අවසන් ඇත්ගාලේ මතකයන් රැදි පනාමුරේ වළපල්ලට…

123

මේ සමයේ වඩාත් ජනප්‍රිය මාතෘකාව අලියා ය. නැත්නම් එම කුලකයේම සත්ත්වයකු වන ඇතා ය. අන්තර්ජාල සෙවුම් අතරද දැන් අලි ඇත් කුලකයට හිමිව ඇති ස්ථානය පුදුමාකාරය. ඇත්තෙන්ම සත්ත්ව වර්ගයක් ලෙස මෙරට ජීවත්වන අලි ඇතුන් වෙනත් සත්ත්වයින්ට වඩා ලෝකය පුරා ජනප්‍රියත්වයක් හිමිය. එය අද ඊයේ ඇතිවූවක්ද නොවේ. ශ්‍රී ලංකාව අලි ඇතුන්ගේ පාරාදීසයක්ව පැවති බවට විදේශ රාජ්‍යයන්හි පවා ප්‍රචලිත ඉතිහාසය සියවස් ගණනාවක් පැරණිය. අද අපි ඔබව රැගෙන යන්නේ එම ඉතිහාසය දිගේ පැවත එන අලි ඇතුන් පිළිබඳ මේ පොළවේ රුධිරයෙන් ලියැවුණු ශෝචනීය කතාන්දරයක් සහිත භූමියකට ය. මේ ඓතිහාසික භූමිය පිහිටියේ පනාමුරේය. ඒ පනාමුරේ අලි ඇතුන් බැඳි ඇත්ගාල ය.

අපි පනාමුරේට ගියේ ඇඹිලිපිටිය සූරියකන්ද මාර්ගය ඔස්සේය. ඇඹිලිපිටියේ සිට කිලෝමීටර් එකොළහක් පමණ සූරියකන්ද මාර්ගයේ ගොස් පනාමුරේ හන්දියෙන් රංචාමඩම පාරේ තවත් කිලෝමීටර් එකහමාරක පමණ දුරක් පැමිණ එදා සද්දන්තයින් බැඳි ඒ භූමියට ළඟා වුණෙමු. අප අසා ඇති පනාමුරේ අතීත සිරිය නම් දැන් එහි නොවේ. බැලූ බැල්මටම එහි වූයේ සවි ශක්තියෙන් පිරිපුන් උස් ලී කඳන් වැටකින් වටකොට පැවති පාළුවට ගිය භූමියකි. කාලයක සිට මිනිස් ඇසුරක් නොලැබූ බව කියාපාන්නක් මෙන් එම දඬු වැට ද තැන තැනින් ගරා වැටී අභාවයට යමින් තිබේ. ඒ මතුයෙහි වූ මෑතකදී ඉදිකරන ලද ස්මාරක ගොඩනැඟිල්ලේද වූයේ පාළු අම්බලම සිරියකි. පනාමුරේ නම ලෝකයටම ගෙන ගිය හස්ති රාජයා සිහි වීමට ඉදිකළ අනුරුව වසාගෙන යසට වැඩුණු ඉලුක් පඳුරු පෙනෙන්නේ යට ගිය කතාවක් වසා දැමීමට සැරසෙන්නා සේය. ඓතිහාසික වටිනාකම් අපමණ වන මේ පොළොවේ ඒවා පයිසයකට මායිම් නොකර ඇති අයුරු පනාමුරේ ඇත්ගාල අසලදී යළිත් අපි දුටුවෙමු. නමුත් ඒ අදය. අතීත පනාමුරේ යනු දෙස් විදෙස් සංචාරකයින් ප්‍රභූන් එක්රොක් වූ කලකදි සල්පිල් සිරි ගත් ස්ථානයකි. එය මෙරට අවසන් ඇත්ගාල ලෙස සංස්කෘතිකමය වටිනාකමක් උසුලන්නේ යළි යළිත් ලියා තැබීමට වටිනා කතාවක්ද සමගය. 1950 දශකය තෙක් ඒ කතාව ගලාගෙන ආ අයුරු හරි අපූරුය.

මිනිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මෙරට වනාන්තරවල සිටින අලි ඇතුන් අල්ලා හීලෑ කිරීම සිදුවූයේ ඉතිහාසයේ අරුණෝදයේමය. එය රාජ්‍ය මැදිහත්වීම මත සිදුවූ සංස්කෘතික මෙන්ම ආර්ථික වටිනාකමක් ඇති ක්‍රියාවලියක් ලෙස සිදුකෙරිණ. එහි ඒකාධිකාරිය රජුටම හිමි විය. නමුත් මෙරටට පැමිණි පළමු යුරෝපීය ආක්‍රමණිකයා වන පෘතුගිසීන්ගෙන් පසු වන අලින් හීලෑ කර විදේශයන්ට විකිණීමේ රජු සතුව පැවති ඒකාධිකාරය බිඳ වැටී ගියේය. එතැන් පටන් මෙරට බලයට පත් විදේශිකයන්ට හිතැති රදළයින්ද මේ ව්‍යාපාරයට එක්විය. අලි ඇතුන් අල්ලා ගාල් කළ ඇත්ගාල ලෙස පනාමුරේ ප්‍රසිද්ධියක් උසුළන්නට පෙර මෙරට තවත් ඇත් ගාල් පහළවක් විස්සක් අතර ප්‍රමාණයක් පැවති බව සඳහන්ය. ඒ සෑම ඇත්ගාලකටම වනගත අලි ඇතුන් අල්ලා ගාල් කිරීම සිදුවූයේ අපට ආවේණික තාක්ෂණයකටය. මරණය අතින් ගෙන සිදුකෙරෙන ක්‍රියාවක් බඳු අලි ඇතුන් මෙල්ල කිරීමේ එම ක්‍රියාවලිය ඉතා අවදානම් සහගත බිහිසුණු ක්‍රියාදාමයකි. ඒ සඳහා සවි ශක්තියෙන් යුතු මිනිසුන් අලි පනික්කියන් වඩුකාර්මිකයින් මන්ත්‍රකරුවන් මෙන්ම හීලෑ කරන ලද සද්දන්තයින් ද සහභාගි කරගන්නේය. අලි ඇතුන් කොටු කරගැනීමේ දිනයට පෙර මාස කිහිපයකට කලින් ඒ සඳහා අවශ්‍ය පෙර සූදානම් වැඩ සිදුවිය. සද්දන්තයින් මෙල්ල කිරීමේ මෙහෙයුමට පැමිණෙන මිනිසුන්ට හිතේ හැටියට ආහාර සැපයීමේ සිට සියල්ල ලබා දෙන්නේ මෙම ක්‍රියාවලියේ අධිකාරිත්වය දරන රදළ නායකයාය. ඒ සියලු පහසුකම් සැපුරුණු පසු රදළ නායකයාගේ විධානය මත මෙම මෙහෙයුමට එක්වන මිනිසුන් වේවැල් මිටි සහ අනෙකුත් ආයුධ රැගෙන එක්තැනකට රොක්වන්නේය. පසුව අලි ඇතුන් සැරිසරන තෝරාගත් මහ වනාන්තරය වට කොට මිනිස් පවුරක් බඳින්නේය. කෑ කෝ ගසා ගිනි මැල ගසා වනයේ සිටින අලි ඇතුන් බිය වද්දා ඔවුන්ව අපේක්ෂිත ප්‍රදේශය දක්වා ක්‍රමයෙන් කොටු කර ගැනීමට එවිට මේ මෙහෙයුමේ සිටින මිනිසුන් සමත් වන්නේය. එක් ප්‍රදේශයකට කොටු කරන ලද අලි ඇතුන් ගස් බැඳීම සිදුකරන ලද්දේ අනතුරුවය. ඒ මොහොත ඉතා බිහිසුණු සංග්‍රාම භූමියක් බඳුය.

එම සංග්‍රාම භූමිය පිටස්තර ලෝකයාට සජීවීව දැක ගැනීමට හැකි සුප්‍රසිද්ධම ඇත්ගාල බැන්දේ මේ ලිපියට පාදක වූ කතාව ඇති පනාමුරේය. ජනවහරට අනුව පනාමුරේ යනු මුර භටයන් පනහක් මුර කළ භූමියයි. ඉතිහාසයේ එක්තරා කාලයක කතරගම දේවාලයේ මුර සඳහා මේ ඉපැරණි ගමේ මුර භටයන් පනහක් දේවාලයේ මුර සේවයේ යෙදී ඇත. ඒ හේතුවෙන් “පනහ මුර” ලෙස හැඳින් වූ මේ ගම පසු කාලයකදී පනාමුර බවට පත්වූවේය. ඒ කුමක් වෙතත් පනාමුර ගම යනු සුප්‍රසිද්ධ මඩුවන්වෙල වලව්වේ නින්දගමකි. මේ නින්දගමේ පැවති සුප්‍රසිද්ධ “පනාමුරේ ඇත්ගාල” බැන්ඳවීමට නායකත්වය දුන්නේ මඩුවන්වෙල වලව්වේ අවසන් හිමිකාරිත්වය දැරූ මඩුවන්වෙල දිසාවේය. නැතිනම් මඩුවන්වෙල රටේ රාල ලෙස හැඳින් වූ විජේසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල දිසාවේය. හැඩි දැඩි දේහකායක් නොමැතිමුත් තේජාන්විත පුද්ගලයෙකු වූ ඔහු ඇත්ගාල් බැන්දවීමේ ශූරයෙකු විය. ඔහුගේ කාලය තුළ පමණක් විස්සකට අධික ඇත්ගාල් බන්දවා අලි ඇතුන් විදේශීය රටවලට විකුණා ඇත. වලවේ ගංගා නිම්නය අලි ඇතුන්ගෙන් ගහන වීම නිසා පහසුවෙන්ම ඇත්ගාල බැඳීමට සුදුසු පරිසරයක් පනාමුරේට තිබිණ. පනාමුරේ ඇත්ගාල සාර්ථක එකක් වීමට තවත් හේතුවක් ඇත. ඒ කිතලබොකු ආර ඔයේ මැද පනාමුරේදී උපදින “නලියන දිය උල්පත” පිහිටා තිබීමය. මඩුවන්වෙල දිසාවේ ඇත්ගාල බන්දවන්නේ දිය උල්පත මැදි කරවමිනි. එකල මිනිසුන් දිය උල්පත ළඟට එක්රොක් වන විට උල්පතේ දිය වැඩි වන බවට මතයක් තිබීම නිසා නලියන දිය උල්පතට පූජනීය වටිනාකමක් ලැබී තිබිණ. ග්‍රීස්ම කාලයේදී වලවේ ගංගා නිම්නයේ අලි ඇතුන් පුරුදුව සිටියේ කිසිදාක දිය නොසිඳෙන මෙම දිය උල්පතෙන් පවස නිවා ගැනීමටය. මඩුවන්වෙල රටේ රාළ ඇත්ගාල බඳින්නේ එම කාලය බලාය. අඩි පහලවක් විස්සක් තරම් උස බුරුත කොටන් යොදාගෙන දිය බුබුල මැදි කර බඳින එම වැට සද්දන්තයින්ටද පෙරළිය නොහැකිය. අනතුරුව මිනිසුන් දෙදහසක් පමණ අඩ සඳක හැඩයට හැදී වනාන්තරයේ අලින් වටකොට බිය වද්දවා කළු කන්දාව කඳු පාමුලේ ඇති දිය උල්පත දෙසට උන්ව පලවා හරින්නේය. දිය උල්පත දෙසට අලි ඇතුන් ඇදෙත්ම ඔවුන් නොදැනුවත්මම ඇත්ගාලට කොටු වී අවසන්ය. කොටු වූ අලින් එහිම රඳවා ගන්නේ වටේට ගිනි මැල ගැසීමෙනි.

අවසන් ඇත්ගාලේ මතකයන් රැදි පනාමුරේ වළපල්ලට…

ඇත්ගාල බැඳීමේ වික්‍රමාන්විත ක්‍රියා සිදුවන්නේ අනතුරුවය. දැන් තිබෙන්නේ ගාල ඇතුලේ සිටින අලි ඇතුන් ගස් බැඳීමය. ප්‍රදර්ශනාත්මක ක්‍රියාකාරකමක් සේ සිදුවන එම ක්‍රියාව නැරඹීමට නන්දෙසින් පැමිණෙන ජනතාව සහ රටේ නමගිය ප්‍රභූන්ද පනාමුරේට එකතු විය. අලි බැඳීම නැරඹීමට පැමිණි සංචාරකයන්ගේ පහසුවට අට්ටාල ගසා දර්ශන කුටි සැකසු එම කාලය පනාමුරේට සැණකෙළි සිරිගත් සශ්‍රීක කාලයකි.

මඩුවන්වෙල දිසාවේගේ මරණයෙන් පසු පනාමුරේ මේ වික්‍රමාන්විතය සිදුකළේ ඔහුගේ ඥාතියෙකු වූ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාය. පනාමුරේ ඇත්රාජා ඉතිහාසයට එකතු වෙමින් ඇත්ගාල බැඳීමේ සංස්කෘතිය අවසන් වූයේ ඔහුගේ මෙහෙයවීමෙන් බැඳි දෙවන ඇත්ගාලෙන් පසුවයි. 1950 වසරේ මෙම ඇත්ගාල බැඳීම සිදුකළේ පෙර සිදුකළ චාරිත්‍ර විධි අනුවය. එහෙත් වෙනසකට වූයේ පසුව වීරත්වයට පත් වූ අඩි දහයක් තරම් උස තරුණ ජව සම්පන්න වන අලියකු මෙම ඇත්ගාලට කොටු වීමය. එදා පනාමුරේ ඇත්ගාලට කොටු වූ වනඅලින් මෙල්ල කිරීමට වෙනදා මෙන්ම හීලෑ අලි ඇතුන් මෙන්ම අලින් ගස් බැඳීමට පළපුරුදු මිනිසුන් සූදානම් විය. හීලෑ අලින් කොටු වී සිටින වන අලින්ට කිට්ටු වූ පසු ගස් බඳින්නන් හීලෑ අලින්ගෙ බඩ යටින් රිංගා ගොස් වන අලින්ගෙ පසු පාදයට තොණ්ඩුවක් දමා අලින් ගස් බැඳීම ආරම්භ කළේය. එවකට රට පාලනය කළ සුදු අධිරාජ්‍යයේ මෙරට නියෝජිත ප්‍රභූන්ද එතැනට පැමිණ සිටියේ මේ අපූරු වික්‍රමය දෑසින් දැක ගැනීමටය. නමුත් වෙනදා මෙන් නොව කොටු වූ අලින් අතර සිටි එක් ජවසම්පන්න හස්තියෙක් පොළවට පයින් ගසමින් දුහුවිලි නංවමින් ඇත්ගාලේ දඬු වැට පෙරළා දැමීමේ මහා පෙරළියක් කරමින් සමස්ත අලි බැඳීමේ ක්‍රියාවලියම අඩපණ කළේය. උගේ කෝපාවිෂ්ට හැසිරීමට බිය වූ හීලෑ හස්තීන් ද කොටු වූ වන අලින් සමීපයට යන්නට පවා බිය විය. මේ තරුණ හස්තියාගේ ප්‍රචණ්ඩත්වය එන්න එන්නම වැඩි වෙත්ම මොලමුරේ මහතා නියෝග කළේ එම ප්‍රචණ්ඩ හස්තියාට පලා යෑමට ඉඩ සලසන ලෙසය. නමුත් ඒ සඳහා ඉඩ ලබා දුන්නද පලා යෑම ප්‍රතික්‍ෂේප කළ හස්තියා තමන් සමග කොටු වූ අනෙකුත් සගයින්ගේ නිදහස වෙනුවෙන්ද සටන් කරන අයුරු එය නරඹන පිරිස පවා මවිතයට පත් කිරීමට හේතු විය. මේ නිසා ශ්‍රීමත් මොලමුරේගේ ඇත්ගාල බැඳීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩපණ විය. ඔහු වහා තීන්දුවක් ගෙන නිදහස වෙනුවෙන් සටන් වදින මේ ජවසම්පන්න තරුණ හස්තියා වෙඩිතබා මරා දැමීමට නියෝග කළේය. 1950 වසරේ අගෝස්තු 09 පනාමුරේ අවට අඳුර ගිලගත්ම එම නියෝගය ඉටු කිරීමට පැමිණි වෙඩික්කරුගේ තුවක්කුවෙන් නිකුත් වූ උණ්ඩ හස්තියාගේ දැවැන්ත දේහය සිදුකරමින් ඌ සදහටම නිහඬ කළේය. මෙම වෙඩි තැබීම කරන ලද්දේ නාවික හමුදා භටයකු වූ සෑම් කදිරගාමර් නමැත්තෙක් බව ඉතිහාස සටහන්වල සඳහන්ව ඇත. පනාමුරේ හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම ප්‍රබල මාධ්‍ය භාවිතාවක් නොතිබුණු ඒ යුගයේ පවා පුවත්පත්වලින් ලැව් ගින්නක් සේ පැතිර ගියේය. නිරපරාදේ කැලයේ සිටි සත්ත්වයකු බලහත්කාරයෙන් ගෙන ඝාතනය කිරීමේ මේ කෲරතර සිදුවීම ඇත්ගාල් බැඳීමේ විරෝධතාවක් බවට පත්ව එය පාර්ලිමේන්තුවේ මාතෘකාවක් බවට පත්විය. අවසානයේදී පාර්ලිමේන්තුවට සිදුවූයේ අතීතයේ සිට ක්‍රියාත්මක ඇත්ගාල් බැඳීමේ නොමිනිස් ක්‍රියාව සදහටම තහනම් කර දැමීමටය. එයත් සමග තමන් සමග පනාමුරේ ඇත්ගාලට කොටු වූ සගයින්ගේ නිදහස වෙනුවෙන් සටන් කර ඝානනයට ලක් වූ දැවැන්ත හස්තියා පනාමුරේ ඇත් රජුගේ නම ඉතිහසයේ ලියවුණේ වීරත්වයද ආරෝපණය විමෙනි.

පනාමුරේ ඇත්ගාල ඓතිහාසික සංස්කෘතික වටිනාකමක් සහිත ස්ථානයක් වූයේ එසේය. මීට දශක කිහිපයකට පෙර තෙක්ම එය සංචාරක ආකර්ෂණය ඇති ස්ථානයක් ලෙස පැවතුණේ එම ඓතිහාසික වටිනාකම එහි පැවතීම නිසාය. නමුත් පැරණි ඇත්ගාල පැවති ආකාරයෙන් මෑතකදී ඉදිකළ ඇත්ගාලේ ආකෘතිය පවා දැන් දිරා පත්වෙමින් කැලයට යමින් තිබෙන්නේ කිසිවෙකුගේ අවධානයක් නොමැතිකමිනි. අද පනාමුරේ ඇත්ගාල යනු ඓතිහාසික කතාවක් වැලලී ඇති පාලු සොහොන් පිටියක් වැනි තැනකි. නමුත් තාක්ෂණය දියුණු මේ යුගයේ මෙම ඓතිහාසික කතාව එදා සිදු වූ ආකාරය ත්‍රී ඩී තාක්ෂණය ඔස්සේ මෙහිදීම නිරූපණය කිරීමට වැඩපිළිවෙළක් සැකසෙන්නේ නම් මෙය යළිත් සංචාරක ආකර්ෂණය ඇති ස්ථානයක් වනු ඇති.

තිස්ස ගුණතිලක
ඡායාරූප සේන වී. ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment