සිංහලයන් තිස් දහසකට වඩා මරවා තාරා දෙව්දුවගේ ප්‍රතිමාව සොරකම් කළ ළමා සොල්දාදුවා

1324

ලංකාවේ තුන්වන බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා වූ ශ‍්‍රීමත් රොබට් බ‍්‍රවුන්රිග් ගේ 264 වන උපන්දින සැමරුම මේ මස 8 දාට යෙදී තිබේ.
මේ ලිපිය ඒ නිමිත්තෙන් විශේෂයෙන් ලියන ලද්දකි.

ශ‍්‍රී ලංකාවේ යටත් විජිත පාලනය තුළ පැවති මේ රටේ සිංහල බෞද්ධ ජනයාගේ ජීවිතයට රොබට් බ‍්‍රවුන්රිග් තරම් බලපෑම් කළ අන් කිසිවකුත් නැත. 1758 පෙබරවාරි 8 දා අයර්ලන්තයේ ඉපදුණු ඔහු සොල්දාදුවකු හැටියට ජීවිතය පටන් ගන්නේ වයස අවුරුදු 17 දීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන නිර්ණායකයන්ට අනුව රොබට් බ‍්‍රවුන්රිග් ළමා සොල්දාදුවෙකි. එනම් එක්සත් ජාතීන්ගේ පිළිගැනීම් වලට අනුව අවුරුදු 18 ට අඩු කෙනකුට යුද අවි දැරිය නොහැක. මධ්‍යකාලීන එංගලන්තයේ නීති රීති සහ වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ නීති රීති අතර විශාල පරතරයක් තිබූ බවක් නොපෙනේ. ප‍්‍රභාකරන් සතුවද ළමා සොල්දාදු බළකායක් විය. බේබි බි‍්‍රගේඞ් යනුවෙන් එය හඳුන්වන ලදී. රොබට් බ‍්‍රවුන්රිග් 1775 දී එංගලන්ත යුද හමුදාවේ බලලත් කනිෂ්ඨ නිලධාරියකු බවට පත්විය. ඉන්පසු ඔහු රාජකීය නොෆක් රෙජිමේන්තුවේ සේවයට බැඳෙයි. 1795 දී එවකට යෝර්ක් ආදිපාදිවරයා ලෙස කටයුතු කළා වූද තුන්වැනි ජෝර්ජ් රජතුමාගේ දෙවැනි පුත‍්‍රයා වූද ෆ්‍රෙඞ්රික් කුමාරයාගේ මිලිටරි ලේකම් ලෙස බ‍්‍රවුන්රිග් ට පත්වීමක් ලැබිණ. 1799 දී යෝර්ක් ආදිපාදවරයා ඕලන්දයේ සංචාරය කළ අතර සිය මිලිටරි ලේකම් තැන වූ බ‍්‍රවුන්රිග් ද එම සංචාරයට එක්කර ගත්තේය. 1803 දී බි‍්‍රතාන්‍ය හමුදාවල quarter master general තනතුරට බ‍්‍රවුන්රිග් පත්කරන ලදී. මෙය බි‍්‍රතාන්‍ය යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ ජෙනරල් තනතුරකි. බි‍්‍රතාන්‍ය හමුදාව තුළ එවැනි තනතුරක් දැන් නැත. 1805 දී හෙතෙම 9 වන නැගෙනහිර නොෆක් රෙජිමේන්තුවේ කර්නල් තනතුරට පත්කරන ලදී. 1809 දී ඔහු නෙදර්ලන්තයේ සංග‍්‍රාමික මෙහෙයුමකට සම්බන්ධ විය. ඉන්පසු බෙල්ජියම අල්ලා ගැනීමට බි‍්‍රතාන්‍ය හමුදාව දියත් කළ අසාර්ථක මෙහෙයුමේදී බි‍්‍රතාන්‍ය හමුදාවේ අණ දෙන නිලධාරී චැතම් ආදිපාදවරයාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස පත්වීමට බ‍්‍රවුන්රිග් ට හැකිවිය.

මේ ආකාරයෙන් නව යොවුන් වියේ සිට ගතවූ මුළු ජීවිත කාලය තුළදීම රොබට් බ‍්‍රවුන්රිග් ගතකළේ සිවිල් පරිපාලනයට කිසිදු සම්බන්ධයක් නැති හමුදා නීතිය රාජ නීතිය බවට පත්කර ගත් ජීවිතයකි. 1813 දී ශ‍්‍රී ලංකාවේ තුන්වන ආණ්ඩුකාරයා ලෙස යැවීමට සුදුසු මිනිසකු සොයද්දී එංගලන්ත රාජාණ්ඩුවට රොබට් බ‍්‍රවුන්රිග් හමුවිය. ඒ අනුව ඔහු ලංකාවට එවන ලදී. බ‍්‍රවුන්රිග් ලංකාවට එනවිට රටේ සමස්ත මුහුදුබඩ පාලනය ලන්දේසීන් අතින් බි‍්‍රතාන්‍යයට මාරුවී තිබිණ. ඒ අතර ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු යටතේ කන්ද උඩරට රාජධානිය වෙනම පැවතින. එකල කන්ද උඩරට යනු මුහුදුබඩට වඩා වෙනස් වනගත රාජධානියකි. මේ නිසා එක එල්ලේම කන්ද උඩරට රාජධානිය ආක‍්‍රමණය කිරීමට බ‍්‍රවුන්රිග්ට නොහැකි විය. 1815 දී බ‍්‍රවුන්රිග් ගිවිසුමක් මගින් කන්ද උඩරට රාජධානියේ පාලනය පවරා ගනී. ඔහු එම ගිවිසුම අත්සන් කළේ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු සමග විරසකව සිටි රජතුමාගේ අධිකාරම්ලා සමග කුමන්ත‍්‍රණය කිරීමෙනි. මේ සිංහල අධිකාරම්වරු දෙමළ ජන්මයක් ඇති ස්වකීය මහරජතුමා පාවාදීමට බැඳී සිටියහ. මෙසේ අත්සන් කළ ගිවිසුම ‘උඩරට ගිවිසුම’ ලෙස හඳුන්වනු ලැබේ. ඉන්පසු මුළුමහත් ශ‍්‍රී ලංකාවම බි‍්‍රතාන්‍ය කිරීටය යටතට පත්ව තිබෙන බව බ‍්‍රවුන්රිග් විසින් බි‍්‍රතාන්‍යට දන්වා යවන ලදී. එයට කෘතගුණ සැලකීම සඳහා එංගලන්ත ආණ්ඩුව 1816 දී බ‍්‍රවුන්රිග්ට තවත් තනතුරක් ලබාදෙයි. එය කනිෂ්ඨ සාමි තනතුරකි.

සිංහලයන් තිස් දහසකට වඩා මරවා තාරා දෙව්දුවගේ ප්‍රතිමාව සොරකම් කළ ළමා සොල්දාදුවා

යටත් විජිත පාලන සමයේදී සිංහලයන්ට අපරාධ කළ අය අතුරින් ඉහළම තැන සිටියේ ආණ්ඩුකාර රොබට් බ‍්‍රවුන්රිග්ය. 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල පැන නැඟුන අවස්ථාවේදී කැරැල්ල පැවති ප‍්‍රදේශවල සියලූම සිංහල ගැහැනුන් පිරිමින් කුඩා දරුවන් සහ මව් ඇකයේ සිට කිරි උරා බොන දරුවන් පවා ඝාතනය කරන ලෙස බ‍්‍රවුන්රිග් නියෝග කළේය. මේ අනුව යමින් බි‍්‍රතාන්‍ය සෙබළු ස්තී‍්‍ර දූෂණ ද බහුල ලෙස සිදු කළහ. ඔවුන් ස්තී‍්‍රන් දූෂණ කළේ ස්වකීය ස්වාමිපුරුෂයන් ඉදිරිපිටදීය. මෙය ඉතා දරුණු මානසික ආයුධයකි. සැමියා ඉදිරියේ බිරිය දූෂණය කළ කල්හි එම සැමියා අපේක්ෂා භංගත්වයට පත්වී මානසිකව ඇදවැටේ. කැරලිකරුවකුට මේ ඉරණම අත්වූ විට ඔහු බොහෝ විට කරන්නේ සිය බිරිඳට සහ සමාජයට මුහුණ දීමට නොහැකි නිසා සිය දිවිනසා ගැනීමය. මේ සංහාරවල නායකත්වය බ‍්‍රවුන්රිග්ගේ හමුදා ප‍්‍රධානියා වන මේජර් ජෙනරාල් හේ මැක්ඩොවල් විසින් ගන්නා ලදී. ඔහු මනුෂ්‍යයන් සංහාරය කිරීමට අමතරව ඌව වෙල්ලස්සේ සියලූ දේපළ ගිනි තබා වගා විනාශ කොට ජනතාවට ආහාර සපයන කොස් ගස් සහ පොල් ගස් පවා කපා දැම්මේය. එමෙන්ම මී ගස් විනාශ කිරීමට ඔහු විශේෂයෙන් උනන්දු විය. මී ගස යනු පුරාණ ලංකාවේ තිබූ අත්‍යවශ්‍යම ශාකයකි. මේ ශාකය මගින් කෘමිනාශකයක් සෑදීමටත් එය වගාවට ඉසීමටත් සිංහලයෝ පුරුදුව සිටියේය. මේ කියන කාලයේදී පොල්තෙල් පාවිච්චියක් මේ රටට පුරුදුව තිබුණේ නැත. හැම ගෙදරකම පහන් පත්තු කිරීමටත් ආහාර සකස් කිරීමටත් මී ගසේ ඇටයෙන් ලැබෙන මී තෙල් යොදා ගන්නා ලදී. එමෙන්ම දේශීය වෛද්‍යවරු සියලූ දෙනාම පාහේ බෙහෙත් සෑදීමේදී යොදා ගන්නා මූලික තෙල් වර්ගය වූයේ මී තෙල්ය. ඒ අතර මී ගසේ කොළවලින් කාබනික පොහොර සාදන ලදී. වෙල්ලස්ස කැරැල්ල ආරම්භ කරන විට ඌව වෙල්ලස්ස ප‍්‍රදේශයේ ලක්ෂයකට අධික ජනතාවක් වාසය කළ බවත්, කැරැල්ලෙන් පසු එය තිස් දහස දක්වා අඩු වුණු බවත් කියනු ලැබේ.

ඌව වෙල්ලස්ස යනු මේ රටේ කන්ද උඩරට තිබූ ආහාර ගබඩාව ලෙස හඳුන්වනු ලද්දකි. කැරැල්ලෙන් පසු එම ප‍්‍රදේශවල සිටි පිරිමි ගහනය විශාල වශයෙන් අඩු වී තිබුණි. ඒ නිසා ගොවිතැන් කිරීමට නොහැකිව ප‍්‍රදේශවාසී ජනයා සාගින්නේ පෙළෙන්නට වූහ. මධ්‍යකාලීන යුගයේදී යුද්ධයක් කරන විට සියලූ දේ විනාශ කිරීමේ ක‍්‍රමවේදයක් පැවතුණි. මෙය Seorched earth policy ලෙස හඳුන්වනු ලැබේ. මේ ක‍්‍රමවේදය යටතේ සතුරු ප‍්‍රදේශයකට ඇතුළු වන ආක‍්‍රමණික සෙබළ කැළ අතට හසුවන සියලූ දේ විනාශ කළහ. එවිට සතුරාට නැවතත් ශක්තිමත් වීමේ අවස්ථාවක් නොලැබේ. මෙම ක‍්‍රමවේදය යටතේ වැඩිපුරම පහර දෙන්නේ ප‍්‍රදේශවාසීන්ට ආහාර සපයන සහ වාසස්ථාන සපයන මූලයන්ටය. ඊට අමතරව ප‍්‍රවාහන මාධ්‍යවලටත් මහාමාර්ගවලටත් පහරදී බිඳ දමනු ලැබේ. නූතන ලෝකයදී නම් සියලූ සන්නිවේදන සම්බන්ධතාවලටත්, කර්මාන්තවලටත් පහරදී විනාශ කරනු ලැබේ. අලූත් යුද නීතිරීතිවලට අනුව මෙය සම්පූර්ණයෙන්ම තහනම්ය.

අවුරුදු පනස්තුනක යුද සෙබළකු ලෙස මෙරට පැමිණි බ‍්‍රවුන්රිග් සිවිල් පාලනය ගැන කිසිවක් දැන සිටියේ නැත. ඔහු දැන සිටියේ හමුදාවක් පාලනය කිරීම සහ එය නඩත්තු කරන ක‍්‍රමවේදය පමණි. ප‍්‍රශ්නයකින් නිදහස් වීමට සඳහා ඔහු අනුගමනය කළේ ප‍්‍රශ්නය ඇති කරන පුද්ගලයා ඝාතනය කිරීමය. මෙවිට එම ප‍්‍රශ්නය සදහටම විනාශ වන බව ඔහු විශ්වාස කළේය. ලංකාවට පැමිණි ඔහුට සිංහලයන් සමග කිසිදු මූලික සම්බන්ධයක් නොතිබිණ. ඔහු සියලූ දේ කළේ සිංහල භාෂාව මැනවින් හදාරා බි‍්‍රතාන්‍ය ජාතිකයන් සහ සිංහලයන් අතර, අතරමැදියකු ලෙස කටයුතු කළ ජොන් ඩොයිලි නමැති හමුදා නිලධාරියා හරහාය. ජොන් ඩොයිලි යනු ගජමන් නෝනාගේ පෙම්වතෙකි.

රොබට් බ‍්‍රවුන්රිග් 1815 දී කන්ද උඩරට රාජධානිය අත්පත් කර ගන්නේ 3704 ක බි‍්‍රතාන්‍ය හමුදාවක් යොදවාගෙනය. මේ සඳහා ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුට විරුද්ධව කුමන්ත‍්‍රණය කළ සිංහල බෞද්ධ අදිකාරම්ලා සහ නිලමෙලා රැසක් බ‍්‍රවුන්රිග්ට උදව් කළහ.

1818 දී ඌව වෙල්ලස්සේදී පටන් ගත් සිංහල සංහාරය 1822 දක්වා එක දිගට පැවතිණ. මෙහිදී විශේෂයෙන් බදුල්ල සහ මොනරාගල දිස්ති‍්‍රක්කවල ජනගහනය මහත් සේ අඩු විය. 1818 සිට 1822 දක්වා එම ප‍්‍රදේශවල කුඹුරු වගාවක් සිදු නොවුණු බැවින් කුඹුරු අක්කර ලක්ෂ ගණනක් පුරන් වී ගියේය. සාමාන්‍යයෙන් කුඹුරක් අවුරුදු තුනක් හෝ හතරක් වගා නොකර තැබූ විට අධික වැසි සහිත අවස්ථාවේදී එම භූමියේ තිබෙන සියලූ ලවණ වර්ග උඩට මතු වෙයි. මේ භූමියේ නැවත වගා කළ නොහැක. මුතුරාජවෙලට සිදු වී ඇත්තේ මෙයමය. ශී‍්‍ර ලංකාව තුළ අද පවත්නා ආහාර හිඟයට වගකිවයුතු අයගෙන් කෙනෙකු ලෙස රොබට් බ‍්‍රවුන්රිග් ද නම් කළ යුතුය.

ඌව වෙල්ලස්ස කැරැල්ලට සහභාගි වූ සිංහල ජන ප‍්‍රධානීන් රාශියක් දේශද්‍රෝහීන් බවට පත් කරමින් ගැසට් පත‍්‍රයක් නිකුත් කළ රොබට් බ‍්‍රවුන්රිග් එම සියලූ දෙනාගේ දේපළ රාජසන්තක කළේය. ශී‍්‍ර ලංකාවේ කරන ලද සංහාර වෙනුවෙන් බි‍්‍රතාන්‍ය කිරීටය රොබට් බ‍්‍රවුන්රිග්ට හමුදා සෙබළකුට දිය හැකි උපරිම ත්‍යාගය ප‍්‍රදානය කළේය. ඒ වූ කල්හි ඔහු Full General කෙනෙකු බවට පත් කිරීමය. 1819 දී මේ පත්වීම සිදු වූ අතර 1819 දී රොබට් බ‍්‍රවුන්රිග් ආපසු බි‍්‍රතාන්‍ය බලා ගියේය.

මේ රටේ පුරාවස්තු කොල්ලකෑම් පිළිබඳ චෝදනාවක් ද බ‍්‍රවුන්රිග්ට තිබේ. ඒ වූ කල්හි හත්වන සියවසේදී ලංකාවේදී නිෂ්පාදනය කරන ලද තාරා දෙවඟනගේ ලෝකඩ ප‍්‍රතිමාව සොයා ගැනීමය. මේ පිළිබඳ මත දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම් නැගෙනහිර වෙරළාසාන්න ස්ථානයක තිබී බ‍්‍රවුන්රිග් එම ප‍්‍රතිමාව සොරකම් කළ බවය. අනෙක් මතය නම් ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජතුමා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී බ‍්‍රවුන්රිග්ගේ සොල්ලාදුවන් මේ ප‍්‍රතිමාව සොරකම් කර ඔහුට භාරදුන් බවය. කෙසේ හෝ වේවා පසු කාලයේදී බ‍්‍රවුන්රිග් තම දේපළක් ලෙස සලකා තාරා දෙවඟනගේ ප‍්‍රතිමාව ලන්ඩන් කෞතුකාගාරයට තෑගි කරන ලදී. තාරා දෙවඟනගේ ප‍්‍රතිමාව සෙන්ටිමීටර් 143 ක් උසය. පණ්ඩුකාභය රජතුමා විසින් ඉදිකරන ලද අනුරාධපුර රාජධානියේ අතීත කතාව සමග මේ ප‍්‍රතිමාව බැඳී ඇත. බෞද්ධ ප‍්‍රතිමා ශිල්පයෙහි සහ හින්දු ප‍්‍රතිමා ශිල්පයෙහි ඇති ලක්‍ෂණ මේ ප‍්‍රතිමාවෙහි අඩංගුය. මුලදී මෙය පත්තිනි දේවියගේ ප‍්‍රතිමාවක් ලෙස සලකන ලදී. එය හින්දු දෙවඟනක වූ තාරාගේ බව හඳුනාගන්නේ පසුකාලීනවය. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ මෙහෙසියන්ගේ සහ ඔහුගෙන් කොල්ලකන ලද රන් මාල අඩි සියයක පමණ ප‍්‍රමාණයක් පසු කාලයේදී ලන්ඩනයේදී කැබලි කර වෙන්දේසි කරන ලදී. මේ සියල්ලටම ඒ සිද්ධීන් සිදුවන අවස්ථාවේදී බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාවරයා ලෙස කටයුතු කර රොබට් බ‍්‍රවුන්රිග් වගකිව යුතුවය.

අනුර සොලමන්ස්

advertistmentadvertistment
advertistmentadvertistment