අවසන් තරගයට වරම් සොයන වැට උඩ සටන අද

358

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අරමුණෙන් පකිස්තානය සහ ශ්‍රී ලංකාව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) තරග වැදීමට නියමිත ය.

අද ප.ව.3.00 ට ඇරඹෙන එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 17 වැනිදා ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව සුපිරි හතර වටයේදී බංග්ලාදේශයට එරෙහිව තරග ජයගත් අතර ඉන්දියාව හමුවේ පරාජයට පත් වූයේය.

ශ්‍රී ලංකාව සහ පකිස්තානයට එරෙහිව පහසු ජයග්‍රහණ ලබා ගනිමින් ඉන්දියාව අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ඔවුන් සහභාගි වන අනෙක් තරගය හෙට (15 වැනිදා) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වේ.

ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව පෙරේදා ලද ජයග්‍රහණයත් සමග බංග්ලාදේශයට අවසන් තරග අවස්ථාව ලබා ගැනීමට තිබූ අන්තිම අවස්ථාව ද අහිමිව ගියේය.

ඉන්දියාවට එරෙහි තරගයේදී ශ්‍රී ලංකාව දුර්වල පිතිහරඹයක නිරත වීම මත පරාජයට පත් වූ අතර පාකිස්තානය ඉන්දියාව හමුවේ පන්දු යැවීමේ සහ පන්දුවට පහර දීම යන දෙඅංශයෙන්ම අතිශය දුර්වල තත්ත්වයකට පත් වූයේය.

ඒ අනුව දෙරට අතර තරග ඉතිහාසයේ දැවැන්තම තරග පරාජය ඉන්දියාව හමුවේ ලැබීම මත අද තරගය සඳහා පකිස්ථානය ශ්‍රී ලංකාවට වඩා පරාජිත මානසික මට්ටමකින් යුතුව මුහුණ දේ.

ශ්‍රී ලංකාව පැත්තෙන් ද ඉන්දියාවට එරෙහිව පැවති තරගය තනි අශ්වයෙකුගේ තරගයක් මෙන් දිස් වූ අතර දුනිත් වෙල්ලාලගේ ට අමතරව එහි දී දස්කම් දැක්වූයේ චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා පමණි.

ඒ අනුව සෙසු ක්‍රීඩකයන් තම දුර්වලතා සහ අඩුපාඩු හදාගෙන අද තරගයට මුහුණදීම ඉරිදා පැවැත්වෙන අවසාන මහා තරගයට මුහුණදීම සඳහා රුකුලක් වනු ඇත.

කෙසේ වුවද පකිස්තානය සතු ප්‍රබල වේග පන්දු යවන්නන් දෙදෙනකු වන හැරිස් රවුෆ් සහ නසීම් ශා දෙදෙනා ආබාධ ලැයිස්තුවට එක්ව සිටි අතර ඊයේ හවස් වන තුරුත් ඔවුන් දෙදෙනා අද තරගයට සහභාගි කරනවාද නැද්ද යන්න තීරණය වී නොතිබුණි.

ඉන්දියාව හමුවේ පරාජයට පත්වන විටද ලොව අංක එකේ එක් දින කණ්ඩායම ලෙස ශ්‍රේණිගතව සිටින පකිස්තානය පරාජයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට අද තියුණු තරගයක නිරත වීමට සිදු වේ.

ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම්වල අංක 8 ස්ථානයේ පසු වේ.

කෙසේ වුවද වර්ෂාව හෝ වෙනයම් හේතුවක් නිසාවෙන් අද තරගය නොපැවැත්වුවහොත් හෝ මේ වනවිට පකිස්තානයට වඩා ඉහළ ශුද්ධ ලකුණු වේගයක් රඳවා ගෙන ඇති ශ්‍රී ලංකාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

අද තරගය සඳහා අනුමාන කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, මතීෂ පතිරණ

පාකිස්තාන කණ්ඩායම

ෆකර් සමාන්, ඉමාම් උල් හක්, බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, අගා සල්මන්, ඉෆ්තිකාර් අහමඩ්, සදාබ් ඛාන්, ෆහීම් අශ්රෆ්, ශහීන් අෆ්රිඩි, නසීම් ශා, හැරිස් රවුෆ් (ශමන් ඛාන්, ශනවාස් දහානි)
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment