පස් කන්දක් නායයෑමෙන් කොළඹ – බදුල්ල ගමනාගමනය දෙමෝදරින් නැවතිලා

49

උසස් පෙළ ලියන සිසුන්ට දැඩි අපහසුතා

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ දෙමෝදර උඩුවර 8 කණුව හා 7 කණුව අතර ප්‍රදේශය නායයෑම නිසා මාර්ගයේ මීටර් 10ක පමණ දුර ප්‍රමාණයක් පෙරේදා (09 දා) රාත්‍රියේ මුළුමනින්ම යටවී තිබේ.

ඉහළින් පිහිටි කන්දක කොටසක් හා විශාල ගස්ද කඩාවැටී ඇති අතර පස්කන්ද මාර්ගය හරහා ගොස් පහළින් දිවෙන බදුලු ඔයටද වැටී තිබිණ.

පස් කන්දක් නායයෑමෙන් කොළඹ - බදුල්ල ගමනාගමනය දෙමෝදරින් නැවතිලා

දුරකථන සමාගම් කිහිපයකටම අයත් සන්නිවේදන රැහැන් පද්ධතිවලට හා විදුලි කණුවලටද මෙහිදී හානි සිදුව ඇති අතර විදුලි හා සන්නිවේදන රැහැන් අසල ඇති වෙළෙඳසැල් මතටද වැටී තිබිණ.

මාර්ගය අඩි ගණනාවක් උසට යටවී ඇති අතර පවතින වර්ෂා තත්ත්වය හමුවේ පස් ඉවත් කිරීම ඉතා දුෂ්කරව තිබේ.

ඊයේ දිනය තුළත් (10 දා) පස් කන්ද ඉවත්කොට මාර්ගය සම්පූර්ණයෙන් විවෘත කිරීමට නොහැකි හෙයින් විකල්ප මාර්ග ලෙස බණ්ඩාරවල – ඇටම්පිටිය හාළිඇළ හරහා බදුල්ල දක්වා මාර්ගය හා දෙමෝදර – ස්ප්‍රිංවැලි හරහා බදුල්ල මාර්ග යොදා ගන්නා ලෙස බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සහ මහාමාර්ග සංවර්ධන අධිකාරිය හා පොලිසිය උපදෙස් දී තිබේ.

උසස් පෙළ විභාගයට මුහුණදෙන ළමුන් විශාල පිරිසක් මෙම මාර්ග අවහිරතාවයෙන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇත.

ඊයේ උදෑසන සිටම අවහිර වූ මාර්ගයේ දෙපසින්ම ඩෝසර් යොදවා පස් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර මෙම ස්ථානයේ සිට දෙපසට බස් ධාවනය කිරීමට කටයුතු කර ඇත.
හපුතලේ – බුවනෙක සහ බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment