ආණ්ඩුවේ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති නිසා ආර්ථිකය කඩා වැටීමේ තර්ජනයක් මතුවෙලා

284

සමාජවාදී ජනතා පෙරමුණේ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ

1977 දී හඳුන්වා දුන් නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය මත සිටිමින් රට හැසිරවීමට වත්මන් ආණ්ඩුවද ක‍්‍රියා කිරීම නිසා රට විශාල ආර්ථික අවදානමකට ලක්ව කඩා වැටීමේ තර්ජනයකට මුහුණ දී ඇතැයි සමාජවාදී ජනතා පෙරමුණේ ලේකම්, මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.

සමාජවාදී ජනතා පෙරමුණට අයත් පක්‍ෂවල සහභාගීත්වයෙන් ඊයේ (09දා* කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

‘‘විශාල වෙනසක්’’ රට තුළ ඇති කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් ජනතාව විසින් වත්මන් ජනපතිවරයාට සහ රජයට විශාල බලයක් ලබා දුන්නද ජනතාව පැතූ වෙනස නව ලිබරල් ප‍්‍රතිපත්ති මත කටයුතු කරන රජයෙන් සිදුව නැතැයි ද ඒ මහතා චෝදනා කර සිටියේය.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙසේද කීවේය.

‘‘අපේ රටේ පවුල්වලින් 60% ක්ම අඩු ආදායම් ලාභීන්. ඉන් 18% ක් මන්දපෝෂණ තත්ත්වයන්ගෙන් පෙළෙනවා. අවුරුදු පහේ දරුවන් පස් දෙනෙකුගෙන් එක් දරුවෙක් මන්දපෝෂණ තත්ත්වයෙන් පසුවෙනවා. මේ තත්ත්වය මෙරට අනාගත පරපුරට ඉතාමත් නරක ලෙස බලපානවා. එසේ වුවහොත් එය ඉතාමත් දරුණු අපරාධයක්. මෙරට පෝෂක අංශ සඳහන් කරන ආකාරයට රටේ

ජනතාවගෙන් වැඩි පිරිසක් දවසට කන්නේ එක වේලයි. මේ වසංගතය වගේම ජනතාවගේ දුකත් තමන්ගේ ආර්ථික ශක්තිය කර ගනිමින් වඩාත් පෝසත්ව සිටින්නේ මේ රටේ කෝටිපතියන්.

ජනතාව පත් කළ ජනතාවගේ ආණ්ඩුව කිසිම ප‍්‍රතිපත්තියක් නැතිව කටයුතු කරමින් දිගින් දිගටම ඒ අයගේ හිතවත් වෙළෙඳ මාෆියාවට රට භාරදී බලා සිටීමෙන් රටේ ජනතාව අගාධයේ පතුළටම තල්ලූ වී සිටිනවා. මේ තත්ත්වය නිසා අපේ රටේ ඩොලර් සංචිතය සිඳී යෑමෙන් ආර්ථිකය විශාල අර්බුදයකට ලක්ව තිබෙනවා. මේ උග‍්‍ර නව ලිබරල්වාදී ආර්ථික රටාව වෙනස් නොකෙරුවොත් ඉදිරියේදී මේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර ටික පවා ගෙන්වීමට නොහැකි වී යෑමෙන් මේ පවතින අර්බුදය තවත් උග‍්‍ර අතට හැරෙයි.

අද ප‍්‍රධාන ප‍්‍රශ්නයක්ව තිබෙන්නේ බඩ

ගින්නේ ඉන්න ජනතාව ඉන් මුදා ගන්නේ කෙසේද කියන එකයි. ආණ්ඩුවේ ප‍්‍රධාන යුතුකම කර ගත යුත්තේ ජනතාව බඩ

ගින්නෙන් මුදා ගැනීම. අධිවේගී මාර්ග සෑදීම සහ යටිතල පහසුකම් සැපයීම සිදු කළත් කමක් නෑ නමුත් ඒ සඳහා කරනු ලබන අනවශ්‍ය වියහියදම් නතර කර ඒ මුදලින් ජනතාවගේ බඩගින්න නිවන්න කටයුතු කළ යුතුයි. ගමක් ගානේ ගොස් හොඳින් සොයා බලා උග‍්‍ර ආර්ථික පීඩනයකට ලක්ව සිටින ජනතාවට සතියකට වරක් ආහාර මල්ලක් ලබා දීමට ආණ්ඩුව ක‍්‍රියා කළ යුතුයි. ඒ වගේම පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රජයට අවංක උවමනාවක් තිබෙනවා නම් කෝටිපතියන්ගෙන් අය කරන බදු මුදල් වැඩි කිරීමට පියවර ගත යුතුයි. ලොව බොහෝ රටවල් ආර්ථික අර්බුදවලින් ගොඩ ආවේ ඒ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරලා.’’

සමාජවාදී ජනතා පෙරමුණට සම්බන්ධ පක්‍ෂ නායකයෝ සහ නියෝජිතයෝද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.

සුජීව තත්සර

ඡායාරූපය – තුෂාර අතපත්තු
 

advertistmentadvertistment
advertistmentadvertistment