සකුන්ගේ බිරිඳත් කුඩු සමග මාට්ටු

3946

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ සැමියා අත්අඩංගුවට පත්වීමෙන් පසුව බිරිඳ එම කාර්ය අඛණ්ඩව සිදුකරමින් සිටියදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් 23 වැනිදා සිදුකළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 8. මිලිග්‍රෑම් 200 සමග සකුන් නමැත්තා ගේ බිරිඳ වන සුබාශිනී මදුවන්ති සිල්වා නමැති 29 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

කිරිබත්ගොඩ පොලිස් වසමට අයත් හුණුපිටිය වෙඩිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටිමින් මහාපරිමාණ අයිස් ජාවාරමක් සිදුකළ සකුන් නමැත්තා මීට මාස දහයකට පෙර මත්ද්‍රව්‍ය තොගයක් සමග විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැමියාගෙන් හිස්වූ මත්ද්‍රව්‍ය ජාවාරම බිරිඳ විසින් අඛණ්ඩව සිදුකරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අඹුසැමි යුවළ මීට දෙවසරකට පෙර දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අනවසර ඉඩමක කුඩා පැල්පතක පදිංචිව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම ආරම්භ කර ඇති අතර ඒ අවට තදාසන්න නගර සියල්ලට ඔවුන් විෂමත්ද්‍රව්‍ය බෙදාහැර ඇත.

වසර දෙකක් තුළදී මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදලින් රුපියල් කෝටි 10ක් පමණ වටිනා සුඛෝපභෝගී තෙමහල් නිවසක් තනා ඇති මොවුන් ඒ ආසන්නයේ පිහිටි ඉඩම් සහ ත්‍රිරෝද රථ 2ක්ද යතුරු පැදියකද හිමිකරුවන් බවට කෙටි කාලයක් තුළදී පත්වී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

සැමියා අත්අඩංගුවට පත්වීමෙන් පසු බිරිඳ අඛණ්ඩව මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති අතර දෙදරු මවක් වන සැකකාරිය සන්තකයේ තිබී ග්‍රෑම් 57ක් බර රන් ආභරණ සහ මුදලින් රුපියල් 50,000 ක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය කිරිබත්ගොඩ පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙතෙක් ඔවුන් සිදුකළ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දින හතක රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

2011 අංක 40න් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතට අනුව දේපළ රාජසන්තක කිරීමට අදාළව තොරතුරු සෙවීම කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. ඒ. සදනුවන් මහතා යටතේ සිදුකරමින් පවතී.

බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය මත කැලණිය කලාප කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ. ජේ. වයි. බී. ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. ඒ. සඳනුවන් පොලිස් පරීක්ෂක කපිල සම්පත් උපපොලිස් පරීක්ෂක වරුන් වන කොඩිකාර සහ කරුණාතිලක ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර සැකකාරිය සහ වාහන රන්භාණ්ඩ සහ මුදල් සහ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment