පැතුම්ගේත් ලහිරුලාගේත් පැතුම්  බොඳ වෙයි

738

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන කණ්ඩායම් හා ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්වල පන්දු වාර 20 -20 ක්‍රිකට් තරගවල හොඳම පිතිකරුවන් අතර 08 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මෙවර එල්පීඑල් තරගාවලියේ කිසිදු කණ්ඩායමට එක්කර නොගැනීම විශේෂ ලක්ෂණයකි.

ටෙස්ට්, එක් දින සහ පන්දු වාර 20-20 යන සියලුම ආකාරයේ තරඟවල ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය හෝ අංක 3 ස්ථානයේ නිත්‍ය සාමාජිකයකු වන පැතුම් නිශ්ශංක එල්පීඑල් තරඟාවලියේ කිසිදු කණ්ඩායමක් විසින් මිල දී

නොගැනීම මතභේදයට තුඩු දී ඇති කාරණාවක් බවට ද පත්වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සියලුම ආකාරයේ තරග අංශ සම්බන්ධයෙන් ගිවිසුම්ගත ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙසද පැතුම් නිශ්ශංක සැලකේ.

වත්මන් පන්දුවාර විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතර පැතුම් හැර වෙන කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකටු අංක 10 දක්වා ස්ථාන අතරට පැමිණීමට අවස්ථාව ලැබී නැත. එහි සිටින එකම පිතිකරුවා වන පැතුම් නිශ්ශංක ඔස්ටේ්‍රලියාවට එරෙහිව පසුගියදා නිමා වූ එක් දින ජාත්‍යන්තර තරගාවලියේ ජයග්‍රාහී ශතකයක් වාර්තා කිරීමට ද සමත් වූයේය.

පැතුම් ට අමතරව මෙවර එල්පීඑල් තරගාවලිය අහිමි වූ ක්‍රීඩකයන් අතර පසුගියදා නිමාවූ අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් වන අකිල ධනංජය සහ දුවිඳු තිලකරත්න ද වෙති. අකිල එම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ අතර දෙවැනියට වැඩිම කඩුලු ලබා ගත් දුවිඳු තිලකරත්න යන දෙදෙනාම මෙවර තරගාවලිය සඳහා කිසිදු කණ්ඩායමක් විසින් මිල දී ගෙන නොමැත.

එමෙන්ම බංග්ලාදේශයට එරෙහිව පසුගිය දා නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී විශිෂ්ට දක්ෂතා දැක්වූ අසිත ප්‍රනාන්දු සහ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ද මෙවර එල්පීඑල් තරගාවලිය සඳහා තෝරා ගෙන නොමැත.

ලහිරු මධුසංක, ලහිරු උදාර, ලහිරු සමරකෝන් සහ ලහිරු කුමාර යන ක්‍රීඩකයන්ට ද මෙවර එල්පීඑල් තරගාවලියට එක්වීමට වරම් හිමි වී නොමැති අතර මේ අතරින් ලහිරු මධුසංඛ සුළු ආබාධ තත්ත්වයකින් පෙළෙන බවත්, වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ද එවැනි තත්ත්වයකට මුහුණ දී ඇති බවත් වාර්තා වේ.

එසේම දකුණත් ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු ද මෙවර එල්පීඑල් දොරටු වැසුණු ක්‍රීඩකයන් අතර ප්‍රධාන තැනක් ගනී. කෙසේ වෙතත් දක්ෂතා අතර නොමැති වුවද ප්‍රධාන ක්‍රීඩා සමාජ දෙක තුනක ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මෙවර එල්පීඑල් තරගාවලිය සඳහා තෝරාගෙන තිබීම ද විශේෂ සිද්ධියක් වී ඇත.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment