ඊළඟ අරගලය

1122

ලෝකයේ පළමුවන දුම්රිය ධාවනය සිදුවන්නේ 1804 දී ඇමරිකාවේ වෙස්ට් වර්ජිනියා හා ඔහායෝ යන ප්‍රාන්ත දෙක අතරය. ලෝකයේ පළමු දුම්රිය වර්ජනය හටගන්නේ 1877 දී එක්සත් රාජධානියට අයත් වේල්සයේදීය. මේ පළාතේ දුම්රිය ලොක්කෝ 1877 දවසක හිටි ගමන් තම සේවකයන්ගේ වැටුප අඩු කරන ලදි. මෙහිදී දුම්රිය සේවකයන් අතර විශාල කලබගෑනියක් ඇති විය. එක්දහස් අටසිය ගණන්වල එංගලන්තයේ සිටි කම්කරු පන්තිය අතේ සතේ නැති නන්නත්තාර කම්කරු පන්තියකි. ඔවුහු අර්තාපල් වාරයට ඒවා ගලවා උදේටත්, දවල්ටත්, රෑටත් ඒවා පමණක්ම අනුභව කළහ. උදේට අර්තාපල් තම්බා කන ලදි. දවල්ට අර්තාපල් බැද හෝ පුළුස්සා කන ලදි. රාත්‍රියට අර්තාපල් සුප් ය. අර්තාපල් වාරය ඉවර වූ සැණින් ගෝවා වාරය හටගනී. එවිට බි්‍රතාන්‍ය කම්කරු පන්තිය තුන් වේලම ගෝවා අනුභව කළහ. එයින් එහා වෙනත් පෝෂ්‍යදායි ආහාර නැතිකමින් පීඩා විඳි ඔවුහු අතේ තිබෙන කීයකින් හෝ හැලි අරක්කු පානය කර ගෙදර විත් දරුවන්ටත් බිරිඳටත් තැලූහ. මේ හැලි අරක්කු පෙරන ලද්දේ ද අර්තාපල්වලිනි. හඳ පානේ කැලෑ මණ්ඩිවල හොරෙන් පෙරන බැවින් මෙම හැලි අරක්කු හඳුන්වන ලද්දේ moon shine ලෙසිනි. අපගේ වැටහීමට අනුව ලංකාවේ කම්කරුවන්ගේ තත්ත්වය ඉතිහාසයේ කිසි කලෙකත් මෙසේ අලවී නැත. මේ රටේ බරපතලම ආහාර සම්බාධක පැවති 1970 – 1977 කාලයේදී පවා අල නැතත් බතල ගෙඩියක් හෝ තම්බාගෙන කෑහ. 1980 ජූලි වර්ජනයේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් වර්ජකයන් සේවයෙන් නෙරපන ලද බැවින් සමහර වර්ජකයන්ට අල බතල පසෙක තිබියදී වස කෑමට සිදුවිය. 80 වර්ජනයේදී වැඩට නොඑන සේවකයන් අස් කිරීම හැර වෙනත් විකල්පයක් ජේ.ආර්.ටද තිබුණේ නැත. ඔහු එවැනි දැඩි පියවරක් නොගත්තා නම් මේ රටේ කම්කරු විනය කඩා වැටීමට ඉඩ තිබිණි. සේවකයන් වර්ජනය අතහැර වැඩට ගියා නම් වර්ජනය නමැති සංකල්පයේ ආත්ම ධෛර්යය වැනසී යෑමට ඉඩ තිබුණි. අප ඉහත සඳහන් විස්තරය කළේ මේ දිනවල පැවැත්වෙන දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් පූර්විකාවක් හැටියට ය. මේ රටේ පහළ මැද පන්තිය, මැද පන්තිය යන දෙකම අනුගමනය කරන ප්‍රධාන ප්‍රවාහන විධි දෙකක් ඇත. ඉන් පළමුවැන්න පයින් යෑමය. දෙවැන්න කෝච්චියේ යෑමය. ලංකාවේ මිල අඩුම පොදු ප්‍රවාහන මාර්ගය බවට දුම්රිය පත්ව තිබේ. මීට කලකට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ප්‍රවේශ පත්‍ර මිල දෙගුණ කළේය. එසේ යැයි කියා දුම්රියෙන් ගමන් කිරීම බිංදුවකින්වත් අඩු වූයේ නැත. මෙය සමාන වන්නේ ලොතරැයි මණ්ඩලය විසින් රුපියල් 20 ලොතරැයිය රුපියල් 40 කිරීමටය. එවිට ලොතරැයි අලෙවියේ අඩුවක් ඇති විය. එහෙත් මේ වනවිට එම අඩුව 90% පමණ යථා තත්ත්වයට පත්වී තිබේ. මෙවැනි ආර්ථික න්‍යායන් අපට තේරෙන්නේ නැත. ඉල්ලුම හා සැපයුම් යන දෙකට අනුව හැදෙන ආර්ථික න්‍යායන්ට වඩා ජන මනස තුළ ඉබේ හැදෙන ආර්ථික න්‍යායන් වඩා බලගතුය.

නොබෝදා පැවැති අලුත්ම දුම්රිය වර්ජනය හේතුවෙන් මේ වනවිට දුම්රිය මගීන් දෙදෙනෙක් කෝච්චියෙන් වැටී මිය ගොස් ඇති අතර තවත් අයෙක් ඉස්පිරිතාලය තුළ ජීවිතය හා මරණය අතර සටනක යෙදෙමින් සිටී. මිය ගිය දෙදෙනාගේ භාරකරුවන් දැඩිව කියා සිටින්නේ දුම්රිය වර්ජනය නිසා තම දරුවන් මළ බවය. දුම්රිය වර්ජනයකදී දුම්රිය ගමන් වාර ප්‍රමාණය අඩුකරනු ලැබේ. මෙවැනි අවස්ථාවලදී සමහරවිට කාල සටහන රේල් පාරට දමා එංජින් ඩ්‍රයිවර්ගේ අභිමතය පරිදි ගමන් කරන දුම්රියවල මගීන්ට ටිකට් දෙනු නොලැබේ. මේ නිසා කොහොමත් පාඩු දුම්රිය සේවයට තවදුරටත් පාඩු සිදුවේ. ගෝඨාභය රාජපක්ෂ යුගයේ අවසන් මාස දෙක තුන තුළ කඩින් කඩ දුම්රිය වර්ජන පැවැත්විණ. ඒ කාලයේදී ද දුම්රිය ස්ථානවල ටිකට් කවුන්ටර් වර්ජනය නිසා වසා තිබුණු බැවින් ටිකට් නැතිවම යෑමට ජනතාවට හැකි විය. මේ අතර යහපාලන යුගයේදී මාසයකට වඩා දීර්ඝ දුම්රිය වර්ජනයක් පැවති අතර අන්තිමේදී රේල් පාරවල් පුංචි වන ගහනයන් බවට පත්විය. දුම්රිය වර්ජනයකදී මිනිස්සු දුම්රිය වහලය මත පමණක් නොව එංජින් ඩ්‍රයිවර්ගේ ඔළුව උඩ ඉඳගෙන යෑමට වුව සූදානම් ය. මෙවන් අවස්ථාවලදී පාලම් ගැට්ටවල්වල වැදී හෝ දුම්රිය බිම්ගෙවල්වල වහලයේ හිස වැදී මිනිස්සු මිය යති. අවසානයේදී මේ මරණවල වගකීම ගැනීමට සිදුවන්නේ දුම්රිය පාලම් ගැටිවලට සහ බිම්ගෙවල්වල වහලවල්වලට ය. ඒ අනුව මෙවැනි වර්ජනවලින් ශරීර හානි හෝ ජීවිත හානි සිදුවන අයගේ භාරකරුවන් ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවලින් වන්දි ඉල්ලා උසාවි යන ක්‍රමයක් සෙවිය යුතුය. වැඩ වර්ජන සංවිධාන කරන්නේ වෘත්තීය සමිති විසිනි. එබැවින් පෙරකී අනතුරුවල වගඋත්තරකාර පාර්ශ්වය විය යුත්තේ එම වැඩ වර්ජන සංවිධාන කරන වෘත්තීය සමිති ය.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ අයිතිවාසිකමක් වූ වැඩ වර්ජන සමග මේ පුවත්පත එකඟය. එහෙත් ප්‍රවාහන සහ රෝහල් වර්ජන සම්බන්ධයෙන් මේ පුවත්පත එකඟ නැත. එවැනි වර්ජන නිසා රටේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වේ. මෙහෙම ගියොත් ඊළඟ අරගලය එන්නේ වැඩ වර්ජනවලට එරෙහිව ය. එය ලේසි වන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment