මේක අලුත්ම කතාවක් !

1343

අද අපි ඔබට අලුත් කතාවක් කියමු. මෙය වෙනදා මේ තීරුව ඔස්සේ සාකච්ඡා කළ කතාවලට වඩා ඉතාම නරක කතාවකි. වසර 2022 මේ රටේ හටගත් ආර්ථික අර්බුදය නිසා කඩ සාප්පු හිස්වී ගෑස් පෝලිම් හා තෙල් පෝලිම් පැන නැගී මිනිසුන් අතේ සතේ නැතිව තිබූ කාලයේදී කොළඹ පැත්තේ තරුණයකුට ඒජන්සිකාරයෙක් මුණ ගැසේ. මේ තරුණයා සංචාරක ව්‍යාපාරයේ නිරතව සිට එය කඩාවැටුණු බැවින් සාක්කු හිස්වී මහමඟට වැටී සිටි විවාහකයෙකි. ඒජන්සිකාරයා ඔහුට තායිලන්තයේ සංචාරක සමාගමක රැකියාවක් පොරොන්දු වේ. ඒජන්සිකාරයාට රුපියල් ලක්ෂ 5 ක් ගෙවීමෙන් පසු සතියක් ඇතුළත මේ තරුණයාට තායිලන්තයට යෑම සඳහා සංචාරක වීසාවක් ලැබේ. යොදාගත් දිනයකදී කටුනායක ගුවන් තොටුපළට යන තරුණයාට තමන් මෙන්ම නන්නත්තාර වී සිටි තවත් තරුණයකු ද ගමනට එක්ව සිටින බව පෙනේ. ඉන්පසු තායිලන්තයේ ස්වර්ණභූමි ගුවන් තොටුපළෙන් බහින මේ දෙදෙනා සේවා ස්ථානයට රැගෙන යෑම සඳහා තායිලන්ත ජාතිකයකු පැමිණෙයි. ඔහුගේ වාහනයට නගින රැකියා අපේක්ෂකයන් දෙදෙනා දීර්ඝ ගමනක් ආරම්භ කරති. රැකියාව සංචාරක කර්මාන්තයට අදාළ එකක් වුවද වනාන්තර මැදින් පැය 20 ක් පමණ ගමනෙහි යෙදීමෙන් පසු තරුණයාට රැකියාව ගැන කිසියම් සැකයක් ඇති වේ. ඔවුන් ගමන් කළ රථයේ රියැදුරා තායි බස හැර වෙන කිසිදු මඟුලක් නොදනී. එබැවින් තමන්ට කල්තබා ලැබී තිබූ අංකයකට කතා කර සංචාරක කොම්පැනියේ අයිතිකාරයා සමග සම්බන්ධ වීමට ඔහු උත්සහ කරයි. එවිට සංචාරක මූලස්ථානය බැංකොක් නගරයෙන් ඈත පිහිටා තිබෙන බැවින් දිගටම එන ලෙස වට්ස් ඇප් පණිවිඩයක් තරුණයාට ලැබේ. තවත් බොහෝ දුරක් ගමන් කිරීමෙන් පසු මධ්‍යම රාත්‍රියේදී ලාංකික තරුණයන් දෙදෙනා තායිලන්තය සහ බුරුමය අතර පිහිටි දේශ සීමාවෙහි වූ ගන කැලෑවක් මැද ඇති සුවිශාල ගොඩනැඟිල්ලකට ගෙන යනු ලැබේ. වාහනයෙන් බැස්ස ගමන්ම දෙදෙනාගේම ගමන් බලපත් ආයතන ප්‍රධානියා විසින් අත්පත් කරගනු ලැබේ. පසුදා සිට ඔවුහු වැඩ අරඹති. එහෙත් ඔවුනට ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරයට අදාළ වැඩ නොව පරිගණක යොදාගෙන කරන වංචනික වැඩකි. අප තරුණයන් දෙදෙනා මෙන්ම ලංකාවෙන් පැමිණි තරුණ තරුණියන් රැසක්ද ඉන්දියානු සහ බංගලිදේශ තරුණ තරුණියෝ ද මෙහි සේවය කරති. මෙහිදී ඔවුන්ට සිදුවන්නේ වට්ස්ඇප්, වයිබර්, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ තරුණියන් මෙන් පෙනී සිටිමින් ධනවත් පුද්ගලයන් රවටා මුදල් ලබා ගැනීමය. මෙහිදී වැඩි වශයෙන්ම සිදුවන්නේ ගනුදෙනුකරු සමග chat කිරීම ය. මෙම chat එකේදී විවිධ ලිංගික ඉරියව් ගැන සාකච්ඡා කරමින් ගනුදෙනුකරු කුල්මත් කිරීමට ඔවුන්ට සිදුවේ. ඊළඟ පියවරේදී තමන්ට අවශ්‍ය යට ඇඳුමක් හෝ ආභරණයක් ලබා ගැනීම සඳහා මුදල් අවශ්‍ය බව chat පණිවිඩය ඔස්සේ ගනුදෙනුකරුට දන්වා ඔහුගේ credit card එකෙන් ගාණක් කපාගැනීම සිදුවේ. මේ මුදල් සියල්ලම ලැබෙන්නේ ආයතනයේ හිමිකරුට ය. මෙහි වැඩ කරන සියලුදෙනා පැය 18 ක් වැඩ කළ යුතුය. දවසේ target එක හෙවත් ඉපැයිය යුතු මුදල් ප්‍රමාණය ගනුදෙනුකරුවන්ගෙන් ලබා ගැනීමට බැරිවන අයට විශාල පොලුවලින් සහ දම්වැල්වලින් පහරදෙනු ලැබේ. ඇතැම් අය කාමරවල සිරකර කෑම නොදී වතුර පමණක් දීම සිදුවේ.

ඉහතින් අප සාකච්ඡා කළේ cyber slavery ලෙස හඳුන්වන නූතන වහල් කර්මාන්තයේ අවස්ථාවක් ගැනය. තායිලන්තය, බුරුමය, ලාඕසය යන රටවල පිහිටි ඝන කැලෑ තුළ ඉදිකළ විශාල ගොඩනැඟිලි තුළ අපේ තරුණයා වැනි සයිබර් වහල්ලු දහස් ගණනක් පරිගණක ඉදිරියට වී ජාවාරම් කෙරෙහි නිරතව සිටිති. මේ ආයතනවල සේවකයන්ට බොහෝවිට ලැබෙන්නේ ආහාර පමණි. ඔවුන්ට වැටුප් අතට නොදෙන අතර ඒවා ආයතනයේ අයිතිකරු ළඟ ඉතිරි කරන බවත් ආපසු සිය රට යන දවසට දෙන බවත් කීව ද එසේ ආපසු යන දවසක් පිළිබඳ කිසිවෙක් නොදනිති. එහෙත් හිටපු ගමන් එකෙක් හෝ දෙන්නෙක් මෙවැනි වහල් කඳවුරුවලින් පැන ගන වනාන්තරය දිගේ ගොස් ගමකට විත් එහි ඇති පොලිසිය තුළදී ක්ලාන්ත වී ඇද වැටෙති. ඊළඟට තායිලන්ත රජය හෝ ලාඕස් රජය හෝ බුරුම රජය හෝ මේ අය ගැන කොළඹට දන්වති. ඔවුන් ආපසු ගෙන්වා ගැනීම ඉතා දුෂ්කර කාර්යයකි. ඔවුන් සතුව ගමන් බලපත්‍ර නැත. එයාර් ටිකට් ද නැත. ඔවුන්ට ඇත්තේ ඇඳි වත පමණි. වහල් සේවය යනු අවුරුදු හාර පන්දාහක් පැරණි වැඩකි. සුප්‍රකට දේශ ගවේෂකයකු හා අංක එකේ වනචරයකු වූ ක්‍රිස්ටෝෆර් කොලම්බස් මධ්‍යකාලීන වහල් සේවාවේ පුරෝගාමියා ය. අප්‍රිකාවට ගොස් එහි සිටි කළු ජාතික අහිංසකයන් පැහැරගත් ඔහු ඒ මිනිසුන් හා ගැහැනුන් යුරෝපයට ගෙනවිත් මුදලට වික්කේය. හැම වහල් තරුණියක්ම වහල් හිමියා විසින් දූෂණය කරන ලදි. වහලුන්ට වැටුප් ගෙවීමක් නැත. ඔවුන්ට කෑම පමණක් ලැබෙයි. ඇමරිකාවේ වහල් සේවය කොතරම් දරුණු ද යත් පැන ගිය වහලකු අත්අඩංගුවට පත්වූ විට ඔහුගේ කකුලක් කපා දමනු ලැබේ. මේ සඳහා යොදාගත් පොළොවට සවිකළ විශාල යකඩ ගිරයක් ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ අදටත් සංරක්ෂණය කර තිබේ. ඇමරිකන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වහල් සේවය අවසන් කරන අතර සියලුම වහලුන් නිදහස් කරයි. එමගින් ඔහුට විශාල ඡන්ද පදනමක් ද ඇති විය. 1900 වනවිට ලෝකයේ වහල් සේවය අවසන් වූ අතර වහල් මෙහෙය පිළිබඳ සිදුවීම් අසන්නට ලැබුණේ ඉතාම කලාතුරකින්, අතරින් පතරය. තායිලන්තය, බුරුමය සහ ලාඕසය මූලික කරගෙන දැනට පවත්නා සයිබර් වහල් සේවයෙන් පැන යන වහලාගේ කකුල් කපනු නොලැබේ. ඒ වෙනුවට ඔහුගේ ඇටකටු කුඩුවෙන තුරු පහරදී වනාන්තරයට ගෙනගොස් දමනු ලැබේ. මෙය අපේ රටට වැටුණු අලුත්ම ලෙඩකි. අපට විසඳීමට ඇති අලුත්ම ප්‍රශ්නයකි. අපට තිබෙන තොරතුරුවලට අනුව ශ්‍රී ලාංකික සයිබර් වහලුන් 500 ට වඩා දැනටමත් පරිගණක ඉදිරිපිට වාඩිවී මුදල් ඉපයීමෙහි නිරතව සිටිති. එයින් තඹයක්වත් සයිබර් වහලාට නොලැබෙන අතර ඒ සියල්ල යන්නේ හාම්පුතාගේ account එකට බව මතක තබාගත යුතුය. ලංකාවේ හැම තැනම හොර ඒජන්සිකාරයෝ සිටිති. සයිබර් වහල් සේවය සඳහා තරුණ තරුණියන් යවන්නේ මේ අය විසිනි. ඔවුන් අල්ලා ඉපැරණි ඇමරිකානු වහල් සේවයෙන් පැන ගිය වහලුන්ට දුන් දඬුවම් පැනවීම රජයේ වගකීම බව අපගේ හැඟීම ය.

advertistmentadvertistment
advertistmentadvertistment