ආණ්ඩුව අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්නේ රාජ්‍ය ආයතන විකුණන්න තීරණ අරගෙන – පුබුදු ජයගොඩ චෝදනා කරයි

32

කොතලාවලින් මුදලට වෛද්‍ය උපාධි දෙන්න හදන්නේ හොර වෙද උපාධි කඩවලට පාර කපන්න:

ආණ්ඩුව අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමට සූදානම් වන්නේ රාජ්‍ය ආයතන විකිණීමට කැබිනට් තීරණ ගනිමින් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ පැවසීය.

වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේද කීවේය.

අලුත් අවුරුදු නිවාඩුවට කලින් ගත්ත අන්තිම කැබිනට් රැස්වීමේදී බරපතළ දේශපාලන තීරණ කිහිපයක් අරන් තියෙනවා. එකක් තමයි ලංකා විදුලි බල මණ්ඩලය කෑලි කීපයකට මස් කරලා විදේශීය සමාගම්වලට විකුණා දමන නව විදුලි බල පනතට කැබිනට් අනුමැතිය දීලා. දෙවැන්න රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කරන, මූල්‍ය ක්ෂේත්‍රයම මංකොල්ල කන්න ගජ මිතුරු ව්‍යාපාරික රොත්තට ඉඩ සලසන තීරණයක් අරන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ මහ බැංකුව එක්වී තනන ලද කමිටුවකින් සකස් කළ රාජ්‍ය බැංකු වනසන යෝජනාවට කැබිනට් අනුමැතිය දීලා. ඊළඟට නිදහස් අධ්‍යාපන අයිතිය විනාශ කරන සැලැස්මේ පළමු පියවර ලෙස රජයට අයත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් මුදල් ගෙවා වෛද්‍ය උපාධි දෙන්න අනුමැතිය දීලා. මේ ඉඩ හදන්නේ හොර වෙද උපාධි කඩවලට බව පැහැදිලියි.

ප්‍රධාන පෙළේ මහජන දේපළ වන විදුලි බලය සහ රාජ්‍ය බැංකු පද්ධතියත්, ජනතාවගේ ප්‍රමුඛ අයිතියක් වන අධ්‍යාපනයත් කොල්ල කාලා තමයි ආණ්ඩුව අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න යන්නේ. ජනතාවට වැඩ අල්ලන්න වෙන්නේ මේ ජනතා ද්‍රෝහී ක්‍රියාමාර්ගවලට එරෙහිව පාරට බැහැලා. මෙච්චර විනාශයක් වෙද්දී “මැතිවරණයකදී බලා ගන්නම්” කියමින් අත පය පොරවාගෙන හිටියොත් අලුත් අවුරුද්ද හැම පරණ අවුරුද්දකටම වඩා නරක එකක් වේවි. අලුත් අවුරුද්ද ඇත්තටම සුබ කර ගන්න නම් ජනතාව පුළුල් මහජන ව්‍යාපාරයක් ලෙස සංවිධානය වී දේශපාලන ක්ෂේත්‍රය අත්පත් කර ගන්න ඕන. පාර්ලිමේන්තුව මේ සමාජ විරෝධී ක්‍රියාමාර්ගවලට අත ඔසවනවා නම් ඒවා පරාජය කිරීමට සමත්, කැබිනට් තීරණ ශුන්‍ය කිරීමට සමත් ජන බලයක් පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩනගන්න ඕන. මේ අලුත් අවුරුද්දේ අලුත් විදියට දේශපාලනයට වැඩ අල්ලමු.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment