දේශීය ණය ප්‍රශස්තකරණයෙන් EPF පොලිය පිල්ලි යයිද?

228

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් අනුමත විය. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සඳහා කමිටුවේ බහුතර අනුමැතිය හිමිව ඇත. දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් නියම කර ඇති පරිදි සියයට 30 ක බදු වැඩිවීම අදාළ වන්නේ බැඳුම්කර කළඹේ (bond portfolio) පොලී ආදායමට පමණක් බවට මෙහිදී මහ බැංකුවේ නිලධාරීන් පැහැදිලි කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබිණි. එසේම මෙම මුදල් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ විමසුම්වලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දුන් පිළිතුරුවලට අනුව දේශීය ණය ප්‍රශස්තකරණයෙන් අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ පොලියට වන ඇත්ත බලපෑම ගැන වැදගත් තොරතුරු ද අනාවරණය විය. මේ ලිපියෙන් විශේෂයෙන් අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනය.

මේ අනුව එම සංවාදයෙන් අපට පැහැදිලිව එන මූලික කාරණය වන්නේ වර්ෂ 2025 දක්වා කාලයේ දී සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට සියයට 9 ක පොලියක් ලබා දිය හැකි බවට සහතික වන බවයි. එසේම එය නීතිගත කිරීම සඳහා සේවක අර්ථ සාධක අරමුදල් පනතට සංශෝධනයක් සිදු කර සියයට 9 ක පොලී ප්‍රතිලාභය සහතික කිරීමේ සූදානමක් ද තිබේ. මේ නිසා අපට පෙනෙන්නේ වර්ෂ 2025 වෙනතෙක් සියයට 9 ක පොලියක් අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට ලැබෙනු ඇති බවයි. එහෙත් ඉන් ඉදිරියට ඒ සඳහා නිශ්චිත පොලී අනුපාතයක් ලබා දිය හැකි බවට සහතික විය නොහැකි බව අපට ප්‍රායෝගිකව පිළිගැනීමට සිදු වේ. එය තීරණය වනු ඇත්තේ අර්ථසාධක අරමුදලේ ආයෝජන සඳහා ලැබෙන වෙළෙඳපොළ ප්‍රතිලාභ මත බව ද පැහැදිලි කරුණකි. මේ වන විට උද්ධමනය සියයට 5 ටත් වඩා අඩු මට්ටමට පහත වැටී වෙළෙඳපොළ පොලී අනුපාත ද සැලකිය යුතු මට්ටමකට පහත වැටී තිබේ. ඉදිරියේ දී තවදුරටත් පොලී අනුපාත අඩු වීම සිදුවනු ඇත. ඒ නිසා අර්ථසාධක අරමුදල් කොහේ ආයෝජනය කළත් ලැබෙන ප්‍රතිලාභ අඩුවෙන බව ද පැහැදිලි වෙන කරුණකි. අරමුදලේ භාරකරු හැටියට මහ බැංකුවට, අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට පොලී ගෙවීමට හැකිවනු ඇත්තේ ඒ ලැබෙන ආයෝජන ප්‍රතිලාභ මත බවත්, යම් නිශ්චිත පොලියක් 2025 සිට වර්ෂ 2038 දක්වා ඔවුන්ට ලබාදෙන බවට සහතික වීමට නම් ඒ සඳහා රජය වගකීම භාරගත යුතු වන බවත් පැහැදිලි වන කරුණකි. මේ කරුණු කාරණා වඩාත් හොඳට රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේ දී පැහැදිලි විය. ඒ අනුව එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අසන ලද ප්‍රශ්න කිහිපයකට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ලබා දුන් පිළිතුරු අපි මෙසේ මහජනයාගේ දැන ගැනීම සඳහා සටහන් කරමු.

ආචාර්ය හර්ෂ ද සිල්වා – මේ සියයට 9 ක් දෙන්නේ අරමුදලට ද නැත්නම් සාමාජිකයාට ද?

මහ බැංකු අධිපති – ඒ ආදායම අරමුදලට ලැබෙන්නේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා – එතකොට ඊපීඑෆ් එකේ පරිපාලන වියදම්, වැටුප් වියදම්, ස්ටැබිලයිශේෂන් ෆන්ඩ් එක, බද්ද මේ ඔක්කොම ගෙවන්න එපැයි. සියයට 9 ක් අරමුදලට ලැබුණොත් සාමාජිකයාට කීයක් ලැබෙයි ද?

මහ බැංකු අධිපති – මෙතන පෙන්වලා තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත් කළඹේ හුවමාරු කරන එකට සියයට 9 ලැබෙන එකයි. නමුත් අරමුදල කළමනාකරණය කරනකොට මෙතන ඉඳල ඉදිරියට යනකොට හැමතිස්සෙම රීඉන්වෙස්ට්මන්ට් කූපන් එකතු වුණාම, යීල්ඩ් එක හමුවුණාම ඒවා රීඉන්වෙස්ට් කරනවා. එතකොට රීඉන්වෙස්ට් කරන ඒවාට ඒ ඒ කාලේ තියෙන මාකට් රිටර්න් එක හම්බු වෙලා තමයි මුළු රිටර්න් එක එකතු වෙන්නේ. ඔය භාණ්ඩාගාර බැඳුම්කර කළඹට අමතරව විශාල භාණ්ඩාගාර බිල්පත් කළඹක් තියෙනවා. ඒකට වෙනම ආදායමක් තියෙනවා. එතකොට ඇස්තමේන්තු කරනකොට මුළු කළඹේ වටිනාකම බලල පුරෝකතනය කළොත් තමයි ඒක හරියට කියන්න පුළුවන්. නමුත් අරකට 9 ක් ලැබීම උඩ යම් කිසි ආකාරයකට දැනට තියෙන හුවමාරු කළඹට සියයට 9 ක් ලැබෙනවා කියල සහතික වෙනවා. අලුතින් ඉන්වෙස්ට් කරන ඒවට එන රිටර්න් එක අනුව තමයි තීරණය වෙන්නේ කොච්චර ද ගෙවන්න පුළුවන් කියල.

ආචාර්ය හර්ෂ ද සිල්වා –– බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ අර්ථසාධක අරමුදලේ සාමාජිකයාට සියයට 9 ක් ලැබෙයි කියල අතට. ඒක තමයි සාමාන්‍යයෙන් බලාපොරොත්තුව. එතකොට ඔබතුමා දැන් කියන විදියට සියයට 9 ලැබෙන්නේ හුවමාරු කරපු බැඳුම්කර කළඹට පොලිය හැටියට. ඒකෙ රිටර්න් එක තමයි අර හුවමාරු කරපු බැඳුම්කර කළඹ. හුවමාරු කළඹනේ විශාල කොටසක් තියෙන්නේ. ඒකට සියයට 9 ක් ලැබුණොත් ඒ ඇති වෙයි සාමාජිකයාට සියයට 9 ක් ගෙවන්න?

මහ බැංකු අධිපති – – ඒකෙ පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. හුවමාරු කරපු බැඳුම්කරවලට පළවෙනි අවුරුදු කිහිපය තුළ එනම් 2025 වෙනකම් සියයට 12 ක් ලැබෙනවා. ඊට පසුව 9 ක් ලැබෙනවා එම කළඹට. එතකොට අපේ තියෙන ගණනය කිරීම් අනුව අනිත් කළඹත් ඔබතුමා කියපු විදියට බලල අපේ තියෙන විදියට අපට පැහැදිලිව පේනවා අවම වශයෙන් රජයෙන් සහයෝගයක් නැතුව වුණත් අඩුම වශයෙන් ඉදිරි වසර 4-5 තුළ සියයට 9 ක් ප්‍රතිලාභ දෙන්න පුළුවන් උපකල්පනවලට යටත්ව කියල අපේ ගණනය කිරීම් අනුව අපි සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව මේ ගැන තියෙන අවධානය නිසා මම හිතන්නේ රජය පැත්තෙන් දැන් පනතේ වෙනසක් කරන්න යනවා. යම් කිසි ආකාරයකින් සියයට 9 දෙන්න බැරි වුණොත් ඒ ප්‍රමාණය, එම වෙනස භාණ්ඩාගාරය තුළින් පුරවනවා කියන එක යෝජනාව. එතකොට ඊළඟ අවුරුදු හතර තුළ යම්කිසි ආකාරයක සහතික වීමක් තියෙනවා අවම වශයෙන් 9 දෙන්න පුළුවන් කියල. අපි විශ්වාස කරනවා ඊට වැඩිය දෙන්න පුළුවන් කියල ඒ යන ක්‍රමය තුළ. ඉන් ඉදිරියට වෙනස් වෙන්නේ අර ඔබතුමා කියපු විදියට හුවමාරු කළඹ අඩුවෙනවා, අලුත් එක වැඩි වෙනවා. එතකොට ප්‍රතිලාභය රඳාපවතින්නේ කොහොමද මේ කළඹවල් දෙකේ ප්‍රමාණය ඉදිරියට යනකොට අරක අඩුවෙලා අනිත් එක වැඩිවෙනකොට මාකට් එකේ රිටන් එක අනුව පොලිය දෙන්න පුළුවන් සාමාන්‍ය ක්‍රමයට.

ආචාර්ය හර්ෂ ද සිල්වා – මෙතැනදී ඉතාම වැදගත් කාරණාවක් ඉස්මතු වුණා ජනතාව දැනගෙන හිටපු නැති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියටත් මෙතන ලොකු අනවබෝධයක් තිබුණ. එතකොට මේ හුවමාරු කරන බැඳුම්කර කළඹට 2025 වෙනකම් සියයට 12 ක් ලැබෙනවා. අනිත් එසේම හුවමාරු නොවූ සහ අනිත් ඒවාට ලැබෙන පොලිය අනුව තීරණය වෙයි මුළු කළඹට ලැබෙන බර තබන ලද ඵලදා අනුපාතය. ඒ පොලිය ඔබතුමාලා විශ්වාස කරනවා සියයට 9 ක පොලියක් සියලුම සාමාජිකයන්ට දෙන්න ප්‍රමාණවත් කියල?

මහ බැංකු අධිපති – ඔව්

ආචාර්ය හර්ෂ ද සිල්වා – ඒ අවුරුදු තුනෙන් පසුව සාමාජිකයන්ට ලැබෙන ප්‍රතිලාභය ගැන සහතිකයක් දෙන්න බෑ?

මහ බැංකු අධිපති – දෙන්න බෑ. ප්‍රායෝගිකව දෙන්න බෑ.

ආචාර්ය හර්ෂ ද සිල්වා – එතකොට 2026 පටන් ගන්න දවසේ ඉඳන් 2038 දෙසැම්බර් 31 වෙනකම් මේ කරන සංශෝධන හරහා කව්රුහරි බලාපොරොත්තු වුණා නම් සාමාජිකයෙක් හැටියට මට අවමය සියයට 9 ක ප්‍රතිලාභයක් ලැබෙයි කියල ඒක එහෙම නෙවෙයි. අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්.?

මහ බැංකු අධිපති – ඔව්. ඒ කියන අදහසට මේකත් එකතු කරන්න. ඊපීඑෆ් කියන එකට මුලින් පනතේ සියයට 2.5 ක් තියෙන්නේ ඒ කාලේ තියෙන පොලී අනුපාත අනුව වෙන්න පුළුවන්. ඒකෙ මූලික සිද්ධාන්තය තමයි මේක ඩිෆයින් බෙනිෆිට් එකක් (නියම කළ ප්‍රතිලාභයක්) නෙවෙයි. මේකේ ප්‍රතිලාභය ලැබෙන්නේ අරමුදල ආයෝජනය කරලා ලැබෙන ප්‍රතිලාභය අනුව. ඩිෆයින් ස්කීම් එකයි මේකයි සම්පූර්ණයෙන් ක්‍රම දෙකක්. මේක ඩිෆයින් ස්කීම් එකක් කරනවා නම් කවුරුහරි වගකීම භාර ගන්න ඕන කොහොමද වෙනස දෙන්නෙ කියල.

මේ සංවාදය අනුව පැහැදිලි වන්නේ වර්ෂ 2025 න් පසු අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට ප්‍රතිලාභය ලැබෙන්නේ එම අරමුදල ආයෝජනය කර ලැබෙන ප්‍රතිලාභය අනුව බවයි. එය සියයට 9 ට අඩු හෝ වැඩි අගයක් විය හැකිය. මේ යථාර්ථය අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් මෙන්ම පොදුවේ මේ රටේ ජනතාවත් තේරුම් ගත යුතු වේ. කෙසේ වෙතත් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කරන පරිදිම රටේ පවතින උද්ධමනයට සාපේක්ෂව ධනාත්මක ප්‍රතිලාභයක් අරමුදලේ සාමාජිකයන්ට ලැබිය යුතුව ද තිබේ. එසේම ඇතැමුන් ප්‍රචාරය කරනුයේ මේ යෝජනාවට සහභාගී වීම නිසා සියයට 50 ක පාඩුවක් අර්ථසාධක අරමුදලට වන බවයි. එය සම්පූර්ණ අසත්‍යයක් බව ද මහ බැංකු අධිපතිවරයා මේ කමිටු රැස්වීමේ දී අවධාරණය කළේය. දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගී වීම නිසා ඇත්ත වශයෙන්ම 2038 වන විට අර්ථසාධක අරමුදලට වන පාඩුව සියයට 4.8 කි. ඒ සඳහා සහභාගි නොවන්නේ නම් සියයට 30 ක බද්දට යටත් වීම නිසා අරමුදලට සිදුවෙන පාඩුව වර්ෂ 2038 දී සියයට 21.6 ක් වේ. මේ නිසා අවම හානිය සිදුවන්නේ දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගී වීමෙන් බව පැහැදිලි වේ.

ඉකුත් අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ජා වූ කරුණු පිළිබඳ සාරාංශයක් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් ද මාධ්‍යයට නිකුත් කර තිබිණි. එහි මෙසේ සඳහන් වේ.

‘විශ්‍රාම අරමුදල් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සඳහා සහභාගි වන අවස්ථාවකදී අදාළ වන බදු අනුපාතය සියයට 14 දක්වා අඩු වන බව ද මහ බැංකුවේ නිලධාරීන් පෙන්වා දෙන ලදී. වර්ෂ 2025 දක්වා සියයට 12 ක ප්‍රතිලාභයක් සහ ඉන් පසුව සියයට 9 ක ප්‍රතිලාඅයක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහභාගි වන විශ්‍රාම අරමුදල් වෙත සහතික කිරීමට මහ බැංකුවට ඇති හැකියාව ද කමිටුව ප්‍රශ්න කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ එක් එක් සාමාජිකයා වෙත නැවත ලැබීම සහතික කළ නොහැකි වුවද යෝජිත ප්‍රතිලාභය සාක්ෂාත් කර ගැනීමට ඔවුන් උත්සාහ කරන බවයි. මෙම අනුපාතය පවත්වා ගැනීමට නොහැකි වුවහොත් යෝජිත ප්‍රතිලාභය 2025 දක්වා සහතික කිරීම සඳහා භාණ්ඩාගාරය මැදිහත් විය යුතු බවට දැනට සාකච්ඡාවක් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ධනාත්මක ප්‍රතිලාභයක් සහතික කිරීම සඳහා උද්ධමනයට ගැලපෙන පොලී අනුපාතිකයක් සලකා බැලිය යුතු බව කමිටුවේ අදහස විය. සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වන්නේ නම්, ඊපීඑෆ් බැඳුම්කර කළඹට සිදුවන ආවස්ථික අලාභය සියයට 4 ක් බවද මහ බැංකු අධිපතිවරයා අනාවරණය කළේය. කෙසේ වෙතත්, සේවක අර්ථසාධක අරමුදල ඒ සඳහා සහභාගි නොවීමට තීරණය කළහොත්, දේශීය ආදායම් පනත් කෙටුම්පතේ නවතම සංශෝධනයට අනුව සියයට 30 ක ඉහළ බදු අනුපාතයක් හේතුවෙන් බැඳුම්කර කළඹට ඇතිවන ආවස්ථික අලාභය සියයට 21 දක්වා වැඩිවනු ඇත. මීට අමතරව, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසුකම් නොලබන සියලුම විශ්‍රාම අරමුදල් සියයට 30 ක බදු වැඩි කිරීමකට යටත් වන බැවින් අනාගතයේ දී නව විශ්‍රාමික අරමුදල් පිහිටුවීම අධෛර්යමත් විය හැකි බව නිරීක්ෂණය කරන ලදි.’

ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ ලැයිස්තුගත කර ඇති හොඳම මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම් කිරීම පිළිබඳව ද මෙහිදී කමිටුව සුබ පැතුම් එක් කළේය.

දේශීය ණය ප්‍රශස්තකරණයෙන් අර්ථසාධක පොලියට මෙන්ම එම අරමුදලට වන බලපෑම සම්බන්ධයෙන් විවිධ අදහස් සමාජය තුළ පැතිර ගොස් තිබේ. විවිධ අය මේ සම්බන්ධයෙන් විවිධ කතා කියමින් ද සිටින බැවින් අප සඳහන් කළ කරුණු මේ ගැන මහජනයාට නිවැරදි අවබෝධය ලබා ගැනීම සඳහා වැදගත් වනු ඇත. එසේම මේ යෝජනාව සඳහා මේ වන විට ඇමැති මණ්ඩලයේ අනුමැතිය සහ උසාවියේ අනුමැතිය ද ලැබී, මේ වන විට පාර්ලිමේන්තුවෙන් ද සම්මත වී ඇත. එසේ නම් මෙය අද වන විට රටේ පවතින නීතියක් බවට පත්ව තිබේ. ඒ නිසා මහ බැංකුවට කටයුතු කළ හැකි වන්නේ එම නීතියට අනුව පමණක් බව ද අප තේරුම් ගත යුතුය.

● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment