රජුන් හැර ගිය රජ මැඳුරේ ඔක්කොම රජවරු

165

● අදට අරගලයට දින 100යි

● අරගලය නැවතත් මැඳුරෙන් පැදුරට

● නරඹන්නන්ගෙන් ජනපති මැඳුරට හා බඩු භාණ්ඩවලට හානි

● මුරකාවල් නෑ … පරීක්ෂා කිරීම් නෑ දින ගණනක් පුරා “ජනතා මැඳුරක්” බවට පත්වෙයි

● මැඳුර නැවතත් රජයට

ඉකුත් සති අන්ත සෙනසුරාදාවක් වූ 09 දා කොළඹ කොටුව හා ඒ අවට තදාසන්න ප්‍රදේශ සියල්ලක්ම පාහේ දකින්නට ලැබුණේ ඇවිස්සුණු කඩිගුලක් බඳු ස්වරූපයක්ය. එදින වන විට දින 90ක් පුරා නොනිදන අරගලයක් සේ දියත් වෙමින් තිබූ ගාලුමුවදොර අරගලය එක් තීරණාත්මක මංසන්ධියක් වෙත ළඟා වී තිබූ අතර තරුණ අරගලකරුවන් එක්ව, එක්සිත්ව තීරණයකට එළඹ තිබුණේ කුමන බාධක මැද වුවද ජනපති මැඳුර ජනතාව විසින් අත්පත් කරගත යුතු බවත් එයම රට තුළ ක්‍රියාත්මක වන ජනතා අරගලයේ තෙමස් පූර්ණ අනුස්මරණීය දිනය බවට පත් කර ගත යුතු බවත්ය. ඒ අනුව රටේ සිව් දිගින් පැමිණෙන තරුණ අරගල කරුවන්ගෙන් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය හා ඒ අවට අතුරු සිදුරු නැතිව පිරී යමින් පැවති අතර ජනතා නැගිටීම මර්දනය කිරීම පිණිස රජය විසින්ද දැඩි ආරක්ෂිත මුරකාවල් තර කර තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. හැබැයි වටපිටාවක් පැවතියද එදින දහවල් වනවිට තරුණ අරගලකරුවන් අපේක්ෂා කළ පරිදිම ඔවුන්ගේ උත්සාහය සැබෑවක් බවට පත්විය. මාරාන්තික වෙඩි උණ්ඩ ඉදිරියේ පවා තම අරමුණු අත්නොහළ තරුණ අරගලකරුවන් ජනපති මැඳුරට පිවිසෙන ප්‍රධාන මාර්ග ඔස්සේ ඉදිරියට ගමන් කරමින් ඉදිකරන ලද මාර්ග බාධක එකිනෙක බිඳහෙළමින් තම අරමුණ කරා ළඟා වන ආකාරයක් දැකගත හැකි වූ අතර ඉන් අනතුරුව ඔවුන් ජනපති මැඳුර සිය ග්‍රහණයට නතුකර ගනු ලබන්නේ දිගු වෙහෙසකර වෑයමකින් අනතුරුවය. එතෙක් කලක් දැඩි ආරක්ෂිත රැකවල් මැද මහේශාක්‍ය ලීලාවෙන් විරාජමාන වූ ජනපති මැඳුර රටේ මහජනතාව වෙනුවෙන් විවෘත වන්නේ ඉන් අනතුරුවය. තරුණ අරගලකරුවන් විසින් ජනපති මැඳුර තම ග්‍රහණයට නතු කර ගන්නා ආකාරය එදින දවසේ සිදුවීම බවට පත්වූ අතර ඉන් නොනවතින අරගලකරුවන් විසින් ඉන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි අරලිය ගහ මන්දිරය ද තම ග්‍රහණයට නතුකර ගනු ලබන්නේය. ලෝකයේ බොහෝ රටවල අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු වූ එම සිදුවීම් මාලාව තුළ පමණටත් වඩා ප්‍රකට වෙමින් පැවතියේ සියල්ලට ඉහළින් ජනතා බලය ක්‍රියාත්මක වෙමින් පවතින බවත් වෙඩි උණ්ඩ ඉදිරියේ වුවද පොදු මිනිස් අභිලාෂයන් සාක්ෂාත් කරවීම පිණිස දියත් කරන ලද අරගලයන් තවදුරටත් ජයග්‍රහණයෙන් කෙළවර වන බවත්ය.

අරගලකරුවන් විසින් අත්පත් කරගත් ජනපති මැඳුර සහ අනෙකුත් ස්ථාන මහජනතාවට දැක බලා ගැනීම පිණිස විවර වන්නේ ඉන් අනතුරුවය. එදින තමන් විසින් අත්පත් කරගත් මර්මස්ථාන තනි නොකරන අරගලකරුවන් ස්ථාන ආශ්‍රිතව රැය පහන් කරන අතර රට හමුවේ විවෘත ආරාධනයක් සිදු කරමින් ප්‍රකාශ කර සිටින්නේ තමන් විසින් අත්පත් කරගත් මන්දිර දැකබලා ගැනීම පිණිස ජනතාවට ඉඩකඩ විවර කර ඇති බවත් හැකි ස්ථාන ජනතාව එම ස්ථානවලට එක්රැස්ව අරගලයට තව තවත් ජීවය ලබා දීමට කටයුතු කරන ලෙසත්ය. එම විවෘත ආරාධනයට අනුව රටේ සිවුදෙස ජීවත්වන ජනතාව පවතින ප්‍රවාහන පහසුකම් ද නොතකමින් කොළඹ පැමිණීම ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.

පසු දින (10දා) එනම් ඉකුත් සති අන්ත ඉරිදාව උදාවීමත් සමග ඉහත සඳහන් ස්ථාන දැක බලා ගැනීම පිණිස ජනතාව එක්රැස් වන ආකාරයක් දැකගත හැකි වූ අතර දිනය ඉරිදාවක් වූ බැවින් එදින එතරම් ජනතාවක් ජනපති මැඳුර ඇතුළු අනිකුත් ස්ථාන දැක බලා ගැනීම පිණිස පැමිණෙන ආකාරයක් දක්නට නොවීය. කෙසේ වෙතත් තමන් විසින් අත්පත් කරගත් “මාලිගා” තනි නොකළ අරගලකරුවන් සහ අරගලයට සහාය දුන් කොළඹ සහ ඒ අවට පදිංචිකරුවන් බහුල වශයෙන් ඒ ඒ ස්ථානවල එක්රැස්වී සිටින ආකාරයක් දැකගත හැකි විය.

සති අන්ත නිවාඩුවෙන් අනතුරුව ඉකුත් 11 දා (සඳුදා) උදාවීමත් සමඟම ඒ තත්ත්වය මුළුමනින්ම වෙනස් මුහුණුවරක් ගන්නා ආකාරයක් දැකගත හැකි විය. උදෑසන 8:00 ට පමණ වන විටත් මාලිගා නැරඹීම පිණිස විශාල වශයෙන් ජනතාව කොළඹට එක්රැස් වන ආකාරයක් දැකගත හැකි වූහ. දුම්රිය බස්රිය පමණක් නොව රට තුළ පවතින අධික ඉන්ධන හිඟය පවා නොතකමින් පෞද්ගලික රථවාහන ආදියෙන්ද එලෙස පැමිණි නරඹන්නන්ගෙන් උදෑසන 8.00 ට පමණ වන විටත් ජනපති මැඳුර පිරී යමින් පැවති අතර වෙනත් දිනයන්හි ඒ ඒ ප්‍රදේශ වල පැවති දැඩි මුරකාවල් ආදිය ලිහිල්ව පැවති ආකාරයද නිරීක්ෂණය කළ හැකි විය. අවට ආරක්ෂක රාජකාරියේ නිරත ආරක්ෂක අංශවල පරීක්ෂණයට භාජන නොවූ ජනතාව ජනාධිපති මාවත ඔස්සේ සහ චැතම් වීදිය ඔස්සේ ඇතමුන් විසින් “රජ ගෙදර” නමින් හඳුන්වන ජනපති නිල නිවස වෙත ගමන් කරන ආකාරය දැකගත හැකි වූහ. එලෙස පැමිණෙන ජනතාව ඉකුත් 09 දා අරගලකරුවන් විසින් ජනපති මැඳුර අත්පත් අත්පත් කර ගැනීමට යෑමේදී කැඩීම් බිඳීම් ආදියට ලක් වූ පිවිසුම හරහා මන්දිර පරිශ්‍රයට ඇතුල් වන ආකාරය දකින්නට ලැබුණු අතර බලන්න පවතින ගේට්ටුව තුළින් එම භූමියට පිවිසි කල දකින්නට ලැබෙන්නේ එම පිවිසුමට වම්පසින් පිහිටි ආරක්ෂක තාප්පයේ ඇතැම් කොටස් සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති ආකාරයකි. එම ස්ථානයේ නතර වන බොහෝ දෙනෙක් ඒ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ ආරක්ෂක අංශ විසින් ඉකුත් 09 දා එල්ල කරන ලද වෙඩි පහරවල්වලට ලක්ව එම තාප්පය කැඩී බිඳී ගොස් ඇති බවකි.

එම ගිවිසුමෙන් මන්දිර භූමියට ප්‍රවිෂ්ට වන ජනතාවට තවත් මඳ දුරක් ගමන් කළ පසු දැකගත හැකි වන්නේ ජනපති මැඳුර වෙත පිවිසෙන ප්‍රධාන පිවිසුමය. ඒ ආසන්නයේ තබන ලද අලංකාර මල් බඳුන් දෙකක් අපමණ කරදර මැද වුවද නිරුපද්‍රිතව පවතින ආකාරය එහි ගිය අපට දැකගත හැකි වූහ. මෙරට විධායක බලය හෙබවූ ජනාධිපතිවරුන් විදේශීය රාජ්‍ය නායකයන් මෙන්ම දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ට පමණක් මෙතෙක් කලක් විවර වූ එම ප්‍රධාන පිවිසුමෙන් මන්දිරය තුළට තුළට පිවිසීමට එදින ඕනෑම කෙනෙකුට අවස්ථාව පැවති අතර ජාති ආගම කුල මල භේදයන්ගෙන් තොරව බොහෝ දෙනෙක් එම වරප්‍රසාදය භුක්තිවිඳින ආකාරයක් දැකගත හැකි වූහ. රජ ගෙට පිවිසෙන සාමාන්‍ය ජනතාව එහි ඔබ මොබ සැරිසරමින් “මාලිගා සිරිය” සිත් සේ නරඹන අතර ක්‍රම ක්‍රමයෙන් කාලය ගතවීමත් සමඟ එළිමහන් භූමිය එකම මිනිස් පොදියක් බවට පත් වෙමින් පැවතිණ. එලෙස පැමිණි සෑම දෙනකුගේම අපේක්ෂාව බවට පත්ව පැවැතියේ එතෙක් කලක් අසා දැනගත් කරුණු වලට අනුව තම තමන් සිත් තුළ මැවුණු රජ ගෙදර සැබවින් දැක ගැනීම සහ එහි ඇතැම් තැන් ඡායාරූපයට නැගීමය. උදෑසන එළඹ හෝරාවක් දෙකක් පමණ ගතවීමත් සමග ජනපති මැඳුර නැරඹීම පිණිස අවස්ථාව උදා වූ අතර එහි ගිය අපට දකින්නට ලැබුණේ ඒ වන විට ද ඇතැම් පිරිස් එහි තැන තැන නිදි සුව විඳින ආකාරයක්ය. ඒ වන විට ද රාත්‍රියේ දල්වන ලද විදුලි පහන් සිය මළානික ආලෝකය නිකුත් කරමින් දැල්වෙමින් පැවතිණ. ඒ වන විටද ජනපති මැඳුර තුළ තිබූ ඇතැම් බඩු භාණ්ඩ කිසියම් පිරිසක් විසින් විනාශ කර තිබූ ආකාරය ද අපගේ නිරීක්ෂණයට ලක් වූහ. ජනපති මැඳුර තුළ පවතින කිසිවක් අතපත ගෑමෙන් හා පිටතට රැගෙන යෑමෙන් වළකින ලෙස සඳහන් දැන්වීම් එහි තැන තැන ප්‍රදර්ශනය කර තබන්නට අරගල කරුවන් විසින් කටයුතු කර තිබුණද ඉකුත් 11 දා උදෑසන වන විට ද එම නියෝගයට අවනත නොවූ නරඹන්නන් බොහෝ දෙනෙක් ඒ සා විසල් වටිනාකම් සහිත රාජ්‍ය දේපළ රැසක් තම පෞද්ගලික බූදලයක් සේ සලකමින් කටයුතු කරන ආකාරය දකින කල හැඟීමක් ලෙස සිත තුළ මතුවූවේ අරගලයේ සැබෑ අරුත වටහා නොගත් ඇතැම් පිරිස් පිළිබඳ උපන් කනගාටුවකි.

අප එහි සංචාරය කරන අවස්ථා වන විට ද දැකගත හැකි වූවේ ජනපති මැඳුර ඇතුළත එළිමහන් භූමියක පිහිටි පිහිනුම් තටාකය කිසියම් පිරිසක් විසින් අපවිත්‍ර කර තිබූ ආකාරයත් ඉන් තරමක් දුරින් ඉහළ මහලක පිහිටි ශරීර සුවතා මධ්‍යස්ථානය නරඹන්නන් විසින් රිසිසේ පරිහරණය කරන ආකාරයකි. උසු පරමාර්ථයන් සහිත අරගලයක් හිස් මිනිසුන් විසින් ඒ ආකාරයෙන් අවතක්සේරුවට ලක් කරමින් පවතින වටපිටාවක තවදුරටත් ජනපති මැඳුරේ ප්‍රෞඪත්වය සහ පවිත්‍ර බව රැක ගැනීම පිණිස අරගලයේ නිරත තරුණ කණ්ඩායම් කටයුතු කරමින් සිටින ආකාරයක් ද එහි ගිය අපට දැකගත හැකි වූහ. ඒ අතර ජනපති මැඳුර අලංකාරය පිණිස ඇති කරන ලද සුරතල් මසුන්ගෙන් සමන්විත මාළු ටැංකිය මෙම ස්ථානය භාර රජයේ ආරක්ෂක අංශ නිලධාරීන් කිහිපදෙනකු විසින් පිරිසිදු කරන ආකාරය දකින්නට ලැබුණු අතර රජවරුන් හැර ගියද සුරතලුන් තවමත් නිරුපද්‍රිත බව එම සිදුවීම හරහා ගම්‍ය වෙමින් පැවතිණ.

මෙම සටහන ඔබ අතට පත්වන අවස්ථාව වන විට මෙරට සම්ප්‍රදායික දේශපාලනය උඩු යටිකුරු කරන ලද තරුණ අරගලයට දින සියයක් සම්පූර්ණ වන අතර මේ වන විට අරගලකරුවන් විසින් අත්පත් කරගන්නා ලද ජනපති නිල නිවස නැවත රජය වෙත පවරා දීමට අරගල කරුවන් විසින් කටයුතු කර ඇත. කෙසේවෙතත් ඔවුන් සඳහන් කර සිටින්නේ වැදගත් කරුණු කාරණා කිහිපයක් මුල්කරගනිමින් තමන් විසින් අත්පත් කරගත් ජනපති නිල නිවස නැවත රජයේ අයිතියට පත්කරන බවත් ඉදිරියටත් මෙම ක්‍රමය වෙනස් කිරීම පිණිස දියත් කොට ඇති අරගලය “මැදුරේ” සිට නොව “පැදුරේ” සිට වුවද ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවත්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment