රට පුරා හොර පුනරුත්ථාපන මධ්‍යස්ථාන වැහිවැහැලා…දෙහිවලින් ඇල්ලුවේ ඒ වගේ එකක්

4837

බන්ධනාගාර රැඳවියන්ගෙන් 65% ක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිරගතවූවන්…

සමහර ප්‍රතිකාර ආයතන මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම් උගන්වන පාසල් වගෙයි…

පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට විධිමත් වර්ගීකරණයක් අවශ්‍යයි…

මතින් මිදීමට වසර තුනක්වත් පුනරුත්ථාපන ක්‍රියාවලියේ ඉන්න ඕනෑ…

කාලයක් මතට ළං වී සිටි කෙනෙක් නැවත ඇබ්බැහිවීමට ඇති ප්‍රවණතාව ඉතා වැඩියි…

පුනරුත්ථාපනය යනු ත්‍රස්තවාදී ක්‍රියාවලට, මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී, ගණිකා වෘත්තියේ නියැළෙමින්, කුඩා වයසේ සිටම නීති විරෝධී ක්‍රියාවලට යොමු වෙමින් නොමඟ ගිය පුද්ගලයන් සමාජගත කිරීම සඳහා පිළිගත් ක්‍රියාදාමයකි. එය ආත්ම සංයමය, නිරීක්‍ෂණ ශක්තිය, මානව වටිනාකම් පිළිබඳ පුහුණුවක් ලබාදෙන ශාස්ත්‍රීය මෙහෙවරක් ලෙස ද පිළිගනු ලැබේ. එමෙන්ම ආයතනගත වන පුද්ගලයන් යහපත් ජීවන රටාවකට හුරු කිරීම සඳහා ඖෂධීය ප්‍රතිකාර සමඟ භාවනා වැඩසටහන්, අධ්‍යාපන වැඩසටහන්, උපදේශන සේවා, පවුල් උපදේශනය, ක්‍රීඩා වැඩසටහන්, රසවින්දන වැඩසටහන්, යෝග වැඩසටහන් ආදී විධිමත් පෞරුෂ වර්ධන වැඩසටහන් රාශියක් පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ක්‍රියාත්මකව කළ යුතුය. එහෙත් මෙරට පවතින රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් විධිමත් ‘පුනරුත්ථාපනයක්’ සිදු වෙනවා ද යන්න අපට ඇත්තේ ගැටලුවකි.

එමෙන්ම මෙරට සමස්ත බන්ධනාගාර රැඳවියන්ගෙන් 65% ක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිරගතවූවන් බව වාර්තා වේ. මෙරට ප්‍රතිකාර මධ්‍යස්ථානවල පුනරුත්ථාපනය වන මත්ලෝලී සංඛ්‍යාව ද අති විශාලය. මාස තුනක්, හයක් හෝ අවුරුද්දක් වැනි කාලයක් ආයතනගතව ප්‍රතිකාර ලබාගෙන නැවත සමාජගත වන පුද්ගලයන්ගෙන් මතට නොවැටී සිටිනුයේ 10% ත් අඩු සංඛ්‍යාවකි. එය අතිශය ඛේදජනක තත්ත්වයකි. මේ ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් බන්ධනාගාර හා අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ද කරුණු පැහැදිලි කළේය.

“මාස තුන, හතරක් සිරගත කළා කියා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනෙක් පුනරුත්ථාපනය කරන්න බෑ. ඒකට කාලයක් ඕනෑ. ඒ නිසා තමයි දැනට පවතින පුනරුත්ථාපන පනත සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙන්නෙ…” බන්ධනාගාර හා අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න එසේ ප්‍රකාශ කර සිටියේ පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මෙරට නීතියට අනුව මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන් බන්ධනාගාරගත වූ පසු ඉන් මුදාගැනීමට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා නම් කරන ලද ප්‍රතිකාර මධ්‍යස්ථාන 10 කි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ප්‍රතිකාර මධ්‍යස්ථාන හතරකි. එම ආයතනයේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන 13 කි. රජයේ හෝ පෞද්ගලික අංශයේ සියලුම ප්‍රතිකාර මධ්‍යස්ථාන අධීක්‍ෂණය කිරීම, තාක්‍ෂණික සහයෝගය ලබාදීම, මත්ද්‍රව්‍ය ප්‍රතිකාර, පුනරුත්ථාපනය සම්බන්ධයෙන් සුදුසු නියෝග නිකුත් කිරීම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රධාන වගකීමකි. එමෙන්ම මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර ලබාදීම සහ මත්ද්‍රව්‍ය යැපෙන්නන් පුනරුත්ථාපනය කිරීම ද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වගකීමකි. එම ආයතනයේ කාර්යභාරය එලෙසින්ම ඉටු කරනු ඇතැයි අපි සිතමු. එහෙත් බන්ධනාගාර හා අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පැවසූ ආකාරයට මාස තුන, හතරක් කඳවුරුගත කර ප්‍රතිකාර ලබාදුන් පමණින් පුද්ගලයකුගේ ඇබ්බැහිය සම්පූර්ණයෙන් සුවපත් වේ ද යන්න ගැටලුවකි. එක්, එක් පුද්ගලයන්ගේ සමාජීය වටපිටාව, අධ්‍යාපන මට්ටම, සමාජීය අද්දැකීම් හා ඔවුන්ගේ පුනරුත්ථාපනයට පවුලේ සාමාජිකයන්ගෙන්, ඥාතීන්ගෙන් සහ හිතමිතුරන්ගෙන් ලැබෙන දායකත්වය ආදී කාරණා මත ඔවුන් සම්පූර්ණයෙන් සුවය ලැබීමට ගත වන කාලය සහ ජීවිත කාලයම ‘මතේම’ ඇලී සිටිනවා ද යන්න තීරණය වනු ඇත.

රට පුරා හොර පුනරුත්ථාපන මධ්‍යස්ථාන වැහිවැහැලා…දෙහිවලින් ඇල්ලුවේ ඒ වගේ එකක්

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් ස්ව කැමැත්තෙන් ආයතනගතවීම සහ අධිකරණය මාර්ගයෙන් හෝ ඥාතීන් විසින් ආයතන ගත කිරීම විශේෂයෙන් සලකා බැලිය යුතු කාරණයකි. කෙනෙක් ස්ව කැමැත්තෙන් ආයතනගත වනුයේ ඇබ්බැහියේ නිස්සාර බව හොඳින් අවබෝධ කරගෙන කෙසේ හෝ ඉන් මිදීමේ දැඩි පරමාර්ථයෙනි. එවැනි පුද්ගලයන් ආයතන තුළදී හොඳින් ප්‍රතිකාර ලබාගෙන සමාජගත වී නැවත මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙන ප්‍රවණතාව තරමක් අඩුය. වෙනත් පාර්ශ්වයක් විසින් බලහත්කාරයෙන් ආයතනගත කරන පුද්ගලයන් ප්‍රතිකාර කර සමාජගත කළ ද නැවත මතට වැටීමට තිබෙන ප්‍රවණතාව වැඩිය. එමෙන්ම එවැනි පුද්ගලයන් ආයතනයට භාරදෙන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි වෛරයකින් පසු වන බව ද සැබෑය. ඔවුන්ට ඖෂධීය ප්‍රතිකාර වෙනත් ක්‍රියාකාරකම් ලබාදීමෙන් හිත තුළ පැල්පැදියම් වූ වෛරය නැති කිරීමට අසීරුය. වෛරීසහගත සිත් සුවපත් කිරීමට දැහැමි වැඩසටහන්වලට යොමු කළ යුතුය. එවැනි වැඩසටහන් හරහා සිත් සුවපත් කර, මොළේ ක්‍රියාකාරිත්වයෙනුත් ඇබ්බැහිය ඉවත් කර, ගතිනුත් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවමය සති තුනක් පමණ ගත වේ. අනතුරුව ටික කාලයක් යන තෙක් ආයතනයේ රඳවාගෙන ඔහු හෝ ඇය සිතට, මනසට සහ ගතට ඖෂධීය ප්‍රතිකාර සමඟ අධ්‍යාත්මක වැඩසටහන්, අධ්‍යාපන වැඩසටහන්, උපදේශන සේවා, පවුල් උපදේශනය, ක්‍රීඩා වැඩසටහන්, රසවින්දන වැඩසටහන්, යෝග වැඩසටහන් ආදී විධිමත් විශෝධන වැඩසටහන්වලට යොමු කළ යුතුය. එහෙත් වසර ගණනාවක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනෙකුගේ මොළේ ක්‍රියාකාරිත්වය වෙනස් කොට, පෞරුෂ්‍ය වර්ධනය කර යථා තත්ත්වයට පත් කිරීම පහසු කටයුත්තක් නොවේ. දීර්ඝකාලීන ඇබ්බැහියක් මාස තුන, හතරකින් යථාවත් කිරීම ප්‍රතිහාර්යක් වැනිය. අවමය වසරක් පමණ කාලයක් ආයතනගතව ප්‍රතිකාර ලබාගෙන සමාජගතව තව වසර දෙකක් පුනරුත්ථාපනය වූ ආයතනයේ ‘පසු භාර සේවය’ යටතේ පුනරුත්ථාපනය වීම තුළ යහපත් ප්‍රතිඵල අත් කරගත හැකි බව සැබෑය.

එහෙත් කාලයක් මතට ළං වී සිටි කෙනෙක් නැවත ඇබ්බැහිවීමට ඇති ප්‍රවණතාව ඉතා වැඩිය. එහෙයින් ආයතනගතව ප්‍රතිකාර කරන කාලය තුළ නැවත මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම සහ නැවත ඇබ්බැහිය වැළැක්වීම සම්බන්ධයෙන් අඛණ්ඩව පන්ති පැවැත්විය යුතුය. ආයතනගත පුද්ගලයන් නැවත එකතු වන පවුල ශක්තිමත් කිරීමට මාසයකට එක් දිනක් හෝ පවුලේ සාමාජිකයන් ආයතනයට කැඳවා උපදෙස් ලබාදිය යුතුය. ඒ අයුරින් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පිළිගත් විශෝධන ක්‍රියාපාටිපාටියකට ප්‍රතිකාර ලබාදී සමාජගත කරන පුද්ගලයන් නැවත මතට ඇබ්බැහිවීම යම් අවම මට්ටමට පවතින බව සැබෑය. එහෙත් බොහෝමයක් පුනරුත්ථාපන මධ්‍යස්ථාන විධිමත් අයුරින් ප්‍රතිකාර ක්‍රම පවත්වාගෙන නොයෑම ද ආයතනගත පුද්ගලයන් නැවත මතට ඇබ්බැහිවීම වැඩිවීමට ප්‍රබල හේතුවකි. එමෙන්ම ආයතනගත පුද්ගලයන් සාමාන්‍ය ජීවන රටාවට යොමුවීමට පෙර සමාජගත කිරීම තුළ නැවත ඇබ්බැහිවීමට තිබෙන ඉඩකඩ බොහෝ වැඩිය. ඇතැම් මවුපියන් වැඩි පරිස්සමට ආයතන තුළින් සමාජගත වන තම දරුවන්ව හිටපු පරිසරයට යොමු නොකර, වෙනත් පරිසරයකට මුහුකරති.

මවුපියන්ගෙන් දුරස් වී නිදහසේ ජීවත්වීම තුළ සමාජගත වන පුද්ගලයන් පෙරටත් වඩා පහසුවෙන් මත්ද්‍රව්‍ය පාවිච්චියට යොමු වෙති. සමාජගත වන පුද්ගලයන් නැවත මත්ද්‍රව්‍යයට යොමු වී ඇති බව ඥාතීන් දැන ගන්නා විට පිළියම් කළ නොහැකි තත්ත්වයට ඇබ්බැහිය මෝරා තිබීමට ද ඉඩ තිබේ. එහෙයින් විය යුත්තේ ආයතනයෙන් සමාජගත වන පුද්ගලයා වෙනත් පරිසරයකට මුහු කිරීම නොව, නිවස තුළ පවතින අධ්‍යාත්මික පරිසරය වෙනස් කිරීමය.

එමෙන්ම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වන බොහෝ ළමයින්ගේ පවුල් පසුබිමේ බරපතළ ගැටලු තිබේ. ඇතැම් පවුල්වල අම්මා, තාත්තා දික්කාසද වී, දරුවො හැදී වැඩී ඇත්තේ ආච්චි, සීයාගේ රැකවරණය යටතේය. ඇතැම් පවුල්වල අම්මා, තාත්තා අයාලේ යන්නාහ. මත්පැන්, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මවුපියන් සිටිති. හිත, මිතුරන් එකතු කරගෙන රෑ තිස්සෙ ගෙදර මැද සාලෙ මත් දියේ පීනමින් ජෝගි නටන තාත්තල අප්‍රමාණය. ඒ මත් සාදවලට කටගැස්ම පිළියෙල කරනුයේ අම්මාය. පිළිගන්වනුයේ දරුවන්ය. කුඩා කාලයේ සිට එවැනි අද්දැකීම්වලට මුහුණදෙන ළමයි මතට යොමුවීම සාමාන්‍ය දෙයකි. එවැනි ළමයි ආයතනගතව ප්‍රතිකාර ලබා නැවත පවුලට එකතු වුවද ගෙදර තත්ත්වය වෙනස් නොවෙන්න නැවත මතට ඇබ්බැහිවීම ද සාමාන්‍ය තත්ත්වයකි. පියා කට ගොන්නක් බීගෙන පැමිණ පරණ විදිහට හැසිරීම, අම්මා මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කිරීම් සහෝදර, සහෝදරියෝ සිගරට්, අරක්කු, ගංජා බීගෙන ජෝගී නැටීම තුළ අවුරුදු ගානක් පුනරුත්ථාපනය වී පැමිණිය ද දවසෙන්, දෙකෙන් සතියෙන් මත්ද්‍රව්‍යයට යොමුවීම සක්කරයටවත් නතර කළ නොහැකිය. එමෙන්ම ඇතැම් මවුපියන් ආයතනගත දරුවන්ව සමාජයට ඉදිරිපත් කරන මොහොතේම පිටරටවලට පිටත් කර හැරීමට කටයුතු කරති.

රට පුරා හොර පුනරුත්ථාපන මධ්‍යස්ථාන වැහිවැහැලා…දෙහිවලින් ඇල්ලුවේ ඒ වගේ එකක්

අවුරුදු ගණනාවක් මත්ද්‍රව්‍ය භාවිත කළ ළමයෙක් අවුරුද්දකට අඩු විශෝධන කාලයකින් පසු කෙළින්ම පිටරට පැටවීම මැටි මෝල් ක්‍රියාවකි. පවුලේ සාමාජිකයන් සමඟ යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට දැකපු සිහින බොඳ වී, විදෙස් රටක තනි වූ විට හිතට දැනෙන කම්පනය නැති කරගැනීමට මත්පැන්, මත්ද්‍රව්‍ය ජීවිතයට ළං කරගැනීම පුදුමයක් නොවේ. එහෙයින් ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් සමාජගත වන පුද්ගලයන් අනිවාර්යෙන්ම වසරක් හෝ ඊට වැඩි කාලයක් පවුලේ සාමාජිකයන් සමඟ දැහැමි ජීවිතයක් ගත කිරීම අනිවාර්ය වේ. එහෙත් ඇතැම් මවුපියන් මත්ලෝලී දරුවන්ව ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කරනුයේ සුවපත් කර යහමඟට ගැනීමට නොවේ, ඔවුන්ගෙන් නිදහස් වීමටය. නැවත සමාජගත වන පුද්ගලයන් එවැනි පවුල්වලට එකතු වූ පසු ඔවුන්ට අවැසි ආදරය, කරුණාව, සෙනෙහස නොලැබේ. එවැනි පරිසරයකදී නැවත මතට වැටීමට තිබෙන ඉඩ බොහෝ වැඩිය. එමෙන්ම මත්ලෝලී සැමියා ආයතනගත කිරීමට ඇතැම් බිරින්දෑවරු උත්සුක වනුයේ ඔහුගෙන් ඈත්වීමටය. ප්‍රතිකාර ලබාගෙන කෙසේ හෝ මතින් නිදහස් වී නිවසට පැමිණෙන විට බිරිඳ වෙන තුරුළකට ගොස් සිටින බව දැනගත් පසු හිතට දැනෙන වේදනාව සමනය කරගැනීමට මත්ද්‍රව්‍යයට යොමුවීම පුදුම විය යුතු කරුණක් නොවේ. මතට වැටුණු කෙනෙක් ඉන් මිදීම පහසු කාර්යයක් නොවන බව පෙළගැසෙන කතාවෙන් පැහැදිලි වේ. එමෙන්ම පෙළගැසෙන කතාවට අදහස් ඉදිරිපත් කළ කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවෝ කීවේ මෙවැනි කතාවකි.

“මගේ දැක්මට අනුව පුනරුත්ථාපනය කියන වචනයේම නොගැළපීමක් තියෙනවා. කැඩිච්ච, බිඳිච්ච භෞතික වස්තූන් විතරයි නැවත ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. කායිකව, මානසිකව, සමාජීය පරිහානියට පත්වන මිනිසුන්ගේ සිත් පිරිසිදු කර ඔවුන්ව ශක්තිමත් කිරීම, බලවත් කිරීම හැඳින්වීමට හොඳම වචනය විශෝධනය. ඒ නිසා පුනරුත්ථාපනය කියන වචනය හැකි ඉක්මනට සමාජ භාවිතයෙන් ඈත් කරන්න ඕනෑ. ඒ වගේම හතු පිපෙන තරමට ආරම්භ කරන ප්‍රතිකාර මධ්‍යස්ථාන ‘අලුත් ක්‍රමයට ප්‍රතිකාර කරනවා’ කියල මවුපියන්, ඥාතීන් මුළාවට පත් කර මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච ළමයි ආයතනගත කරගෙන මුදල් ගරනවා. මේ වෙනකොට සමහර මිනිස්සු පුනරුත්ථාපන මධ්‍යස්ථාන කළු කඩ බවට පත් කරගෙන. සමාජ මාධ්‍ය හරහා බොරු ප්‍රචාරයන් කරගෙන තරගකාරිත්වයක් නිර්මාණය කරල තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක් නෙමෙයි. ඒ වගේම එම ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ආයතනගත පුද්ගලයන්ව නිසියාකාර විශෝධන ප්‍රතිකාර, වැඩසටහන්වලට යොමු කරවන්නෙ නෑ. එම ආයතන තුළ රැඳවියන් එකතු වෙලා කතා කරන්නෙ මත්ද්‍රව්‍ය ගැන. වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් ගැන. ආයතනගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ජංගම දුරකථන හරහා සුපුරුදු පරිදි ජාවාරම කරගෙන යනවා.

සමහර ආයතන තුළ මත්ද්‍රව්‍ය තියෙන බවටත් තොරතුරු ලැබෙනවා. එවැනි ප්‍රතිකාර මධ්‍යස්ථාන මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම උගන්වන පාසල් වගෙයි. කිසිම විශෝධනයක් වෙන්නෙ නෑ. පෞරුෂ වර්ධනයක් ඇති වෙන්නෙ නෑ. ඒ වගේම සමහර ප්‍රතිකාර ආයතනවල මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච ළමයි, පෞරුෂ ආබාධ සහිත ළමයි, වෙනත් දේවල්වලට ඇබ්බැහි වෙච්ච ළමයි සේරම එකට දාගෙන ප්‍රතිකාර කරනවා. එහෙම කරන්න බෑ. ඒ ළමයින්ට කරන ප්‍රතිකාර, වැඩසටහන් එකිනෙකට වෙනස්. ඒ නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ශක්තීන් තේරුම්ගෙන ළමයි භාරගන්න ඕනෑ. එහෙම නැති වුණොත් ඒ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් වෙන්නෙ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීමක්. ඒ නිසා මේ රටේ මත් උවදුර පාලනය කිරීමට අවිදිමත් ප්‍රතිකාර මධ්‍යස්ථාන කෙරෙහි රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන්ම රජයට කියන්න ඕන පුංචි, පුංචි වැරැදි කරන ළමයින්ව පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමු කරන්න එපා. ඒක බරපතළ වරදක්. ඒ වගේම පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට විධිමත් වර්ගීකරණයක් අත්‍යවශ්‍යයි. මිනීමැරුම්වලට සම්බන්ධ හෝ සැකකාර ළමයින්ව සාමාන්‍ය හොරුකමකට පුනරුත්ථාපනය කරන ළමයි සමඟ එකට තැබීම බරපතළ තත්ත්වයක්. පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රධාන කාර්යභාරය විය යුත්තේ ආයතනගත පුද්ගලයන් නොමඟට යෑමට හේතු වෙච්ච කරුණු සොයාගෙන ඒ අනුව ප්‍රතිකාර කිරීමය. කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවෝ නිහඬ වූහ. අපේ කතාව නැවත දිගහැරිණි.

රාජ්‍ය මෙන්ම පෞද්ගලික පුනරුත්ථාපන මධ්‍යස්ථාන කිහිපයකට ගොස් සිටින අපට ද ඇතැම් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි ය. ලියාපදිංචියකින් තොරව දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය එවැනිම පුනරුත්ථාපන කඩයක් පසුගිය 15 වැනිදා පොලිසිය විසින් වටලමින් සැකරුවන් දෙදෙනකු සමග පුනරුත්ථාපනය වෙමින් සිටි තිස්හතර දෙනකු පොලිස් භාරයට ගෙන තිබිණි. ලියාපදිංචියකින් තොරව එවැනි පුනරුත්ථාපන මධ්‍යස්ථාන රට පුරා තබ බොහෝය.

එමෙන්ම එම මධ්‍යස්ථාන ‘පුනරුත්ථාපනය’ වෙළෙඳාමක් කරගෙන තිබෙන අයුරු දකිනවිට අපව ද මත් විය. මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමට ප්‍රතිකාර මධ්‍යස්ථාන විසිහතක් නොව, ගමින්, ගමට විවෘත කළ ද එම ආයතන තුළින් විධිමත් විශෝධනයක් නොකරන්න, නැවත සමාජගත වන පුද්ගලයන්ට සෙනෙහස නොලැබෙන්න, මතින් මිදෙන පුද්ගලයන් බුද්ධියෙන් කටයුතු නොකරන්න නැවත මතට ලොල්වීම වැළැක්විය නොහැකිය. එහෙයින් ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් සමාජගත වන පුද්ගලයන් නැවත මතට වැටීම වැළැක්වීමට මවුපියන්ට, ඥාතීන්ට, හිතමිතුරන්ට සහ සමාජයට විශාල කාර්යභාරයක් ඉතිරි වී තිබෙන බව ද අමතක නොකළ යුතුය. සමාජය විෂකුරුය. එකට කාපු බීපු යාළු, හිත මිත්‍රාදීන් මතින් මිදුණු කෙනෙක්ට යහතින් සමාජයේ ජීවත්වීමට ඉඩක් නොදෙන බව ද සිහිපත් කර තැබිය යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment