නැගීඑන කණ්ඩායම සිව්වැනි ජයත් ලබයි

238

ජපානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ ජපාන ජාතික කණ්ඩායම සමග පැවැති සිව්වැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 46 ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම තවදුරටත් සිය අපරාජිත භාවය රැක ගැනීමට ඊයේ (14 වැනිදා) සමත්වූවේය.

මේ සමඟ නැගීඑන කණ්ඩායම විස්සයි-20 තරගාවලිය 4-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.

සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දු වාර 19.5 කදී ලකුණු 131 කට දවාලීමට ජපාන පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී කැපී පෙනුණු කොහෙයි කුබෝටා ලකුණු 23 කට කඩුලු 4 ක් සහ මුනීබ් සිද්දික් ලකුණු 28 කට කඩුලු 2 ක් දවා ගත්හ.

එම ඉලක්කය හඹා යෑමේදී ජපාන ජාතික කණ්ඩායමට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ පන්දු යැවීම හමුවේ පන්දු වාර 18.4 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 86 ක් පමණි.

ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුලු 2 ම ලකුණු 02 කදී දවා ගැනීමට ඩෙලෝන් පීරිස් සහ සිතුම් දිසානායක සමත් වූහ. එහෙත් තෙවැනි කඩුල්ලට පිටියට එක්වූ කෙන්ඩල් ෆ්ලෙමිංග් සහ අලෙක්ස් පැට්මෝර් ලකුණු 46 ක සම්බන්ධතාවක් පවත්වමින් ආරම්භයේ සමත්වූහ. එහෙත් තීෂන් විතූෂාන් විසින් ෆ්ලෙමිංග් (33) දවා ගැනීමත් සමග ජපාන කණ්ඩායමේ කඩා වැටීම ඇරැඹිණ.

මෙවර තරගාවලියේ පළමු තරගයට සහභාගිවූ විතූෂාන් පන්දු වාර 4 කදී ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත් අතර ලක්ෂාන් ගමගේ, සිතුම් දිසානායක, ඩෙලෝන් පීරිස් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 27 කදී බිඳ වැටී තිබියදී දුනිත් ජයතුංග සහ හිරන්ත ජයසිංහ එක්ව ශ්‍රී ලංකා පිලට සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 22 ක් එක් කළහ. අනතුරුව සකුණ ලියනගේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් පන්දු 19 කදී ලකුණු 31 ක් ද රන්මිත් ජයසේන හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 27 කදී ලකුණු 39 ක් ද රැස් කළහ.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දු වාර 19.5 කදී සියලු දෙනා දැවී ලකුණු 131 යි – (සකුණ ලියනගේ 31, රන්මිත් ජයසේන 39, ඉම්තියාස් ස්ලාසා 10, සිතුම් දිසානායක 13, දුනිත් ජයතුංග 10, කොහෙයි කුබෝටා 23/3, මුනීබා සිද්දික් 28/2) ජපාන ජාතික කණ්ඩායම පන්දු වාර 18.4 කදී සියලු දෙනා දැවී ලකුණු 86 යි – (කෙන්ඩල් ෆ්ලමේංග් 22, ඇලෙක්ස් පැට්මෝර් 18, තීෂන් විතූෂාන් 18/3, ලක්ෂාන් ගමගේ 16/2, සිතුම් දිසානායක 08/2, ඩෙලෝන් පීරිස් 19/2)

advertistmentadvertistment
advertistmentadvertistment