යළිත් කරන්ට් වදින ලකුණු?

1002

අප රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තිබේ. එම අර්බුදයට ගෝලීය තත්ත්වයන් සුළු බලපෑමක් කළ බව ඇත්තකි. ඊට ආසන්න උදාහරණය කොරෝනා වසංගතයයි. ලොව පුරා ආර්ථිකයට බලපෑම් එල්ල කළ කොරෝනා වසංගතය තුරන් වී සුළු කාලයක් යද්දී ලොව බොහෝ රටවල් යථා තත්ත්වයට පත්විය. එහෙත් අප රට පමණක් හතර ගාතේ ඇද වැටුණි. ප්‍රතිපත්තියක් නැති ආර්ථික කළමනාකරණය මීට ප්‍රධාන හේතුව විය. රට ප්‍රතිපත්ති නිර්මාණය කරන්නේත්, සැලසුම් කරන්නේත් දේශපාලනඥයන්ය. එනිසා පවතින ආර්ථික අර්බුදය දේශපාලනඥයන්ගේ නිර්මාණයකි. ඒ සඳහා ජනතාව කිසිසේත් වගකිවයුතු නැත. මේ රටේ ආර්ථික මර්මස්ථාන මෙහෙයවන නිලධාරි පැළැන්තියක් ද මෙම ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට ඇතැම්හු චෝදනා කරති. එහෙත් රටේ ජනතාව ඡන්දය දෙන්නේ දේශපානඥයන්ට, දේශපාලන පක්‍ෂවලට මිස නිලධාරීන්ට නොවේ. නිලධාරීන් මෙහෙයවිය නොහැකිනම් එහි වගකීම් භාරගත යුත්තේ දේශපානඥයන්ය.

පසුගිය කාලයේදී විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු රටේ ආර්ථිකයට සංවේදී ආයතන පාඩු පිට පාඩු ලැබුවේය. එම පාඩු පියවනු ලැබුවේ භාණ්ඩාගරයෙන් මුදල් පොම්ප කිරීමෙනි. වත්මන් අයි.එම්.එෆ් යෝජනාව අනුව පාඩු ලබන ආයතනවලට භාණ්ඩාගාරයෙන් මුදල් ගෙවීම අනුමත කරන්නේ නැත. ඒ එක් අතකින් නිවැරදි ක්‍රියා මාර්ගයකි. පාඩු ලැබීමට නම් ආයතන තිබිය යුතු නැත. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ මේ සියලු පව් රටේ ජනතාව මත පැටවීමය.

ඊයේ (23 දා) මාධ්‍ය හමුවක් පැවැත්වූ විදුලිබල ඇමැති කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ 2014 සිට වසර 9 ක් තිස්සේ විදුලි බිල සංශෝධනය නොකර විදුලිබල මණ්ඩලයේ පාඩු පියවීමට මහා භාණ්ඩාගාරයේ මුදල් ලබාදී ඇති බවයි. අයි.එම්.එෆ් පුරෝකථන අනුව මේ වසර අවසානය වන විට විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 30 ක පාඩුවක් ලැබීමට නියමිත බවද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රාජ්‍ය ආයතනයන් දිගින් දිගටම පාඩු ලබයිනම් එහි වගකීම භාරගත යුත්තේ විෂය භාර ඇමැතිවරුන්ය. ඒ අනුව බලන කල පසුගිය කාලවලදී විදුලිබල ඇමැති ධුර දැරූ සියලු දෙනා අද පවතින විදුලි අර්බුදයට වගකිව යුතුය. අප රටේ විදුලිබලය නිපදවිය හැකි විකල්ප බලශක්ති ප්‍රභවයන් කීපයක් තිබේ. නමුත් ඒවා ප්‍රවර්ධනය කිරීමට පසුගිය කාලයේදී පියවර ගත්තේ නැත. විදුලි අර්බුදය නිර්මාණය කරමින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීම හරහා කොමිස් කුට්ටිවලට අරක් ගත් පිසාචයන් වත්මන් විදුලිබල අර්බුදයේ නිර්මාණකරුවන් බව අද රටම දන්නා කරුණකි. නමුත් ඒ කිසිවෙකුට ලැබුණු දඬුවමක් නැත. ඒ ගැන සොයා බැලීමක්ද සිදුවන්නේ නැත. අවසානයේදී සිදුවිය ඇත්තේ ඇමැතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ ක්‍රියා කලාප නිසා ජනතාවට කරන්ට් වැදීමයි.

විදුලි බිල කීප වරක් වැඩිකර තිබියදී පසුගිය දිනවල එය 18% කින් වැඩිකරනු ලැබීය. එම වැඩි කිරීමට සාපේක්‍ෂව අනෙත් භාණ්ඩවල හා සේවාවල මිල ඉහළ ගියේය. පවතින ආර්ථික අර්බුදය හමුවේ හෙම්බත් වී සිටින ජනතාවට එම විදුලි බිල වැඩි කිරීම ගහෙන් වැටුණු මිනිසෙකුට ගොනෙක් නොව ගොන් රැළක් ඇන්නා හා සමාන විය. ජනතාව ආර්ථික අර්බුදය අතින් අන්ත අසරණව සිටින අවස්ථාවකදී ඊයේ විදුලිබල ඇමැති කාංචන විජේසේකර මහතාගෙන් ලැබුණු ඉඟිය එතරම්ම සුබදායක එකක් වේ යැයි සිතිය නොහැකිය. විදුලිබිල සංශෝධනය කිරීමට වසරකට දෙවරක් පමණක් අවසර ඇතත් ඉන්ධන මිල ඉහළ යෑම, නියඟයන් වැනි සුවිශේෂී අවස්ථාවලදී විදුලි බිල සංශෝධනය කිරීමට විෂය භාර ඇමැතිවරයාට විදුලිබල පනතින් අවසර ලැබී ඇති බවද මෙහිදී ඇමැතිවරයා අවධාරණය කර තිබිණි. රටේ සහ ලෝකයේ පවතින තත්ත්වයන් අනුව මෙවැනි සුවිශේෂී අවස්ථා වැඩි වනු මිස අඩුවීමක් අපේක්‍ෂා කළ නොහැක. එම තත්ත්වය යටතේ තවදුරටත් විදුලි බිල ඉහළ ගියොත් මේ රටේ ජනතාව ඒ දරා ගන්නේ කෙසේදැයි බලධාරීන් කල්පනා කළ යුතුය. පවතින ආර්ථික අර්බුදය හමුවේ හෙම්බත් වී සිටින මේ රටේ ජනතාව අපමණ කැපවීමක් සිදුකර ඇත. කන බත් පතෙන් පවා දේශපාලනඥයන්ගේ වැරදි වලට වන්දි ගෙවන ජනතාවට තවදුරටත් බිල්පත්වලින් සහනයක් මිස වැඩිවීමක් කිසිසේත් අපේක්‍ෂා කරන්නේ නැත. දැනටමත් තමන්ගේ වැටුපෙන් බිල්පත් පියවීම සඳහා වැඩි මුදලක් ගෙවන ජනතාව තවදුරටත් අසරණ නොකිරීම බලධාරීන්ගේ වගකීමකි. අවම වශයෙන් මෙම ආර්ථික අර්බුදය හමුවේ අන්ත අසරණ වූ ජනතාව ගැන විදිමත් සොයා බැලීමක් සිදුකර ඉන් ඔවුන් මුදා ගැනීමට මානුෂික මෙහෙයුමක් දියත් කළ යුතුව තිබේ. සියලු පව් ජනතාව මත පැටවීම සාධාරණ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment