ලලිත් කොතලාවලගේ මරණයට හේතුව නිව්මෝනියාව උත්සන්න වීම

158

මරණ පරීක්‍ෂණයේදී හෙළි වෙයි

ප්‍රකට ව්‍යාපාරික දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ (85) මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (23 දා) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත්වුණු අතර, ඒ මහතාගේ මරණයට හේතුව ස්වාභාවික හේතූන් බවට තීරණය කෙරුණු බව බම්බලපිටිය පොලිසියේ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

සෙම නරක් වී නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මරණය සිදුව ඇතැයි හෙළි වූ බව ද හෙතෙම කීය. පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්. ආර්. ඒ. එස්. රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් තිදෙනකු ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබූ බව ද එම නිලධාරියා කියා සිටියේය.

කොතලාවල මහතාගේ මරණය සැකසහිත බවට එම පවුලේ ඥාතියකු බම්බලපිටිය පොලිසියට පැමිණිලි කිරීම නිසා ඒ ගැන විමර්ශන ඇරඹූ පොලසිය, අධිකරණය හරහා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට තීරණය කළේය.

ඒ අනුව කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැය 3 කට ආසන්න කාලයක් තිස්සේ සිදු කෙරුණු බවද හෙතෙම කීය. පසුව දේහය කොතලාවල මහතාගේ ළඟම ඥාතීන්ට භාරදීමට පොලිසිය පියවර ගත්තේය.

බම්බලපිටිය පොලිසියේ පොලිස් සැරයන් විමලරත්න මහතා (8764) මෙහිදී පරීක්ෂණ මෙහෙයවීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment