ඔබේ සහකරු සහකාරයා හමුවන හැටි

942

තම පෙම්වතා හෝ පෙම්වතිය කවදා කෙසේ හමුවේදැයි තරුණ තරුණියන් නිතර අසන ප්‍රශ්නයකි.

ජ්‍යොතිෂඥයන් ඉගෙන ගත් පමණින්ම මේ ප්‍රශ්නයට උත්තර දීමට ඉක්මන් නොවී දහස් ගණනක් විවාහක ස්ත්‍රී පුරුෂයන්ගේ කේන්දරය සමග ඒ අය විවාහ වූ දිනයත් සහකරු හෝ සහකාරිය මුණගැසුණු ආකාරයත් පරීක්‍ෂාකර මෙසේ බැලිමි. මෙසේ පරීක්‍ෂණ තුළින් හෙළිවූ කරුණු ස්වල්පයක් ඔබ හමුවේ විස්තර කරනුයේ ඔබේ කේන්දරය ඔබටම බලා තේරුම් ගැනීම පිණිසය.

ඇතැම් අයට උත්සව අවස්ථාවකදී අනාගත තම සහකරු හෝ සහකාරිය හමුවණු ඇත. තවත් අයට මරණය වැනි ශෝක ජනක අවස්ථාවකදී ද, තවත් අයට ආගමික අවස්ථාවකදී ද, තවත් අයට පාසල් අවධියේ සිට ඇතිකර ගත් දැන හැඳුනුම්කම් මත ද, තවත් සමහර අයට රැකියාව කිරීමේදී ද තම සහකරු හෝ සහකාරිය මුණගැසීමට ඉඩ තිබෙනු ඇත. විවාහ යෝජනා තුළින් සිදුවන විවාහ ප්‍රමාණයන් වැඩිය. වයස අවුරුදු දාසය වැනි බාල වියේදීම ඇතැම් අය යුගදිවියට පාතබන අතර වයස හතළිස් ගණන් ගෙවී ගියද ඇතැම් අයට විවාහය සිදුකර ගැනීම අපහසුවී ඇත.

එක් ප්‍රාදේශීය රජයේ නිලධාරියෙක් තම සහකාරිය සොයාගත් හැටි උදාහරණයක් වශයෙන් දැක්විය හැකිය. එම නිලධාරියාට වෙනත් සහෝදර සහෝදරියන් නොසිටි අතර පියා මිය ගියේ ඔහු බාල කාලයේදීමය. මව සෑම උත්සාහයක්ම ගෙන ඔහුට උගන්වා රජයේ උසස් නිලධාරියෙක් බවට පත්කළ සැටිත් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් අවවාද අනුශාසනා කළ හැටිත් ඔහුට මතකය. විවාහවීමේදී තම තත්ත්වයට ගැළපෙන සහකාරියක් සොයාදීමට මව විසින් මඟුල් කපුවන් යොදා ඇති බවද ඔහු දනී. මේ අතර තම කාර්යාලයට පැමිණි එක්තරා පාසල් ගුරුවරියකගේ ප්‍රශ්නය වූයේ තමාගෙන් අස්ථානගත වූ වැදගත් ලියවිල්ලක් නැවත ලබා ගැනීමටය.

සාමාන්‍යයෙන් නිලධාරීන්ගේ ප්‍රශ්නය මගහැර ක්‍රියාකිරීම නිසා ඇය මෙම උසස් නිලධාරියාටම තම ප්‍රශ්නය ඉදිරිපත් කළාය. සාමාන්‍යයෙන් නිලධාරියෙකුට එම ලිපි ඇය වෙත ලබාදෙන මෙන් අණ කළ ඔහු ඇය සමග ඉතා සුහදව කතාබස් කළේය. මින් මාස කීපයකට පසු අතරමගදී මෙම නිලධාරියාගේ මෝටර් රථය ක්‍රියාවිරහිත විය. ඔහු මෝටර් රථයෙන් බැස කාර්මික දෝෂය පරීක්‍ෂා කර බලමින් සිටියදී පාසල නිමවී ගෙදර යමින් සිටි ගුරුවරියක් ඔහු හා කතා කළේය. ඔහුගේ සිතේ ඒ වන විටත් නළියමින් තිබූ මුල් දිනයකදී ස්වකීය කාර්යාලයේදී ඇයගේ හමුවීම මතකයට නැඟුණි. මෙසේ මාස කීපයක් ඔවුනොවුන් නිතර නිතර හමුවීම ආදියෙන් මිත්‍රවී අනතුරුව දෙදෙනා විවාහ ගිවිස ගත්හ. මේ දෙදෙනාගේ කේන්දර පිරික්සීමෙන් පසු පෙනී යනුයේ තම රාජකාරි අවස්ථාවකදී තම සහකාරිය ලැබීමට ද බොහෝදුරට ඉඩ ඇති බවය.

තමා උපන් ලග්නය කුමක් වුවත් උපන් ලග්නයෙන් හත්වැන්න විවාහය සම්බන්ධයෙන් විශාල බලපෑමක් ඇති කරන බවයි. හත් වැන්නේ සිටින ග්‍රහයන් හා හත්වැන්නාධිපතියාත්, හත්වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටීන් හා හත්වැන්නාධිපතියාට වැටෙන ග්‍රහ දෘෂ්ටීන් ද සලකා බලා සහකරු හෝ සහකාරිය මුණ ගැසෙන ආකාරයද, විවාහ වන කාල වකවානුවද තේරුම් ගත හැකිය.

විවාහ වන කාලය තේරුම් ගැනීම සඳහා හත්වැන්නාධිපතියාගේ හත්වැන්නේ සිටින ග්‍රහයන්ගේ හෝ හත්වැන්නට බලවත් දෘෂ්ටි වැටෙන ග්‍රහයාගේ මහදසා අතුරු දසා විදෂා හා සූක්‍ෂම දසා කාලයන් බැලිය යුතුය. එසේම ග්‍රහ ගෝචර තත්ත්වයද සැලකිල්ලට ගත යුතුයි. මේෂ ලග්න හිමියන්ට හත්වැන්න අධිපතියා වනුයේ සිකුරු ග්‍රහයාය. ඔහුගේ හෝ ඇයගේ විවාහය ගැන බැලීමේදී සම්පූර්ණයෙන්ම සිකුරුගේ බලපෑම ගැන පමණක් සැලකිලිමත් වීම ප්‍රමාණවත් නැත. සිකුරු කේන්දරයේ උසුලන බලය මෙන්ම හත්වැන්නේ වෙනත් ග්‍රහයන් සිටීනම් ඒ ග්‍රහයන් ගැනද හත්වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටීන් ගැනද සලකා බලා ඒ ගැන තීරණය කළ යුතුය. සෑම මේෂ ලග්න හිමියන්ටම ඒකාකාරී නොවූ විවිධ ආකාරයෙන් විවාහය සිදුවනුයේ එම නිසාමය. සිකුරු ගැන පමණක් බලන්නේ නම් සෑම මේෂ ලග්න හිමියෙකුගේම විවාහය ගැන සමානව කතාකළ හැකිවිය යුතුයි.

බොහෝ තරුණ තරුණියන් විමසනුයේ තමාගේ විවාහය කවදා කෙසේ සිදුවේද? ඔහුගේ හෝ ඇයගේ විස්තර කෙසේද යනුවෙනි. මෙයින් ඇතැම් අය වයස අවුරුදු 35/40 අතර පසුවන අයය. මෙතෙක් විවාහය ප්‍රමාද වීමට හේතු විමසනුයේ කීපදෙනෙක් පමණි. ඔබත් විවාහය පමාවන අයෙක් නම් ඔබේ කේන්දරය ගෙන ඔබම පරීක්‍ෂාකර බලන්න. ඔබ උපන්

ලග්නය කුමක් වුවත්, කුමන භාවයක හෝ කුජ, ශනි යෝග ඇත්නම් එය විවාහය පමාවීමට එක් හේතුවකි. කුජගෙන් හතේ ශනි සිටීමද තවත් එක් හේතුවකි. විසි දෙවැනි දෙර්කාණාධිපතියා හතේ සිටීමත්, හත අධිපතියා විසි දෙවැනි දෙර්කාණාධිපතියා වීමත්, ගුරු හෝ සිකුරු විසි දෙවැනි දෙර්කාණාධිපතියා වීමත් විවාහය සම්බන්ධයෙන් විවිධ ගැටලු ඇති කිරීමට හේතුවේ.

ඔබේ සහකරු සහකාරයා හමුවන හැටි

ජේ.ඒ.ඇස්. සහන් ජයකොඩි,
ජයකොඩි ජ්‍යොතිෂ්‍ය සේවය,
රද්දොළුගම.
දුරකථන 0114262367/0760119960

advertistmentadvertistment
advertistmentadvertistment