තලෙයිමන්නාරමේදී පාසල් සිසුවියන් 2ක් පැහැර ගැනීමට තැත් කළැයි තරුණයෝ 2ක් රිමාන්ඩ්

59

තලෙයිමන්නාරම ප්‍රදේශයේදී පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකුට රසකැවිලි ලබාදී ඔවුන් රවටාගෙන පැහැරගෙන යෑමට තැත් කළැයි චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා මේ මස 19 දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් ඔවුන් පදිංචි පළාත්වල පොලිසිවලින් ඔවුන් පිළිබඳව වාර්තාවක් ලබාගෙන එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මන්නාරම මහෙස්ත්‍රාත්වරයා විසින් 13 දා පොලිසියට නියෝග කොට තිබේ.

තමන් දෙදෙනා බලහත්කාරයෙන් ඔවුන්ගේ වාහනයට නංවා ගැනීමට උත්සාහ කළ බවට ශිෂ්‍යාවන් දෙදෙනා පොලිසියට ප්‍රකාශ ලබා දී ඇති අතර එම සිද්ධියෙන් පසුව අවධානයෙන් සිටි ගම්වාසීන් පිරිසක් අදාළ වාහනය දැක එය අත්අඩංගුවට ගෙන සැකකරුවන් දෙදෙනා සමග තලෙයිමන්නාරම පොලිසියට භාර දී තිබුණි.

එම වාහනය පිටස්තර ප්‍රදේශයක සිට මන්නාරමට හා තලෙයිමන්නාරමට වාණිජමය කටයුතු සඳහා පැමිණි බවට පොලිසියට තොරතුරු ලැබුණු නමුත් ශිෂ්‍යාවන් දෙදෙනාගේ ප්‍රකාශ මත එම වාහනයේ සිටි තරුණයන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට තලෙයිමන්නාරම පොලිසිය පියවර ගන්නා ලදී.

කෙසේ වෙතත් පාසල් දැරියන් දෙදෙනකු පැහැර ගැනීමට තැත් කළේ යැයි කියන සිද්ධියත් සමගම මන්නාරමේ බොහෝ පාසල්වලට ආරක්ෂාව සපයා දීමට යුද හමුදාව සහ පොලිසිය කටයුතු කළහ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment