ස්ථිර පදිංචිය ඇති වතු කම්කරුවන්ට ස්ථිර තැපැල් ලිපින සූදානම් – නීතිපති උසාවියට දන්වයි

78

ස්ථිර පදිංචිය ඇති වතු කම්කරුවන්ට කඩිනමින් ස්ථිර තැපැල් ලිපින ලබාදීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, නුදුරේදීම එකී කටයුතු අවසන් කිරීමට අපේක්‍ෂා කරන බවත් තැපැල්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ඊයේ (13 දා) අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පැවසීය.

වසර 200 කට ආසන්න කාලයක් තිස්සේ වතුවල ස්ථිර පදිංචිකරුවන් වන තමන් ඇතුළු වතු සේවකයන් විශාල පිරිසකට ස්ථිර තැපැල් ලිපින ලබාදීමට නිසි පියවර නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව කියමින් නුවන්කන්ද වතුයායේ පදිංචිකරුවකු වන සුරේෂ් කුමාර් නමැත්තා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට එලෙස පැවසුවාය. එකී කටයුතු අවසන් කර අධිකරණයට වාර්තා කිරීමට සති හයක කාලයක් ලබාදෙන ලෙසට ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඬුල්ල ලබන දෙසැම්බර් 4 වැනිදා එම පෙත්සම යළි කැඳවීමට නියෝග කළහ. නීතිඥ කසුනි හේරත් මහත්මිය මගින් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ මනීෂා කුමාරසිංහ මෙනවිය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment