ශ්‍රී සෞභාග්‍යය ධන සම්පත් ලැබදෙන ලක්‍ෂමී දේවිය

454

සකල සෞභාග්‍යයට මෙන්ම අසමසම රූපශ්‍රීයකට හිමිකම් කියන දෙව්ලොව විරාජමාන ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ භාර්යාව වන ලක්ෂ්මී දෙවඟන; ශ්‍රියාකාන්තාව, මහී, පද්මා, නන්දිකා, ඉන්ද්‍රා, පද්මප්‍රිය, මාලාධර ආදී පර්යාය නාම රැසකින් හඳුන්වනු ලබයි. සුන්දරත්වයෙන් අගතැන්පත් දිව්‍යාංගනාවක් වූ පද්මාසනධාරී ලක්ෂ්මී දේවිය නේක වර්ණ මිණි කැටවලින් ද රන්, රිදී, මුතු ආදී ආභරණයෙන් ද විභූශිත වූ වර්ණවත් සලුවකින් සැරසී මිණි කැටවලින් අලංකාර වූ ඔටුන්නක් හිස දරා සිටී. එසේම එතුමියගේ එක් අතක කඩුපුල් මලක් ද තව අතක රන් නෙළුමක් ද අනෙක් අතේ අභය මුද්‍රාව ද ඉතිරි වූ අතේ රන් කාසි පිරුණ රන් කාසි කඩා හැලෙන කළයක් ද වේ.

පුරාණ පොත පතට අනුව ලක්ෂ්මී දෙවඟනගේ උපත සම්බන්ධ කතා පුවත් බොහෝය. ඒ අතුරින් බහුතරය පිළිගත් මතය වනුයේ මෙයයි. සුරාසුර යුද්ධයේදී සුරයන් විසින් කිරි සයුර කලඹද්දී එම කිරි සයුරෙන් ලක්ෂ්මී දෙවඟන මතුවූ බවයි. එසේ මතුවූ ලක්ෂ්මී දේවිය නෙළුමක් මත පාවෙමින් සිටින විට විෂ්ණු දෙවිඳුන් එතුමිය සරණපාවා ගත් බවය. එසේ සරණපාවා ගත් ලක්ෂ්මී දෙවඟන ශ්‍රී විෂ්ණු දෙවිඳුන් මනුලොව පහළවන සෑම අවස්ථාවකම ලක්ෂ්මී දේවිය ද මනුලොව ඉපිද විෂ්ණු දෙවිඳුන්ගේ භාර්යාව වන බව ද සඳහන්ය. මීට නිදසුනක් ලෙස රාම සීතා කතා ප්‍රවෘත්තියත්, රාධා ක්‍රිෂ්ණා කතා ප්‍රවෘත්තියත් පෙන්වා දිය හැක.

ලක්ෂ්මී දේවිය බොහෝ ස්ථානවල වැඩ සිටින බව සඳහන්ය. එම ස්ථාන අතර අලංකාර නිවස, දක්ෂිණාවෘත සංඛය, රජ මාලිගය, සත්‍ය වචනය, නදිය, ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ උරතලය, ගෝකුලය මූලිකය. සෞභාග්‍යයෙන් අගතැන්පත් ශ්‍රී ලක්ෂ්මී දෙවඟනට අවතාර මෙන්ම මූර්ති ද 10 කි.

ලක්ෂ්මී දෙවඟන දරනා අවතාර 10 මෙසේය.

  1. ධන ලක්ෂ්මි
  2. විජය ලක්ෂ්මි
  3. වීර ලක්ෂ්මි
  4. මංගල්‍ය ලක්ෂ්මි
  5. ගජ ලක්ෂ්මි
  6. ශාන්ත ලක්ෂ්මි
  7. ධාන්‍ය ලක්ෂ්මි
  8. විද්‍යා ලක්ෂ්මි
  9. ඉංදු ලක්ෂ්මි
  10. ආදි ලක්ෂ්මි

එසේම ලක්ෂ්මි දෙවඟන දරනා දසවිද මූර්තිය මෙසේය.

  1. මහා ලක්ෂ්මි
  2. නෘත්‍ය ලක්ෂ්මි
  3. සුන්දර ලක්ෂ්මි
  4. රූප ලක්ෂ්මි
  5. වීර්ය ලක්ෂ්මි
  6. රෝග නිවාරණ ලක්ෂ්මි
  7. ධන ලක්ෂ්මි
  8. සූර්ය ලක්ෂ්මි
  9. ශ්‍රී ලක්ෂ්මි
  10. ප්‍රතාප ලක්ෂ්මි

ලක්ෂ්මි දෙවඟන පතිවෘත්තා ධර්මය ඉහළින්ම ආරක්ෂා කරන උත්තමාවියක් නිසාවෙන් එතුමියට වන්දනාමාන කරන, එතුමිය සරණ ගොස් එතුමියගේ පිහිට සරණ රැකවරණය නිති පතන සැවොම පස් පවින් මෙන්ම දස අකුසලයෙන් වැළකීමත් විශේෂයෙන්ම ඉතා චරිතවත් වීමත් අත්‍යවශ්‍යය. එසේ චරිතවත්ව, සිල්වත් වන කල ලක්ෂ්මි දෙවඟනගේ පිහිට, සරණ, රැකවරණය නිති හිමිය. විශේෂයෙන් යස ඉසුරු සම්පත් ලැබීම, භව භෝග සම්පත් ලැබීම, රූප ශෝභාව ඇතිවීම, ජීවිතය සමෘද්ධිමත්ව ආලෝකවත් වීම මෙන්ම භාග්‍යවන්ත වීම ලක්ෂ්මි දෙවඟනගේ කරුණාව ආරක්ෂාව පිහිට මත සිදුවේ.

ලක්ෂ්මි දෙවඟනටම විශේෂ වූ පුද පූජාවන් වේ. ඒ අතර ලක්ෂ්මි දෙවඟන උදෙසා පහන් දැල්වීමේදී ඒ සඳහා එළඟිතෙල් හෝ සඳුන් තෙල් යොදාගත යුතු අතර පූජා වට්ටිය පිළියෙල කිරීමේදී, ඒ සඳහා පෙරා පිරිසිදු කරගත් ජලයේ සඳුන් දියකර සාදාගත් සුවඳවත් පිරිසිදු ජලය භාවිතා වේ. මෙහිදී ගොටුකොළ, කරපිංචා, පොල්පලා වැනි කොළ භාවිතා කර සැදූ ඖෂධීය කැඳ වර්ග ද රණවරා, නීරමුල්ලිය, ඉරමුසු ආදී ද්‍රව්‍ය තම්බා පෙරාගත් ශක්ති පාන ආදිය ද තැඹිලි වතුර, කසපැන් හෙවත් කුරුම්බා වතුර වෑවර ආදිය අඩංගු කස පාන වර්ග ද ගස්ලබු, දිවුල්, පේර, දොඩම් ආදී පලතුරු මිරිකා ලබාගත් පලතුරු යුෂ පාන ද දූරියන්, මිදි වැනි පලතුරු වර්ග මිරිකා ලබාගත් මුද්‍රිත පාන වර්ග ද බෙලිමල්, කොත්තමල්ලි, සේපාලිකා මල් තම්බා පෙරා ගත් ඖෂධ පාන වර්ග ද, අෂ්ටපාන ලෙස භාවිතා වේ. සාමාන්‍යයෙන් අෂ්ට පාන වනුයේ අඹ, දඹ, රඹ, ඇටකෙහෙල්, මී, මිදි, බොරලු දන් හා ඕලුය. එනමුත් ලක්ෂ්මි දේවිය සඳහා ඉහත සඳහන් ද්‍රව්‍ය අෂ්ටපාන ලෙස යොදා ගැනේ.

එසේම ලක්ෂ්මි දේවියට පවත්වන පූජාවලදී මුං බත්, කිරිබත්, ඇඹුල් බත්, පැනි බත්, ගිතෙල් බත් ආදී පංචවිධ බත් ද පුදනු ලැබේ. තවද ලක්ෂ්මි දෙවඟන වෙනුවෙන් තබන පූජාවට විශේෂයෙන්ම පස්ගෝරස, චතුමදුර, පංච මෘතය ආදිය එකතු කරගත යුතුය. එහිදී පස්ගෝරස ලෙස ගිතෙල්, කිරි, මෝරු, මී කිරි, කේජු ආදිය භාවිතා වන අතර චතුමදුර සඳහා මී පැණි, උක් හකුරු, තල් සුකිරි, ගිතෙල් ආදිය භාවිතා වන අතර පංච මෘතය සඳහා ගිතෙල්, හකුරු, මී පැණි, වියළි මිදි, කෝලිකුට්ටු ආදිය භාවිතා වේ.

මෙකී සියලු පූජාවන් තැබිය හැකි, තරමක් විශේෂ භාජනයක් තෝරා එම බඳුන පතුලට බෙලි කොළ අතුරා ඒ මත විළඳ , සුනු සහල්, එළ අබ, ඊතණ හා සමන් පිච්ච කැකුළු යන ලදපස්මල් ඉස බෙලි කොළ මත ඉහත සඳහන් කළ සියලුම පූජාවන් තැබිය යුතුය. විශේෂයෙන් ලක්ෂ්මි දෙවඟනට පහන් තැබීම සඳහා විශේෂ වූ වේලාවක් වේ. ඒ පාන්දර 04.00 සිට උදේ 6.00 දක්වා ය. විශේෂයෙන් ඔබ පහන් තබන සෑම අවස්ථාවකම ඔබ විසින් සිදු කළ සුළු හෝ පිනක් සිහිපත් කර ලක්ෂ්මි දේවියට එම පින් අනුමෝදන් කිරීමට වගබලා ගන්න. ඔබට නිරතුරු සැපත සතුට සෞභාග්‍යය උදාවනු ඒකාන්තය.

ශ්‍රී සෞභාග්‍යය ධන සම්පත් ලැබදෙන ලක්‍ෂමී දේවිය

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment