සමස්ත ලංකා පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාව පේරාදෙණියට

148

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ මෙහෙයවීමෙන් කන්තලේ දී පැවති 47 වැනි “එල්. වී. ජයවීර කුසලාන” පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට රන් පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් පේරාදෙණිය මධ්‍ය මහා විදුහල සමත් විය.

රන් පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වූ කඩුගන්නාව ජාතික පාසලට අනු ශූරතාව හිමි විය.

රන් 02, රිදී 02 සහ ලෝකඩ 02 බැගින් පදක්කම් දිනා ගනිමින් කොරබොරුවාන මහා විදුහල සහ කොළඹ සහිරා විදුහල සම තෙවන ස්ථානයට හිමිකම් කීය.

ක්‍රීඩකයන් 400 කගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඒ. ඩබ්ලිව්. ඒ. ජයතිස්ස (කඩුගන්නාව ජාතික පාසල) තිළිණ ලැබූ අතර දක්ෂතම පරාජිතයාට හිමි සම්මානය එන්. එම්. ඒ. රහුමාන් (කටුගස්තොට සහිරා විදුහල) හිමි කර ගත්තේය.

අනාගත බලාපොරොත්තු සහිත නවක පාසල් ක්‍රීඩකයා ලෙස බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහල නියෝජනය කළ එස්. එම්. ඒ. කවිඳු ප්‍රබෝධ නම් කෙරුණි. පාසල් 89 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙවර තරගාවලියේ දී පාසල් 49 ක් අතරේ පදක්කම් බෙදී ගොස් තිබීම කැපී පෙනුණි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment