ක්‍රිකට් පරාජය කුමන්ත්‍රණයක්ද?

984

මේ මොහොතේ අප රටේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ ක්‍රිකට් ය. 1996 ලෝක ශූරයන් බවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේදී අත්වූයේ අන්ත පරජයකි. ලෝක කුසලානයට හිමිකම් කිව හැක්කේ එක් රටකට පමණි. එහෙත් ශූරයන් අතරින් ශූරයන් තේරීමේදී තරගයක් ලබාදීමට තරම්වත් අපේ ක්‍රිකට් කණ්ඩායම අසමත් වීම අතිශය කනගාටුදායකය. ඇතැම් තරගවලදී පාසල් ක්‍රිකට් කණ්ඩායමකටත් පහළ තත්ත්වයකට අපේ ක්‍රිකට් කණ්ඩායම ඇදවැටීම ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්‍ෂකයෝ බලාසිටියේ දැඩි වේදනාවකිනි. මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් තරගය පැවැතියේ නවසීලන්තය සමගිනි. වගකීම් විරහිතව පන්දුවට පහරදීමේ ප්‍රතිඵලයක් ලෙස ඉතා පහසුවෙන් කඩුලු පහක ජයක් ලබාගැනීමට නවසීලන්තයට හැකි විය. ඒ සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 09 වන ස්ථානය දක්වා පල්ලම් බැසීමට සිදුවිය. ඒ අනුව 2024 ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගිවීමට ශ්‍රී ලංකාවට හිමිවේදැයි අවිනිශ්චිතතාවක් ගොඩනැගුණි.

මේ සා විශාල පරාජයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පත්වූයේ ඇයි?

අද වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳවත් විශාල ආන්දෝලනයක් රට තුළ ඇති වී තිබේ. ක්‍රිකට් ආයතනය දූෂිත බවට සමහරු චෝදනා කරති. ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජය පිටුපස මෙහි සෙවණැලි රැඳී ඇති බවට සමහරෙක් පවසති. එහෙත් ක්‍රිකට් ආයතනයේ කළමනාකාකරීත්වය පවසනුයේ එම චෝදනාව ප්‍රතික්‍ෂේප කරන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිත බවටත්, දූෂිත සභාපතිවරයා ඇතුළු නිලධාරි මණ්ඩලය ඉවත් කළ යුතු බවට විපක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව සම්මත කරනු ලැබුයේ ආණ්ඩු පක්‍ෂය විසිනි. ක්‍රිකට් පාලකයන් පන්නා දැමිය යුතු බවට පාර්ලිමේන්තුව ගෙනා යෝජනාව ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය එකමතිකව සම්මත කර ගැනීම ද විශේෂත්වයකි. මෙම යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කළ හෙළිදරව්ව කාගේත් අවධානයට ලක්විය. එහිදී ඇමැතිවරයා ප්‍රකාශ කළේ 2018 දී සංචාරක එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු පළමු වාරික මුදල වූ ඩොලර් මිලියන පහක් වෙනත් බැංකු ගිණුමකට යොමු කිරීමට උත්සහ කර ඇති බවකි. කෙසේ වෙතත් ඇමැතිවරයාගේ මෙම චෝදනාව ද ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ. තත්ත්වය එසේ නම් දැන් කළ යුත්තේ මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා සත්‍ය සමාජය හමුවේ හෙළි කිරීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යනු වෙන කොලණියක පිහිටි ආයතනයක් නොවේ. එය ස්ථාපිත කර ගන්නේ අප රටේය. එනිසාම ඩොලර් ගලන මෙම ආයතනයේ ගනුදෙනු පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍යය. මෙම ආයතනයට ලැබෙන සෑම ඩොලරයක්ම වැය කළ යුත්තේ අප රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම පිණිසය. අද අපේ කණ්ඩායමේ සනත්ලා නැත, කළුලා ද නැත. මුත්තයියා වැනි සුවිශේෂී පන්දු යවන්නෝ ද නැත. තරගයක් වෙනස් කළ හැකි චමින්ද වාස් ලා වැනි පන්දු යවන්නන් ද නැත. තරගයක් කරට ගෙන දිනවිය හැකි අරවින්දලා, අසංගලා, ගුරුසිංහ වැනි අය ද නැත. විනය හොඳින් පවත්වාගෙන ජයග්‍රාහී ඉලක්කයකට අපේ කණ්ඩායම මෙහෙයවිය හැකි අර්ජුන රණතුංග වැනි නායකයෙකු ද අපට නැත. මේ සියල්ල අහිමි වන තත්ත්වයට අප ක්‍රිකට් කණ්ඩායම පත්වූයේ ඇයි? ඒ සියල්ල පිළිබඳව යළි සමාලෝචනය කර ක්‍රිකට් නිසි පීල්ලට ගත හැකි බලධාරීන් අතට මෙම ක්‍රීඩාව පත්විය යුතුය. ඩොලර් ගලන ක්‍රිකට් ආයතනයෙන් රටපුරා පාසල් පද්ධතිය තුළ සිටින දක්‍ෂයන් තෝරාගෙන ජාතික ක්‍රිකට් කණ්ඩායම එක්කාසු කර ගැනීමට කාලය පැමිණ ඇති බව බිඳ වැටුණු අපේ ක්‍රිකට් අපට කියාදෙන පාඩම බවට පත් කර ගත යුතුය. එසේ වුවහොත් අර්ජුනලා, අරවින්දලා, මුත්තයියලා, සනත්ලා, කළුලා වැනි අති දක්‍ෂයන් අපට සොයාගැනීමට පුළුවන. ක්‍රිකට් ආයතනය කාගේවත් බූදලයක් කර ගන්නේ නැතිව එය රටට වගකියන ආයතනයක් බවට පත්කර ගැනීම මේ මොහොතේ කළ යුතු කාර්යභාරය බව සෑම පාර්ශ්වයම තේරුම් ගත යුතුව තිබේ.

ක්‍රිකට් පිළිබඳව අප මේ කතා අවසන් කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට පැමිණි අවස්ථාවේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝi වික්‍රමසිංහ මහතා ගුවන්තොටුපළේ දී මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශ ගැන ද අවධානය යොමු කළ යුතුය. එහිදී ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජය පිටුපස එක්තරා කණ්ඩායමක කුමන්ත්‍රණයක් තිබූ බවයි. ඔහු එහිදී අවධාරණය කරනු ලැබුයේ දින කිහිපයක් ඇතුළත එය රටට හෙළිදරව් කරන බවයි. එවැනි කුමන්ත්‍රණයක් තිබුණා නම් රටට හෙළිකළ යුතුව තිබුණේ මීට පෙර ය. එසේ වී නම් අවම වශයෙන් අපේ ක්‍රිකට් කණ්ඩායම ලැබූ පරාජය අවම කර ගැනීමටවත් හැකියාව තිබිණි. කවරක් නමුත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හෙළි කරන මේ කුමන්ත්‍රණය පිළිබඳව කතාව කුමක්ද? ඔව්! අපි පමණක් නොව, රටම අවධාරණය කරනු ලබන්නේ කුමන්ත්‍රණයක් තිබේ නම් තවත් ප්‍රමාද නොකර හෙළිදරව් කරන ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment