British royal mail හෙවත් pink post office තුට්ටු දෙකට විකිණේවිද …?

නුවර එළිය තැපැල් කන්තෝරු ගොඩනැගිල්ල වහාම ලබා දෙන්න කියලා තැපැල්පතිට කියන්න. තැපැල්පතිට කියන්න ජනාධිපති තීන්දුවට එකඟ වෙන්න බැරි නම් මට සිද්ධ වෙනවා වෙනත් තැපැල්පති කෙනෙක් පත් කරන්න කියලා. නුවරඑළිය විතරක් නෙවෙයි මහනුවර තැපැල් කාර්යාලයත් අවශ්‍යයයි. මේ දෙකම ඉක්මනින් නිදහස් කර ගන්න. ආයෝජකයෝ බලාගෙන ඉන්නවා. දෙදහස් දහහත දහනවය කාලෙත් මේ වැඩේට ඉඩ දුන්නේ නැහැ. එදා ඉඩ දුන්නා නම් අද හෝටල් දෙකක් හැදිලා. දැන්වත් සෙල්ලම් කරන්න ලැහැස්ති වෙන්න එපා. ඉඩම් ඉල්ලන වෙලාවට දෙන්න. මට කරන්න වැඩ තියෙනවා. මට මේක දෙනවාද නැද්ද ? ……” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී නිලධාරීන් හමුවේ කියා සිටියේය. ඊට සහාය ලබා දුන් එස්. බී. දිසානායක ඇමැතිවරයාද “වහාම තැපැල් කාර්යාලය වෙන තැනකට ගෙන යන්නැයි.. ජනාධිපතිවරයාගේ කතාවට අළුගු තැබීය….

දින හතක් ඇතුළත නුවරඑළිය තැපැල් කාර්යාලය මෙතෙක් තිබූ ස්ථානයෙන් ඉවත් කර, වෙනත් ස්ථානයක් (නගර සභා ගොඩනැගිල්ල) වෙත රැගෙන යා යුතු බවට වූ එම ප්‍රකාශය සමඟ රටේ බහුතරයක් තැපැල් සේවකයෝ එම ප්‍රකාශයට එරෙහිව නැගී සිටියහ. වසර 125කට වැඩි කාලයක් පෞරාණික බ්‍රිතාන්‍ය ගොඩනැගිල්ලක පවත්වා ගෙන ගිය තැපැල් කාර්යාලය එතැනින් ඉවත් කරන්නේ පෞද්ගලික න්‍යායපත්‍රයක වුවමනාවක් නිසා බවට තැපැල් සේවක සංගම් නියෝජිතයන් තරයේ කියා සිටියහ. එහෙයින් රටේත් මහජනතාවගේත් අනාගතයේත් පැවැත්ම උදෙසා උපයෝගි වන මෙවන් පෞරාණික ගොඩනැගිලි අත්තනෝමතිකව බදු පදනම මත හෝ විකුණා දැමීමට එරෙහිව ඔවුහු පෙළ ගැසුණාහ.

හෝටලයක් නිසා ආණ්ඩුවයි තැපෑලයි හප්පපු නුවරඑළිය තැපැල් කන්තෝරුව

පුංචි එංගලන්තය ලෙස හැඳින්වෙන සුන්දර නුවරඑළිය එංගලන්තයේ සිරි ගන්නේ ඉදිකර ඇති ගොඩනැගිලිවල ආකෘතිය නිසාය. කාටත් එක එල්ලේම මතකයේ රැඳෙන ඉසව්වක ඇති නුවරඑළිය තැපැල් කාර්යාලය එංගලන්තයේ ගොඩනැගිල්ලක් බව දැනෙයි. ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවති සමයේදී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉඳිකර ඇති පෞරාණික ගොඩනැඟිල්ලක් වන මෙය වික්ටෝරියා වාස්තු විද්‍යා ආකෘතියට අනුව රතු ගඩොලින් සකස් කොට ඇත. 1894 වර්ෂයේදී ඉදිකොට ඇති මෙහි පොකුරු වහලවල් සැදීම හරහා ගොඩනැගිල්ලේ ස්කන්ධය අඩු කිරීමට උපකාරි වන වාස්තු විද්‍යාත්මක ගති ලක්ෂණ දක්නට ලැබේ. ගොඩනැගිල්ලට සම්බන්ධව නිර්මාණය කොට ඇති ඔරලෝසු කණුව ලීවලින් නිර්මිත ටියුඩර් ස්ටයිල් ඔරලෝසුවකි. ලඹයක් ආධාරයෙන් ඇති මෙය අඩි හතළිහක් උස බැවින් විශේෂයෙන් කැපී පෙනේ. නුවරඑළිය තැපැල් කාර්යාලයීය ගොඩනැගිල්ල නුවරඑළිය නගරයේ සලකුණ හා සංකේතය මෙන්ම අනන්‍යතාව ලෙසද හැඳින්වේ.

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් අනූන මෙම ගොඩනැගිල්ල 2012 වර්ෂයේදී ඉහළ මහල රුපියල් මිලියන 5.4 ක පමණ වියදමින් සංචාරක නවාතැන්පළක් ලෙස සංවර්ධනය කර ඇත. එම අලුත්වැඩියා කිරීම්වලදී මෙහි පෞරාණික බවට යම් හානියක් සිදුව ඇති බවට හොඳම සාක්ෂිය ලෙස දැකිය හැක්කේ, නවීකරණය කරන ලද සිවිලිම හේතුවෙන් බාල්ක සහ ආධාරක සඳහා යොදවා තිබූ ලී සිවිලිමට වැසී යෑමය. ලීවල තිබූ කැටයම්, හැඩතල සියල්ල වැසී ගොස් වටිනාකම ඉස්මතු වීමට තිබූ අවස්ථා සැඟව ගිය බවක් ඉන් විද්‍යමාන වෙයි. සියලු ලී කැටයම් සිදු කොට ඇත්තේ තේක්ක ලී මත වුවත් නවීකරණය කිරීමෙන් අනතුරුව ඒවා එලෙසම ඉස්මතු නොවේ.

මෙම ගොඩනැගිල්ලේ වහලය අති සංකීර්ණය. ඉදිකළ සමයේදීම වහලය සෙවිලි කිරීම සඳහා 1865 වසරේදී ඉන්දියාවේ බැංගලෝර් ප්‍රදේශයෙන් උළු ගෙන්වා ඇත. වහලයේ උළු කැට අනාගතයේ අවශ්‍යතාවන්ට වුවමනා වුවහොත් සොයා ගැනීමේ පහසුව තකා අමතර ප්‍රමාණයක් රැගෙන එන්නට ඉදිකළ පිරිස් කටයුතු කර ඇති අයුරක් අදටත් දක්නා ලැබෙයි. වහළයට අවශ්‍ය උළු අතර, ඊට වීදුරු උළු කැටද ඇතුළත්ය. වහලය වසා ඇති ප්‍රමාණයේම උළු කැට තොගයක් ගොඩනැගිල්ල පසුපස අදටත් සුරක්ෂිතව තබා ඇත.

නුවරඑළිය තැපැල් කාර්යාලය යනු බ්‍රිතාන්‍යන්ගේ ඉදිකිරීම් ක්‍රියාවලියේ සුවිශේෂී අංගයක් බැවින්ම එය ලොව ප්‍රකට තැපැල් සංකේතයක් ලෙස ප්‍රචලිත කිරීමටද ඔවුහු කටයුතු කර ඇත. රෝස තැපෑල හෙවත් පින්ක් පෝස්ට් ඔෆිස් ලෙස කුමන භාෂාවකින් වුවද, පරිශීලනය පිණිස අන්තර්ජාලය සැරිසරන ඕනෑම අයෙකුට නුවරඑළිය තැපැල් කාර්යාලයේ විස්තර සවිස්තරව දැන ගැනීමේ හැකියාව තිබේ. එය අතිශය දුර්ලභ ක්‍රියාවක් මෙන්ම ලොව ප්‍රකට ආකර්ෂණීය සබැඳියාවක් බව සංචාරකයන් අතර ප්‍රකටය. එවන් සංකේතයක් ශ්‍රී ලාංකිකයන් සතුව තිබීමම ශ්‍රී ලංකා නාමය ප්‍රචලිත වීමට මහෝපාකාරි වන බව බලධාරීන්ට නොදැනෙන්නේ කෙසේද?

නුවරඑළිය තැපැල් කාර්යාලය විශාල සංචාරක ආකර්ෂණයක් ඇති තැනක්. එය ඇල්ල ආරුක්කු නවයේ පාලම තරම්ම විදේශිකයන්ගේ ආකර්ෂණය දිනා ගෙන. එහෙත්, දැන් රජයට අවශ්‍ය වී ඇත්තේ මෙම ගොඩනැගිල්ල (දිගු බදු පදනම මත) පුද්ගලික ව්‍යවසායකයෙකුට – හෝටලයක් පිහිටුවීමට ලබා දීමට. රටේ සම්පත් මේ විදිහට විකුණන්නේ ඇයි. අපි අද ඉඳලා හෙට විශ්‍රාම අරගෙන යාවි. නමුත් අපි අපේ අනාගත දරුවන්ට මේ සම්පත් ඉතුරු නොකරන්නේ ඇයි. හෝටල් නම් මොනතරම් තියෙනවාද. මේවා පෞරාණික වටිනාකමක් සහිත ලොව පිළිගත් ගොඩනැගිලි. ඒවා අයිති පොදු මහත් ජනතාවට…….” තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය කියා සිටිති.

තැපැල් දෙපාර්තමේන්තුව වසර 125 කට වැඩි කාලයක් මෙම ගොඩනැගිල්ල නඩත්තු කර ඇති අතර, රටේ යහපත සඳහා තවත් වසර 125 ක් නඩත්තු කිරීමේ කාර්යය පැවරිය යුතුය… යන්න ඔවුන්ගේ මතයය. ඔවුන්ගේ මතය රැකගනු පිණිස ඉකුත් සතියෙහි, තැපැල්, ගොවි සංවිධාන, වෛද්‍ය සංගම් හෙද සංගම්, ජන අයිතීන් සුරැකීමේ සංගම්, නුවරඑළිය වෙළෙද සංගම්, පොදු දේපළ සුරැකීමේ සංගම්, ලංකා ගුරු සංගම්, ආගමික නායකයන්, ඇතුළු විශාල පිරිසක් එක් රැස්ව එකට හඬ නැගූහ.

තැපැල් කාර්යාලය පවත්වාගෙන යන මෙම දර්ශනීය ගොඩනැගිල්ල මේ දිනවල මෙන්ම මෙයට පෙර අවස්ථා දෙකකදීද සාකච්ඡාවට බඳුන් වූ මාතෘකාවක් විය. මෙම පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් පවත්වාගෙන යෑම සඳහා පුද්ගලික අංශයට ලබාදීමට රජය පිඹුරුපත් සකසමින් සිටින්නේ අද ඊයේ නොවේ. මීට වසර 06 කට පමණ පෙරද නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක නිකේතනයක් බවට පරිවර්තනය කිරීමට යැයි කියමින් එවකට පැවැති රජය උත්සාහ කළේය. එම අවස්ථාවේ මෙය රටේ ප්‍රධාන කථිකාවක් වූ නිසාත්, නුවරඑළියේ ජනතාවගෙන් හා විවිධ සංවිධානවලින් එම ප්‍රයත්නයට එල්ල වූ දැඩි විරෝධය නිසාත් එම යෝජනාව එවක රජය මගින් හකුලා ගනු ලැබීය. දැන් යළිත් ජනාධිපතිවරයා සමග තැපැල් වෘත්තීය සමිති ගැටෙමින් ඇත්තේ ගොඩනැගිල්ලේ අයිතිය උදෙසාය.

මෙම ඉපැරණි තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල නැරඹීමට නුවරඑළියට පැමිණෙන බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇතුළු දෙස් විදෙස් සංචාරකයන් සියලුම දෙනා දැඩි උනන්දුවකින් ක්‍රියා කරන අයුරු දක්නට ලැබේ. නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඔවුන්ගේ කැමරා කාච තුළ සිහිවටනයක් ලෙස අනිවාර්යෙන් සටහන් වන එක් දසුනක් වන්නේද මෙකී තැපැල් කාර්යාලීය ගොඩනැගිල්ලය. නුවරඑළිය නගර මැද්දේ පිහිටි නුවරඑළිය තැපැල් කාර්යාලයීය ගොඩනැගිල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රධානතම නැරඹුම් ස්ථානයකි. මෙම තැපැල් කාර්යලයේ ඇති සිහිවටන අලෙවිසලෙන් සමරු කාඩ්පතක් තම ආදරණීයන් වෙත යැවීමට මෙන්ම, ඒවා තම රටට රැගෙන යෑමට විදෙස් සංචාරකයෝ දැඩි කැමැත්තක් දක්වනු ලබන්නේ එහි ඇති සුවිශේෂත්වය නිසාය. මෙය රට තුළට සංචාරකයන් ගෙන්වා ගැනීමේ මාධ්‍යයක් ලෙස භාවිත කිරීමේ පහසුව ඇති බව බලධාරීන්ට හැඟෙන්නේ නැත. ඒ ඔවුන්ගේ යටි අරමුණ වෙනස් නිසාය.

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල මෙසේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික අංශයට බදුදීමට රජය සැලසුම් කර එම ක්‍රියාවලිය කඩිනම් කිරීමත් සමග අළු යට සැඟව ඇති ගිනි පුපුරු උඩ මතුවෙමින් අර්බුදකාරී වාතාවරණයක් ඇති වෙමින් තිබිණි. මේ වන විට එය තාවකාලිකව නිහඬව තිබුණද මේ සම්බන්ධයෙන් රටේ විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විරෝධයක් මේ වන විට රජයට එල්ල වෙමින් පවතී.

ඒ අතර ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක ස්වාමින් වහන්සේ ද වෙති. උන්වහන්සේ ප්‍රකාශ කොට සිටියේ ලෝක උරුම ගොඩනැගිලි සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගැනීමට පෙර මහ සංඝරත්නයෙන් විමසිය යුතු බවය. රටේ සංස්කෘතිය සභ්‍යත්වය ඵෙතිහාසික වටිනාකමකින් යුතු ගොඩනැගිලි පිළිබඳව උරුමයක අයිතිය අනාගතයට පැවරිය යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කොට සිටියහ.

උන්වහන්සේ සමග සාකච්ඡා කළ වෘත්තීය සමිති නායකයන් කියා සිටියේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් පුද්ගලික අංශයට ලබාදීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවය. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අවධාරණය කර සිටියේ මෙම ක්‍රියාවට තැපැල්පතිවරයාගේ සිට පහළම නිලධාරියා දක්වා තරයේ විරුද්ධ බවය. තැපැල්පතිවරයා ඉවත් කර අදාළ කටයුත්ත සිදුකිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවද එම සංගමය අවධාරණය කළහ. පෞරාණික වටිනාකමකින් හෙබි නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් ලෙස නොව තවදුරටත් එහි පෞරාණිකත්වය ආරක්ෂා කරමින් තැපැල් කාර්යාලයක් වශයෙන් පවත්වාගෙන යායුතු බවට ඔවුන්ගේ දැඩි මතය වී ඇත.

ඵෙතිහාසික වටිනාකම් රැසකින් සමන්විත ඉපැරණි නුවරඑළිය තැපැල් කාර්යාලයීය ගොඩනැගිල්ල මතු පරපුරට ආරක්ෂා කර දිය යුතුය. මෙම ගොඩනැඟිල්ල සංචාරක හෝටලයක් බවට පරිවර්තනය කිරීමේ යම් අවස්ථාවාදී අදහසක් හෝ උත්සාහයක් රජයට ඇත්නම් එය නවතා දමන්නට තමන් පෙරට එන බවත් ඒ වෙනුවෙන් දේශපාලනික හෝ ව්‍යාපාරික අරමුණකින් තොරව කටයුතු කරන බවත්, නුවරඑළියේ ජනතාව එකාවන්ව නැගී සිට ජනතා අයිතිය සුරකින බව කියති. රටේ අයිතිය වෙනුවෙන් අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් ජනතාව මෙලෙස පෙළ ගැසිය යුතුය. නැති නම් මේ නගරයේ සුන්දර බව වැනසී යෑම වළක්වාලීමට නොහැකි වනු ඇත.

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක