කාගෙත් හිතවත් අපේ ධම්මික අයියා….

3536

ගෙවීගිය 24 ඉරිදා දින උදෙන්ම දිවයින පුවත්පතේ සොයුරු කැළ සූදානම්ව සිටියේ දිවයින ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක මහතාගේ අභාවයට පත් ජ්‍යෙෂ්ඨ පුතුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මාකොළ පිහිටි නිවසට යෑම සඳහාය. ඒත් සමගම දිනේෂ් විතාන සොයුරාගේ දුරකථනය නාද වන්නට පටන් ගත්තේය. දුරකථනයට පිළිතුරු දුන් ඔහුගේ මුහුණේ ඉරියව් ක්‍ෂණිකව වෙනස් වීම දුටු අපි “මචං මොකද යැයි” විමසුවෙමු. “මචං ධම්මික නැතිවෙලා” මේ ඔහුගේ මුවින් පිටවූ ඉතාමත් අවාසනාවන්ත පුවතය. මේ පුවත අසා අප සියලුදෙනා ගල් ගැසුණාක් මෙන් විය. අප එකිනෙකාගේ මුහුණට මුහුණ බලාගත්තේ නිරායාසයෙන්මය. පෙරදා සවසත් පාලිත සමග ඉතා හොඳින් කතාබහ කළ සහෘදයා පසුදින උදෑසන වන විට අපට මෙසේ අහිමිවීම කෙසේවත් අදහාගත නොහැකි වූ පුවතක් විය.

‘ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි’ අපේ ජීවිතයේ නොයෙක් තැන්වල අපට හමුවූ මිනිසුන් අතර “සොඳුරු මිනිසුන්” ඉතා විරලය. අල්පය. ඒ අතර “ආදරණීය ධම්මික” හිතවතා අපේ සිත් සතන් තුළ ඉහළ තැන හිමිකර ගත්තේය. “ධම්මික අයියා” එහෙමත් නැතිනම් පුවත්පත් පාඨකයන් හඳුනන පරිදි ධම්මික හේවාවසම් මට හමුවන්නේ මීට වසර 20 කට ඉහතදීය. එනම් මා ‘දිවයින’ට පැමිණි දින සිටය. සහෝදරත්වය, ආදරය, ලෙන්ගතුකම, විශ්වාසය මහ ඉහළින්ම ලබාදුන් අය අතර “අපේ ආදරණීය ධම්මි” ප්‍රධාන තැනක් ගත්තේය. කාර්යාලයේ සහෝදර හිතවතුන් අතර “ධම්මි” යන ආදර අන්වර්ථ නාමය හිමිවන්නේද ඔහුගේ ඇති මානුෂවාදී ක්‍රියාපිළිවෙත නිසාමය.

1992 උපාලි පුවත්පත් සමාගමේ ගිණුම් අංශයෙන් රාජකාරී දිවිය ඇරඹූ ධම්මික ඉන් පසු දිවයින සෝදුපත් අංශයට සම්බන්ධ විය. කුඩා කල පටන්ම ලේඛන කලාවට තිබූ ආශාව නිසාම සෝදුපත් අංශයේ සේවය කරමින් සිටියදීම දිවයින ඉරිදා සංග්‍රහයේ ‘මීවිත’ කලා සහ ‘නැකත’ ජ්‍යොතිෂ අතිරේකවල ලිපි සම්පාදනයෙන් මාධ්‍යකරණ කටයුතුවල නිරත විය. මේ නිසාම බොහෝ කලාකරුවන් සහ ජ්‍යොතිෂවේදීන් ළඟින් අසුරු කළ ධම්මික ඒ බොහෝ දෙනකුගේ සිත දිනාගත් කුළුපග මිත්‍රයකු විය. ඒ බවට ඔහුගේ මුහුණු පොතද සාක්‍ෂි දරයි. අනතුරුව නවලිය පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස ස්ථිර සේවයට එක්වූ ධම්මික ‘නවලිය’ට නැතිවම බැරි ලේඛකයෙකු බවට පත්විය. මියයන තුරුම ඔහු නවලිය කතු මඬුල්ලේ සාමාජිකයකුව සිටියේය. අමතරව ඉරිදා දිවයින පුවත්පතට ලිපි සැපයීමද ඔහු අතින් දිගටම සිදුවිය.

ආදරණීය ධම්මික, ඔබගේ වෙන්වීම සහෝදර සේවක අපට මෙන්ම අපගේ ආයතනයටද දරාගත නොහැකි පාඩුවකි. ඔබ මිනිසුන් අතර මිනිසත්කම දන්නා හඳුනන මනුෂ්‍යත්වයේ ගුණසුවඳින් හෙබි හිතවතෙකි. වසර 54ක් ආයු වළඳා අද (26) අප අතරින් වෙන්ව යන ආදරණීය ධම්මික හිතවත, ඔබට අජරාමර නිවන්සුව…!

සමීර

advertistmentadvertistment
advertistmentadvertistment