ශාන්ති කර්මයෙන් පසු හූ කියූ දෙදරු පියාගේ යටිපතුල කපුරුවලින් පුච්චලා

383

කපුවා හා පුතා කූඩු

මල්වානේ යබරලුව ප්‍රදේශයේ තිබෙන කඩවර දේවාලයකට ශාන්තිකර්මයක් සිදුකර ගැනීම සඳහා ගිය ස්නායු ආබාධයකින් පෙළෙන හතළිස් හය හැවිරිදි විදුලි කාර්මික දෙදරු පියකුගේ දකුණු යටි පතුල දරුණු අන්දමින් පිළිස්සූ බව කියන එම දේවාලයේ කපුවා හා ඔහුගේ පුතා බියගම පොලිසිය මගින් පෙරේදා (19 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී මැටි පහනකට කපුරු දමා දල්වා යටි පතුලට ඇල්ලීමෙන් දරුණු ලෙස පිළිස්සුණු තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහුට කතා කිරීමට පවා නොහැකි තත්ත්වයක පසුවෙති.

එම තුවාලකරුගේ බිරිඳගේ හා ඔහුගේ සොහොයුරියගේ ප්‍රකාශ මත එම දේවාලයේ කපුවා හා පුතා මෙසේ අත්අඩංගුවට ගැනිණි. ඉකුත් මස 18 වැනිදා සවස ස්නායු ආබාධයකින් පෙළෙන එම දෙදරු පියාව එම දේවාලයට රැගෙනවිත් කපුවා ලවා ශාන්තිකර්මයක් සිදු කරගෙන නූලක් බැඳ ආපසු නිවසට එක්කරගෙන ගොස් තිබේ. පසුව නිවසේදී පස්වරු 6.30 ට පමණ ඔහු ‘හූ’ කීමට පටන් ගෙන තිබෙන නිසා නිවැසියන් විසින් ඔහුව නැවත දේවාලයට රැගෙන ගොස් ඇත.

එහිදී කපුවා විසින් මැටි පහනකට කපුරු දමා දල්වා එම දෙදරු පියාගේ යටි පතුලට අල්ලා තිබෙන අතර කපුවා දේවාලය තුළට ගිය අවස්ථාවල කපුවාගේ පුතා ද එසේ කළ බව නිවැසියෝ කියති. පසුවදා එනම් 19 වැනිදා උදේ ඔහුගේ යටි පතුලේ දරුණු අන්දමින් දියපට්ටා හටගෙන තිබූ නිසා නිවැසියන් ස්නායු ආබාධයක් වැළඳී තිබෙන බවට පවසමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඔහුව පරීක්ෂා කර බලා සැක කටයුතු තුවාල තිබෙන බවට රෝහල් පොලිසියට දැන්වීමෙන් පසුව රෝහල් පොලිසිය විසින් ඒ බව බියගම පොලිසියට වාර්තා කර ඇත. වහා ක්‍රියාත්මක වූ පොලිසිය විමර්ශනයක් සිදුකර කපුවා හා ඔහුගේ

පුතා මෙසේ අත්අඩංගුවට ගත්හ. බියගම පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. අජිත් විජේසිංහ මහතාගේ උපදෙස් අනුව එහි විවිධ පැමිණිළි විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. එස්. ඉඳුනිල්, පො.සැ. වරුන් වන ඩග්ලස් (48947), සිසිර (38026), ධර්මතිලක (50376), පො.කො. වරුන් වන රණවක (101593) හා ජයතිලක (50168) යන නිලධාරීහු තවදුරටත් පරීක්ෂණ පවත්වති.
දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment