ඔසී අබේගුණසේකර එකම දවසේ පාර්ලිමේන්තුවටත් නගර සභාවටත් තරග වැදුනු හැටි
පසුගිය වසරේ මුල් භාගයේ මෙරට දේශපාලන පක්ෂ මෙන්ම රටේ බහුතරයක් ජනතාව කතාබස් කළේ පළාත් පාලන මැතිවරණය පිළිබඳවය. ඇතැම් දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන පළාත් පාලන මැතිවරණයක් පතා අධිකරණයේ ද පිහිට පැතූහ. ඔවූහු විරෝධතා, උද්ඝෝෂණ කළහ. එයින් කිසිදු ප්‍රතිඵලයක් නොවීය. එම ක්‍රියාවලිය ද වසරේ දිනපොතේ ගෙවුණු දවස්වල මතක සටහන් අතරට එක්වූවා පමණි.
දැන් යළිදු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ව්‍යාපාරය, බහුජන සංවිධාන 2024 වර්ෂයේ පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණය ගැන කථිකාවක් ගොඩනඟමින් සිටිති. සමහරු පාර්ලිමේන්තු මහ මැතිවරණයක් ගැන අනාවැකි පළ කරති. මෙරට ජනතාවගෙන් තවත් පිරිසක් කුමන හෝ මැතිවරණයක් ගැන පළ කරන්නේ අප්‍රසාදයකි, නොසතුටකි, දැඩි අකමැත්තකි. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී රටක තම පාලකයන් තෝරාගැනීම සඳහා නිදහස් ඡන්දය අවශ්‍යම සාධකයකි.
මෙරට පැවැත්ම, පාලනය හා ක්‍රියාකාරීත්වය ගොඩනැඟී ඇත්තේ ප්‍රධාන බල කුලුනු තුනක් මතය. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය මෙම බල කුලුනු තුනයි. ඉහළින්ම සිටින විධායකයට ද ඇතැම් විට ව්‍යවස්ථාදායක බලය අභිබවා යෑමට නොහැකිය. අධිකරණය මගින් නීතිය පිළිබඳ තීන්දු ගනිද්දී එම නීති හා ව්‍යවස්ථාව නිර්මාණය කරන්නේ ව්‍යවස්ථාදායකය මගිනි. එනම් පාර්ලිමේන්තුව මගිනි. පාර්ලිමේන්තුව මගින් කෙටුම්පත් කළ නීති, ව්‍යවස්ථාවට අනුකූල දැයි සොයා බලා එවැනි පනත්, ඊට අදාළ වගන්ති සංශෝධනයට නියෝග දෙන්නේ අධිකරණයයි.
ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය, ජනමත විචාරණය, මනාප ක්‍රමය, බහුතරය, දෝෂාභියෝගය වැනි වචන අප නිතර නිතර කතා කළ ද, 1980 දශකයෙන් අනතුරුව (විශේෂයෙන් 1988 න් පසුව) කතා නොකරන, එලෙස ඊට පෙරාතුව දැඩිව කතාබස් කළ වචනයකි “අතුරු මැතිවරණය” දැන් එලෙස කතා නොකරන්නේ අතුරු මැතිවරණ (By Election) නොපැවැත්වෙන බැවිනි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ 1978 ව්‍යවස්ථාවත් සමගින් අතුරු මැතිවරණ සඳහා තිත තැබුණි. 1977 ජූලි 21 මහ මැතිවරණයේදී වත්තල අසුනට එජාපයෙන් තරග කර ජය ලැබූ ඩී. ෂෙල්ටන් ජයසිංහ මහතා තැපැල් හා විදුලි සංදේශ ඇමැතිවරයා ලෙස තේරී පත්වූ අතර, එතැන් පටන් වසරක් සම්පූර්ණ වෙද්දී අමාත්‍ය ජයසිංහ මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය. හිස්වූ වත්තල අසුනට අතුරු මැතිවරණයක් නොපවත්වා හිටපු මන්ත්‍රීවරයා නියෝජනය කළ පක්ෂයෙන් මන්ත්‍රීවරයකු හාපුරා කියා නම් කරන ලදී. 1978 ව්‍යවස්ථාවෙන්, අනතුරුව වූ හිස්වූ මන්ත්‍රී අසුනට මන්ත්‍රීවරයකු නම් කළේ වත්තල අසුන සඳහාය. ඒ සඳහා ජෝන් ඒ. අමරතුංග මහතා පත් කරනු ලැබීය. 1978 ට පෙර අතුරු (1947 සිට…) මැතිවරණ පැවැත්වූයේ ව්‍යවස්ථාදායකයට පත්වූ මන්ත්‍රීවරයකු සිය ධුර කාලය අවසන් වීමට පෙර අභාවප්‍රාප්ත වූවොත්, ඡන්ද පෙත්සමකින් මන්ත්‍රීවරයකුට සිය අසුන අහිමි වූවොත්, මන්ත්‍රීවරයාට හෝ මන්ත්‍රීවරියකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වුවහොත් යන අවස්ථාවන්හිදීය.
1947 අගෝස්තු 23 සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ පළමු ජාතික මැතිවරණය පැවැත්වුණි. 1947 මහ මැතිවරණය ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට පෙර පැවැති නිසා සෝල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ පැවැති පළමු මැතිවරණය විය. එම මහ මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂයෙන් අවිස්සාවේල්ල අසුන ජයගත් වමේ ව්‍යාපාරයේ ක්‍රියාකාරී නායකයකු වූ පිලිප් ගුණවර්ධන මහතා 1947 මහා වැඩ වර්ජනයේදී ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාට අයත් සවුත් වෙස්ටර්න් ට්‍රාන්ස්පෝර්ට් සමාගමේ සේවකයන් සම්බන්ධ කර ගනිමින් දැවැන්ත වැඩ වර්ජනයක් මෙහෙය වූ අතර ඔහු ඇතුළු එම සමාගමේ වෘත්තීය සමිති නායකයන් කීපදෙනකුටම සිරදඬුවම් නියම වූ අතර, ගුණවර්ධන මහතාගේ ප්‍රජා අයිතිය ද වසර 07 කට අත්හිටුවීම නිසා ඒ මහතාට අවිස්සාවේල්ල අසුන අහිමි විය. අවිස්සාවේල්ල අසුන සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට නාමයෝජනා කැඳවීම 1948 අප්‍රේල් 19 වැනිදා සිදුවූ අතර ලසසප අපේක්ෂිකාව ලෙස පිලිප් ගුණවර්ධන මහතාගේ බිරිඳ කුසුමා ගුණවර්ධන මහත්මිය නාමයෝජනා භාර දුන්න ද වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීන අපේක්ෂකයකු නාමයෝජනා භාර නොදුන් නිසාවෙන් ගුණවර්ධන මහත්මිය අවිස්සාවේල්ල මන්ත්‍රීවරිය ලෙස නිතරගයෙන් තේරී පත් වූවාය. එම අවස්ථාව නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අතුරු මැතිවරණය ලෙස ඉතිහාසයට එක්වේ. එතැන් පටන් (වර්ෂ 1948 සිට) 1988 වර්ෂය දක්වා වසර 40 ක කාල පරිච්ඡේදය තුළ පාර්ලිමේන්තුවේ, ජාතික රාජ්‍ය සභාවේ අතුරු මැතිවරණ ගණනාවක්ම පවත්වා ඇත. එකම වර්ෂයකදී මාස, දින කීපයක් තුළත්, එකම වර්ෂයක හා එකම දිනක අතුරු මැතිවරණ කීපයක් වශයෙන් ද පවත්වා ඇත. එලෙස එකම දිනක 1961 මාර්තු 29 දින මාතලේ, රත්ගම, කුරුණෑගල, 1962 ජුනි 28 වැලිමඩ, අනුරාධපුරය හා මුතූර්. 1966 ඔක්. 24 බෙන්තර – ඇල්පිටිය, බණ්ඩාරවෙල හා බලංගොඩ, 1968 දෙසැම්බර් 17 වැලිමඩ හා බලපිටිය, 1972 ඔක්තෝබර් 09 දින කැස්බෑව, රත්නපුර, නුවරඑළිය හා පුත්තලම යන ආසන සඳහා ද මෙලෙස අතුරු මැතිවරණ එකම දිනකදී පවත්වා ඇත.
1988 අංක 02 දරණ පළාත් සභා පනත යටතේ හාපුරා කියා පවත්වන්නට යෙදුණු වයඹ, උතුරු මැද, ඌව හා සබරගමුව පළාත් සභා මැතිවරණය සඳහා 1977 ජූලි 21 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පත්වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා (කටුගම්පල අසුන), ජී. ඩී. මහින්දසෝම (කැකිරාව අසුන), පර්සි සමරවීර (වැලිමඩ අසුන) සහ ජී. වී. පුංචිනිලමේ (රත්නපුර අසුන) යන මහත්වරු පළාත් මහ ඇමැති ධුර සඳහා එජාප අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වූ අතර, එම සිවු පළාත් සභා සඳහා මැතිවරණය 1988 අප්‍රේල් 28 වැනිදා පැවැති අතර, ඉන් අනතුරුව කටුගම්පල, කැකිරාව, වැලිමඩ හා රත්නපුර යන ආසන සඳහා එකම දිනකදී අතුරු මැතිවරණ හතරක් පැවැත්වුණි. ඒ මන්ත්‍රී ධුර හිස්වීම නිසාය.
මෙතෙක් මෙරට පැවැත්වූ අතුරු, මහ මැතිවරණ අතුරින් එකම දිනක වැඩිම ආසන සංඛ්‍යාවකට අතුරු මැතිවරණ පවත්වා ඇත්තේ 1983 මැයි 18 වැනිදාය. එය ඓතිහාසික අවස්ථාවකි. 1977 ජූලි 21 වැනිදා පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එජාපය 5/6 ක බලයක් ලබාගෙන වසර 06 කට පාලන බලය ලබා එම පාර්ලිමේන්තුවට 1983 – 1989 දක්වා තවත් වසර 06 කට පාලන බලය දීර්ඝ කර ගැනීමට තීරණය කරමින් ජේ. ආර්. ජනාධිපතිවරයා ජනමත විචාරණයක් කැඳවූයේ 1982 ඔක්තෝබර් 25 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන්ශ්‍රී ලංකාවේ මුල්ම විධායක ජනාධිපති ධුරයට තමන් පත්වීමෙන් අනතුරුවය.
1982 ඔක්තෝබර් 25 වැනිදා පැවැති ශ්‍රී ලංකාවේ පළමුවැනි විධායක ජනාධිපතිවරණයෙන් 51% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට අපොහොසත් වූ හා 1982 දෙසැ. 22 පැවැති ජනමත විචාරණයෙන් (කළගෙඩි ලාම්පු ඡන්දයෙන්) ජයග්‍රහණය නොකළ මන්ත්‍රී ආසන සඳහා මෙම අතුරු මැතිවරණ පැවැත්වුණි. 1983 මැයි 18 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 18 කට අතුරු මැතිවරණ පැවැත්වූ අතර මෙදිනම උතුරු – නැඟෙනහිර ඇතුළුව දිවයිනේ මහ නගර සභා හා නගර සභා 46, නාගරික මන්ත්‍රීවරු 571 ක් තෝරා ගැනීමට පළාත් පාලන මැතිවරණයක් ද පැවැත්වීම සුවිශේෂී සිද්ධියක් විය.
වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ද ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1983 මැයි 18 පැවැති අතුරු මැතිවරණයෙන්ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (ශ්‍රීලනිප) හා හිටපු ඇමැති වාසුදේව නානායක්කාර මහතා (නසසප) මෙම අතුරු මැතිවරණයේදී බෙලිඅත්ත හා ඇහැලියගොඩ යන ඡන්ද බල ප්‍රදේශවලින් තරග කළ ද දෙදෙනාම එජාප අපේක්ෂකයන්ට පරාජයට පත් විය. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයාව සිටි ඔසී අබේගුණසේකර මහතා හබරාදුව අසුනට ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙසත්,
පෑලියගොඩ නගර සභාවට ශ්‍රීලනිප අපේක්ෂකයකු ලෙසත් එකම දිනක මැතිවරණ දෙකකට මුහුණ දුන්න ද හබරාදුව අසුනින් පරාජයට පත්වුව ද පෑලියගොඩ නගර සභාව ජයගෙන එහි විපක්ෂ නායක ධුරයට පත් විය. මෙම අතුරු මැතිවරණ 18 ඉතා උණුසුම් ස්වරූපයක් ගත්ත ද, මෙම අතුරු මැතිවරණ 18 අතුරින් ඉතාමත්ම උණුසුම් තත්ත්වයක් තිබුණේ මහර අසුනේය. ඒ ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස තරග කළ විජය කුමාරතුංග මහතා නිසාවෙනි. අනෙක් ආසන 17 ත් එජාපය පැරදුනත් මහර අසුන කෙසේ හෝ අප ජයග්‍රහණය කළ යුතු බැව් එජාප නායකයා මෙන්ම ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පවසා තිබූ බැව් වාර්තා විය.
දැඩි භීෂණකාරී තත්ත්වයක් යටතේ මහර ඡන්ද ව්‍යාපාරය කරන්ට තමන්ට සිදුවූ බවත් තමන්ගේ ආධාරකරුවන් අත්අඩංගුවට ගනිමින් වෙඩි තබමින් තම ඡන්ද ව්‍යාපාරය රජය අඩාල කළ බැව් විජය කුමාරතුංග මහතා රජයට චෝදනා කරමින් සඳහන් කර තිබිණි. මහර අසුනින් විජය පරාජයට පත්වූයේ වැඩි ඡන්ද 45 කින් වුව ද මහර අසුනේ නාතුඩුව ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි වූ මුළු ඡන්ද සංඛ්‍යාවට වඩා ඡන්ද 49 ක් වැටී තිබුණු අතර, එම සාක්ෂිය තුළින් ඡන්දයේ දුෂිතභාවය මොනවට පැහැදිලිය.
1983 මැයි 18 අතුරු මැතිවරණය 18 සම්පූර්ණ ප්‍රතිඵලය මෙසේයි
- මහරගම (ලියාපදිංචි ඡන්ද 71,597
දිනේෂ් ගුණවර්ධන මහතා (මඑපෙ) – 27,054
දොස්තර ගාමිණී විජේසේකර මහතා (එජාප) 21,263
ඩබ්. අයි. ජයවර්ධන මහතා (ස්වාධීන) – 461
වැඩි ඡන්ද – 5791
කැස්බෑව අසුන (ලියාපදිංචි ඡන්ද 71,002)
ගාමිණී ලොකුගේ මහතා (එජාප) – 27,821
ඩික්සන් ජේ. පෙරේරා (ශ්‍රීලනිප) – 23,962
සුභාෂ් චන්ද්‍රසිරි (ස්වාධීන) – 382
එම්. විජේසිරි (ස්වාධීන) – 93
තිලකරත්න වෙත්තසිංහ මහතා (ස්වාධින – 53
වැඩි ඡන්ද – 3859
මතුගම අසුන (ලියාපදිංචි ඡන්ද 61,809
අනිල් මුණසිංහ මහතා (ශ්‍රීලනිප) – 22,459
රෙජිනෝල්ඩ් විජේගුණරත්න මහතා (එජාප) – 21,495
ජී. අයි. ඩී. ධර්මසේකර මහතා (ස්වාධීන) – 752
ආනන්ද විජේගුරුසිංහ මහතා (ස්වාධීන) – 424
ඩබ්. ජී. ෂෙල්ටන් ජයසේකර මහතා (ස්වාධීන) – 346
අයගම විමලවංශ හිමි (ස්වාධීන) – 302
වැඩි ඡන්ද – 964
- කළුතර අසුන (ලියාපදිංචි ඡන්ද 64,944
වී. එල්. විජේමාන්න (එජාප) – 22,810
ඉන්ද්‍රපාල අබේවීර (ශ්‍රීලනිප) – 19,109
ධර්මසේන ප්‍රනාන්දු මහතා (ලසසප) – 6013
වැඩි ඡන්ද – 3701
- අම්බලන්ගොඩ අසුන (ලියාපදිංචි ඡන්ද 45,086
එම්. එච්. කේ. ජගත්සේන (එජාප) – 16,267
අ. ම. කරුණාරත්න (ශ්‍රීලනිප) – 15,983
විල්ප්‍රඩ් ද සිල්වා (ස්වාධීන) – 294
ඒ. ඩේවිඩ් පීරිස් (ස්වාධීන) – 171
ඊ. ධර්මසිරි ද සිල්වා (ස්වාධීන) – 72
වැඩි ඡන්ද – 284
- බද්දේගම අසුන (ලියාපදිංචි ඡන්ද 59,040
අධිනීතිඥ අමරසිරි දොඩංගොඩ (ශ්‍රීලනිප) – 23,060
විල්සන් ජයවර්ධන (එජාප) – 21,967
සුජාතා ඒ. ජයසිංහ (ස්වාධීන) – 766
අනුර සෙනවිරත්න (ස්වාධීන) – 196
වැඩි ඡන්ද 1093
- රත්ගම අසුන (ලියාපදිංචි ඡන්ද 55,193
අසෝක සෝමරත්න (එජාප) – 23,070
එම්. ජී. මෙන්ඩිස් (ශ්‍රීලකොප) – 18,950
කේ. එස්. එන්. ප්‍රනාන්දු (ජවිපෙ) – 1587
පියසේන ද සිල්වා (ස්වාධීන) – 145
වැඩි ඡන්ද – 4120
- අක්මීමන අසුන (ලියාපදිංචි ඡන්ද 51,073
රිචඩ් පතිරණ මහතා (ශ්‍රීලනිප) – 19,820
සුමනදාස අබේවික්‍රම මහතා (එජාප) – 17,042
ප්‍රේමලාල් අබේසේකර මහතා (ස්වාධීන) – 754
ඩබ්. කේ. පියදාස මහතා (ස්වාධීන) – 274
ඩබ්. එස්. සමරරත්න (ස්වාධීන) – 57
වැඩි ඡන්ද – 2778
- හබරාදුව අසුන (ලියාපදිංචි ඡන්ද 56,053
ජී. වී. එස්. ද සිල්වා (එජාප) – 22,059
ඔසී අබේගුණසේකර (ශ්‍රීලනිප) – 17,756
ප්‍රින්ස් ගුණසේකර (ස්වාධීන) – 1663
පී. සුමනරත්න (ස්වාධීන) – 537
ඩී. එස්. ගුණසේකර (ස්වාධීන) – 248
වැඩි ඡන්ද – 4303
- කඹුරුපිටිය (ලියාපදිංචි ඡන්ද 57,400
චන්ද්‍රකුමාර විජේවර්ධන (එජාප) – 22,707
ඊලියන් නානායක්කාර (ශ්‍රීලකොප) – 16,087
ප්‍රේමචන්ද්‍ර මුණසිංහ (ජවිපෙ) – 2062
ඩී. ඊ. මලවරආරච්චි (ස්වාධින) – 499
සැම්සන් මල්ලිකාරච්චි (ස්වාධීන) – 106
වැඩි ඡන්ද – 6636
- මුල්කිරිගල අසුන (ලියාපදිංචි ඡන්ද 57,491
ආනන්ද කුලරත්න (එජාප) – 23,109
නිරූපමා රාජපක්ෂ (ශ්‍රීලනිප) – 19,588
දොන් ප්‍රැන්සිස්කු විමලසේන (ස්වාධීන) – 2338
රණසිංහ සුමනසේන (ස්වාධීන) – 543
වැඩි ඡන්ද – 3521
- ඇහැළියගොඩ අසුන – (ලියාපදිංචි ඡන්ද 57,491
දොස්තර ලෙනාඩ් කිරිඇල්ල (එජාප) – 23,922
වාසුදේව නානායක්කාර (නසසප) – 23,168
එල්. සුමිත් තිලකසිරි (ස්වාධීන) – 166
එච්. ඩී. ආනන්ද අප්පුහාමි (ස්වාධීන) – 61
වැඩි ඡන්ද – 754
හක්මණ අසුන – (ලියාපදිංචි ඡන්ද – 57203
මහින්ද යාපා අබේවර්ධන (එජාප) – 23363
ආරිය බුලේගොඩ (ශ්‍රීලනිප) – 21002
ජේ. එල්. සිරිසේන (ස්වාධීන) – 1291
ප්‍රේමදාස රණතුංග (ස්වාධීන) – 103
වැඩි ඡන්ද – 2334
- දෙවිනුවර (ලියාපදිංචි ඡන්ද 56,693
පී. එස්. එල්. ගලප්පත්ති (එජාප) – 16,491
මහින්ද විජේසේකර (ශ්‍රීලනිප) – 15,180
එච්. ආර්. පියසිරි (ස්වාධීන) – 6420
කේ. එච්. ජයන්ත ගුණතිලක (ජවිපෙ) – 3591
බුද්ධදාස රාසපුත්‍රම් (ස්වාධීන) – 259
ඒ. ආර්. මොහොමඩ් කලිඳු (ස්වාධීන) – 159
වැඩි ඡන්ද – 1311
- බෙලිඅත්ත අසුන (ලියාපදිචි ඡන්ද 56,254
දොස්තර රන්ජිත් අතපත්තු (එජාප) – 24,147
මහින්ද විජේසේකර (ශ්‍රීලනිප) – 18,253
එස්. එස්. අයි. ආරියසේන (ජවිපෙ) – 2550
ඩබ්. ඒ. ඩබ්. රාජපක්ෂ (ස්වාධීන) – 154
වැඩි ඡන්ද – 5894
- තංගල්ල අසුන (ලියාපදිංචි ඡන්ද 58,690
ජිනදාස වීරසිංහ (එජාප) – 22,861
එච්. එස්. ද සිල්වා (ශ්‍රීලනිප) – 16,648
විජිත රණවීර (ජවිපෙ) – 5840
සෝමපාල ඒකනායක (ස්වාධීන) – 1827
වැලිපිටියේ පේමසිරි හිමි (ස්වාධීන) – 184
වැඩි ඡන්ද – 6213
- තිස්සමහාරාමය අසුන (ලියාපදිංචි ඡන්ද 69,521
දොස්තර පී. ඇම්. බී. සිරිල් (එජාප -) 26,507
එච්. කේ. මර්වින් සිල්වා (ශ්‍රීලනිප) – 17,792
එච්. ආර්. විජේසිරි (ස්වාධින) – 4725
තුවාන් ජෙයසුදීන් (ස්වාධීන) – 219
වැඩි ඡන්ද – 8715
- මහර අසුන (ලියාපදිංචි ඡන්ද 65,660
කමලවර්ණ ජයකොඩි (එජාප) – 24,944
විජය කුමාරණතුංග (ශ්‍රීලනිප) 24,899
එස්. කේ. කේ. සුරියාරච්චි (ස්වාධීන) – 1837
ආර්. පී. පී. රාජපක්ෂ (ස්වාධීන) – 76
ඇල්. කේ. පේමදාස (ස්වාධීන) – 48
වැඩි ඡන්ද – 45
මෙම අතුරු මැතිවරණ 18 න් 14 ක බලය එජාපයට ද, ආසන 03 ක් ශ්‍රීලනිපයට හා එක අසුනක් මහජන එක්සත් පෙරමුණට ද හිමි විය.
ජුඩ් ඩෙන්සිල් පතිරාජ