නිවසෙහි ඉදිකිරීම ශුභ මාසයකම අරඹන්න

92

නිවසක් හදන්න සල්ලි තියෙනවා නම් මොන නැකැත්ද මොන වේලාවන්ද ඕනේම වේලාවක ගෙයක් මවන්න පුළුවන්නේ. මෙවැනි කතා අපි ඕනේ තරම් අසා ඇත්තෙමු. නමුත් අතේ මිටේ යහමින් මුදල් තිබුණ පලියටම සැලසුමක් ඇඳගෙන හිතූ මාසයක හිතූ වේලාවක නිවසේ වැඩ ආරම්භ කරලා අත්තිවාරමෙන්, සමහර විට මුල්ගල තැබීමෙන් පමණක් බිත්ති ටික බැඳීමෙන් වහලය ගසා සෙවිලි කිරීමෙන් ඉතුරු වැඩ ටික කර ගැනීමට නොහැකි වූ ගෙවල් කොපමණ තියෙනවාද? හොඳින් බලන්න එහෙම තිබෙන ගෙවල්වලින් 60% කට වැඩි ප්‍රමාණයක් නිවැරදි වාස්තු පරීක්‍ෂා වලින් තොරව,මාසය,දිනය, ශුභ හෝරාවක් සම්බන්ධයෙන්

අනුගමනය නොකර ඉදිකළ නිවාසය. මේ බව වඩාත් තහවුරු වන්නේ මුදල් නොමැතිවීම නිසා ඉතුරු වැඩ කරගන්නට නොහැකිව පවතින නිවාස වගේම අතමිට මුදල් ඕනි තරම් පැවතුන ද ඒ සඳහා යොමුවීමට වේලාවක් නොමැති යැයි දිනෙන් දින නිවසේ වැඩ ප්‍රමාද වීම, නොමැති නම් නිවසේ වැඩ අවසන් කිරීමට ප්‍රථම මුදල් තිබුණට ඒ ගැන උනන්දුවක් නැතිකම, නැති නම් ගෙට වෙන් කළ මුදල් ව්‍යාපාරික අවස්ථාවකට, ඉඩමක් වැනි ස්ථාවර වත්කමක් මිලයට ගැනීමට යෙදවීම ආදී හේතුන් නිසා නිවස ඉදිකිරීමට ප්‍රමාද වීමයි. කෝන මාසවල නිවාස වැඩ කටයුතු ආරම්භ කරන්නේ නැත. මීන, මිථුන, කන්‍යා, ධනු රාශිවල සූර්යා ගමන් කරන කාල තුළදී පෘථිවියේ චුම්භක ශක්තිය ද ඉහළ මට්ටමක පැවතීම ද විද්‍යාත්මක හේතුවකි. කෙසේ වුවද කෝන මාස පවතින මාසවල ද කෝන හර කාලය තුළදී නිවෙස්වල ආරම්භක කටයුතු වගේම විවාහ කටයුතු ද සිදුකළ හැකිය. එසේ නම් බලමු එක් එක් මාසයට අදාළව නිවාස තැනීමට සුදුසු හා නොසුදුසු මාස කවරේද එවැනි මාසයකදී නිවාස වැඩ විශේෂයෙන්ම ගෙයක් සෑදීමට ආරම්භ කිරීම තුළින් සිදුවන යහපත් හා අයහපත් දේවල් මොනවාද යන්න.

ජනවාරි මාසය

ජනවාරි මාසය වශයෙන් දින දර්ශනයේ ආරම්භක මාසය වශයෙන් නම් කළ ද සිංහල ක්‍රමයට නම් මෙය දුරුතු මාසයයි. ජනවාරි 01 දින ශුභ දිනයක් වශයෙන් බොහෝ දෙනකු සලකන්නේ දින දර්ශනයේ ආරම්භක දවස නිසා විනා මෙම දිනයේ ජ්‍යොති ශාස්ත්‍රය ගැන නොසිතාය. බොහෝ දෙනකු මෙදිනට කිරි ඉතිරවීම, කැවුම් කිරිබත් පිසීම කරන්නේ එය පාරම්පරිකව කරගෙන එන සිරිතක් වශයෙනි. ඇත්තටම මෙදිනට බොහෝ දෙනකු නිවාස සාදන්න, මුල්ගල තබන්න, නිවාසවලට ගෙවදීමට යන බොහෝ මංගල කටයුතු ආරම්භ කරයි. නමුත් වසරේ පළමු දිනය වශයෙන් විශේෂත්වයක් හැරෙන්න මේ දින කිසිම අලුත් කාර්යක් ඇරඹීමට සුදුසු නොවේ. ධනු කෝණය ජනවාරි 01 දා සිට තවත් දින 13-14 පමණ පවතී. පෘථිවියේ චුම්බක ශක්තිය ඉහළව ඇති මෙම කාලයේ සූර්යා ගමන් කරනු ලබන්නේ ධනු රාශියේය. මෙය ධනු රවිය වේ. මෙම කාලය තුළදී රැකියා බිඳවැටීම්, ධන හානි, කරදර, වැඩිහිටියන්ට විපත්, බොහෝ රටවල පවා සුනාමි, යුද්ධ ගිනි හානි, ජල හානි, සුළි සුළං පවතින වකවානුවක්ය. නමුත් ජනවාරි 15 වැනි දිනට පසුව දුරුතු හෙවත් ජනවාරි මාසයේ නිවාස තැනීමට ආරම්භ කිරීම, නිවාස තැනීම ආදී කටයුතුවලට ශුභ වන අතර හොඳින් කරගෙන යෑමට හැකි වනු ඇත. නිවස සෑදීමට පැමිණෙන පෙදරේරුවන්ගේ පවා උපරිම සහයෝගය ලැබේ. ධනය, භවබෝග සම්පත් ලැබෙන අතර වාස්තු විද්‍යාත්මකව යස ඉසුරු ලැබෙන කාලපරාසයක් බව සඳහන් වේ.

නවම් මාසය හෙවත් පෙබරවාරිය

පෙබරවාරි මාසය බොහෝ දෙනකු සලකන්නේ අඩු මාසයක් ලෙසිනි. නමුත් ඉතා ශුභ නැකැත් යෝග ඇති මාසයක්ද වේ. නමුත් නිවාස තැනීමේදී ආරම්භක කාලයක් වශයෙන් ගැනීම සිදුකළ හොත් සතුරු කරදර පැනනැගීමටත්, අලාභ සිදුවීමටත් සිදුවන අතර වැඩකටයුතු ආරම්භ කිරීමටත් කරගෙන යාමටත් දැඩි උත්සාහයක් ගැනීමටත් සිදු වේ. එම නිසා මෙම මාසය නිවාස කටයුතුවලට අශුභ වේ.

මාර්තු මාසය හෙවත් මැදින්

මාර්තු මාසයේ නිවාස ඉදිකිරීමට ශුභ මාසයක් වන අතර මෙම මාසයේ අරඹන නිවාසවල වැඩ කඩිනමින් නිමකර ගැනීමට වියදම අඩුවන අතර ඉතා වාසනාවන්ත කාලයක් වනු ඇත. මෙම මාසයේ ආරම්භ කරන නිවාසවලට සෞභාග්‍යය, ධනය ළඟා වේ. නමුත් මාර්තු මාසයේ 15 දිනට ප්‍රථම නිවාස කටයුතු ආරම්භ කළ යුතුය. මාර්තු 15 සිට අප්‍රේල් 15 දක්වා සූර්යා මීන රාශියේ සංක්‍රාන්ති සමය මීන කෝණය වශයෙන් මෙය බක් මහ වසන්ත කාලය හෙවත් සිංහල අවුරුදු කාලය දක්වා පවතී.

අප්‍රේල් මාසය හෙවත් බක් මස

බොහෝ දෙනකු සිතන ජනවාරි පළමුදා මෙන්ම සිංහල අවුරුදු කාලය පැමිණෙන බක් මස ද නිවාස කටයුතු ආරම්භ කිරීමට ශුභ මාසයක් නොවේ. මෙම මාසයේ මැද දක්වාම මීන රවිය හෙවත් මීන කෝණ කාලය ගතවීම කිසිම නිවාස කටයුත්තක් සඳහා මුල් සති දෙක ගත නොහැකි අතර කෝණ හර කාලසීමාව තුළ ද නිවාස කටයුතු ආරම්භ කිරීමෙන් ලෙඩ දුක් කරදර ඇතිවිය හැකිය. නිවසේ වැඩ ප්‍රමාදවීම, ධනය වියදම් වීම, නිවස ඉදිකිරීමට පැමිණෙන මේසන් බාස්ලා අතර මතභේද ඇතිවීම ඔවුන් නිවසේ ඉදිකිරීම් භාගයට දමා ඉවත්ව යෑම ආදිය සිදු වේ.

මැයි හෙවත් වෙසක් මාසය

ගස් වැල් ඵල බරව, මල්ගස් මලින් පිරී ගිය වසන්ත ඍතුවකි. මැයි මාසය අප බෞද්ධයන්ට ඉතාමත් වටිනා කාලපරිච්ඡේදයක් වන වෙසක් මාසය ලෝකවාසී ජනයාගේ ගෞරවයට පාත්‍ර වන මාසයක් වන්නේ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්ගේ උපත, බුදුවීම, පිරිනිවන යන සුවිශේෂී අවස්ථා 03ම එකම දිනක එකම මාසයක සිදු වීමෙනි.

මෙම මාසය අලුතින් නිවාස ඉදිකිරීමට, මුල්ගල තැබීමට ආදී සියලු කටයුතු සඳහා ඉතාමත් ශුභ වාසනාවන්ත මාසයකි. වාස්තු විද්‍යාවේ සඳහන් අන්දමට රන්, රිදී, මුතු මැණික් ලැබෙන නිවැසියන් නිරෝගී වන පුන්‍යවත් දූදරුවන්ගේ සම්පත්තිය ඇතිවන ධන ධාන්‍ය හිමිවන ව්‍යාපාර දියුණුවට හේතු වන කාලයකි.

ජුනි මස හෙවත් පොසොන්

පොසොන් මාසය ද ශ්‍රී ලාංකිකයන් වන අපට ඉතාමත් වැදගත්ම මාසයක් වන්නේ ශ්‍රී ලංකාවට බෞද්ධාගම රැගෙන ආ දවසත් එමගින් ශ්‍රී ලාංකීය ජන ජීවිතය, සංස්කෘතිය වෙනසකට භාජනය වීමට ගත් මාසය ලෙසිනි. ඉදිකිරීම්, වෙහෙර විහාර, දාගැබ්, ඉදිකිරීමට යොමු වුණේ පොසොන් මාසයේ සිදුවූ ආගමික පුනර්ජීවනය නිසාය. නමුත් ජුනි මාසය ගෘහ කටයුතු ඇරඹීමට නම් කිසිසේත් ශුභ මාසයක් නොවේ. ගෘහයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ජීවිත හානි ගෙන දෙන්නක් බව වාස්තු විද්‍යාවේ සඳහන්ය. ඒවාගේම දුක්, පීඩා, බාධා ගෙන දෙන්නකි. ජුනි මස මැද මිථුන කෝණය ද ආරම්භ වේ.

ජුලි මස හෙවත් ඇසළ මස

මිථුන කෝණය හෙවත් මිථුන රවිය මේ ජුලි මාසයේ මැද දක්වාම පවතී. ඒ නිසා ගෘහ කටයුතු ආරම්භයට මුල් සති 02 කෙසේවත් ගත නොහැක. නමුත් කෝණ හර කාලය තුළදී වුවද ඇසළ මාසයේ නිවාස ආරම්භය, මුල්ගල තැබීම සිදුකළහොත් ඉතා අශුභ තත්ත්වයන්ට එනම් ව්‍යාපාර වෙළෙඳ කටයුතු විනාශ වීම්, බංකොලොත්වීම, රැකියා අහිමි වීම, ධනය විනාශ වීම, දරු ඵල අහිමි වීම, ගොවිතැන් භවභෝග හානියට පත්වීම සිදු වේ.

අගෝස්තු හෙවත් නිකිණි මාසය

අගෝස්තු මාසයේ ශුභ හෝරාවකින් ආරම්භ කරන නිවසක් මුදල් කෙලෙස හෝ ලැබීමත් නිවසෙහි වැඩකටයුතු ඉක්මනින් අවසන් කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. ඥාති හිතමිතුරන්ගෙන් උදව් උපකාර හිමි වේ. ව්‍යාපාර, ගොවිතැන් කටයුතු දියුණු වී අතමිට සරු වේ. මේසන් හා වඩුබාස්ලාගේ උපරිම කැපවීම ලැබේ. නිවාස ඇරඹීමට මුල්ගල තැබීමට ඉතාම ශුභ මාසයකි.

සැප්තැම්බර් හෙවත් බිනර මාසය

සැප්තැම්බර් මැද යළි කන්‍යා කෝණය ආරම්භ වන නිසා එම කාලය නිවාස කටයුතුවලට නොගනී. නමුත් සැප්තැම්බර් මුල් සති දෙක හෙවත් කෝණ හර කාලය තුළ ද නිවාස කටයුතු ආරම්භ කිරීම, මුල්ගල තැබීම ශුභ කටයුත්තක් නොවන බව වාස්තු විද්‍යාවේ පෙන්වා දේ. එලෙස කටයුතු ඇරඹීමෙන් අසල්වාසීන්ගේ බාධා, එදිරිවාදිකම්, නිවස භාගෙට තනාගෙන යන විට බාස්ලා අතරමග දමා යෑම උදව් කිරීමට සිටි ගෙදර හිත මිතුරන් සතුරන් බවට පත් වේ. සියල්ල ඇනහිටී.

ඔක්තෝම්බර් හෙවත් වප් මාසය

මුල් සති දෙකක කාලය කන්‍යා කෝණ කාලය නිසා අශුභයි. ඉන්පසු කෝණ හර කාලය ද ඔක්තෝබර් මාසය නිවාස කටයුතු ඇරඹීම, මුල්ගල තැබීම ආදියට අශුභ ඵල ගෙන දේ. නීතිමය ගැටලු නඩුහබ, කලකෝලහාල, ලේ වැගිරීම්, සතුරු උපද්‍රව ඇති වෙයි. අවාසනාවන්ත සිදුවීම්වලට භාජනය වීමට මේ කාලය තුළ ගෘහ ආරම්භක කටයුතු නිසා සිදු වේ.

නොවැම්බර් හෙවත් ඉල් මාසය

නොවැම්බර් මාසය මළවුන්ගේ මාසයක් යනුවෙන් බොහෝ දෙනකු නිවාස සෑදීම් ඇරඹීමට මුල්ගල තැබීමට අකමැත්තක් දැක්වුවද වාස්තු විද්‍යාවට අනුව නම් ශුභ මාසයක් වේ. මේ මාසයේ ගෘහ ආරම්භය නිසා නිවසේ වැඩ ඉක්මනින් අවසන්ව ගෙවැදීමට හැකිය. නිවස ඉදිකිරීමට අවශ්‍ය මුදල් නිතර අතට ලැබේ. බලාපොරොත්තු නොවුන අයුරින් නිවස ඉදි වේ.

දෙසැම්බර් හෙවත් උඳුවප්

දෙසැම්බර් මැද භාගයේදී ධනු කෝණය හෙවත් ධනු රවිය පටන් ගැනීම නිසා දෙසැම්බර් මුල් සති දෙකක කාලය හෙවත් කෝණ හර කාලය තුළ ගෘහ ආරම්භක කටයුතු මුල්ගල තැබීම, කළ හැකි අතර එසේ ආරම්භ කිරීමෙන් රැකියා, වෙළෙඳ, ගොවිතැන් වලින් දියුණුව අත් වේ. ඉතාම ශුභ කාලයකි. බලාපොරොත්තු රහිත මුදල් ආදායම් අතට ලැබේ. නිවස ඉක්මනින් අවසන් කරගත හැක. නමුත් බොහෝ දෙනකු දෙසැම්බර් මාසයේ ගෘහාරම්භයට වැඩි කැමැත්තක් නොදක්වයි. එයට හේතුව ‘අවුරුද්දේ අන්තිම මාසය නේ’ කියා මතයක් පැවතීමය. නමුත් මෙය අවුරුද්දේ අවසාන මාසය නොවන බව සිංහල අප දැනගත යුතුය.

නිවසෙහි ඉදිකිරීම ශුභ මාසයකම අරඹන්න

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment