපොළවල් ස්ථාපනය කර ඇති බවත්, මත්ද්‍රව්‍ය රැගෙන වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේදී සහ වන්දනාකරුවන් පැමිණෙන සියලුම මාර්ග ඔස්සේ පොලිස් සුනඛ අංශයේ සහාය ඇතිව පරික්ෂා කිරීමටත්, එසේ මත්ද්‍රව්‍ය රැගෙන එන පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත් හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා පැවසීය.

දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරිමටත්, ඊට අමතරව හැටන් සිට නල්ලතන්නිය දක්වා ධාවනයට ලංගම බස් රථ ගණනාවක් එක් කර ඇති බවත් හැටන් ලංගම ඩිපෝවේ කළමනාකාරවරයා පැවසීය.

ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීම සඳහා හැටන් මාර්ගය ඔස්සේ වැඩම කරන පෙරහැර පිළිගැනීමට හැටන් දික්ඔය නගර සභාව සහ ප්‍රදේශවාසීන් එක්ව තොරණ සහ බෞද්ධ කොඩිවලින් නගරය සරසා ඇත.
නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment