ජොනතන් පුතුගේ මරණයට තණකොළ කපන්නා රිමාන්ඩ් – රැකවරණ නොදුන් සීයාට ඇප

852

යන්ත්‍රයේ තලය වැදී තුවාල වූ විට බෝතල් කටුවලට කැපුනැයි බොරු කියලා

මුල්ලේරියාව හල්වරාව ප්‍රදේශයේ පිහිටි වැඩබිමක් තුළදී අවුරුදු පහමාරක් පමණ වයසැති ජොනතන් මාර්ක් නමැති පිරිමි දරුවා මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සැකකාර තණකොළ කපන්නා ලබන 15 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේවින්ද පෙරේරා මහතා පසුගිය 10 වැනිදා නියෝග කළේය. තලාහේන බතලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රංජිත් පියසිරි නමැත්තා එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

භාරකාරත්වය පැහැර හැරීමේ චෝදනාව යටතේ එම දරුවාගේ සීයාව ද පොලිසිය විසින් ඊයේ (11 දා) අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුගිය අට වැනිදා එම වැඩබිම් භූමිය තුළ තමන් තණකොළ කපමින් සිටියදී අත්වැරදීමකින් තණකොළ කපන යන්ත්‍රයේ තලය එම දරුවාගේ උදරයේ වැදී බරපතළ තුවාල සිදු වූ නමුත් ඇති වූ බිය නිසා ඒ බව වසන් කළ බවට එම සැකකරු ප්‍රකාශයක් ලබා දී ඇතැයි මුල්ලේරියාව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. වීදුරු කටුවලට කැපී බරපතළ තුවාල ලැබූ පිරිමි දරුවකු වැඩබිම් භූමිය තුළ වැටී සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලබා දී ඇත්තේ ද එම සැකකරු විසින් බව අධිකරණය හමුවේ පැවසූ පොලිසිය තමා අතින් සිදු වූ අත්වැරැද්ද වසා ගැනීම සඳහා එම වැඩබිම් භූමියේ තිබූ වීදුරු බෝතල් කිහිපයක් ගෙනවිත් බිඳ දමා වීදුරු කටුවලට කැපී එම දරුවා තුවාල ලැබූ බව පෙන්වීමට අත්සාහ දැරු බව ද සැකකරු එම ප්‍රකාශය මගින් අනාවරණය කර ඇතැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය.

එම දරුවා තුවාල ලැබූ අවස්ථාවේදීම ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගත්තේ නම් එම දරුවාගේ ජීවිතය බේරා ගැනීමේ හැකියාව තිබූ බව ද අධිකරණයට පැවසූ පොලිසිය එම සැකකරුට එලෙස සත්‍ය සඟවා කටයුතු කිරීම සඳහා යම් අයකුගේ මඟපෙන්වීමක් ලැබුණේ දැයි අනාවරණය කර ගැනීම සඳහා ද විමර්ශන සිදුකරනා බව අධිකරණයට පැවසීය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 308 වගන්තිය අනුව ගැනෙන වැරදි එනම් වයස අවුරුදු 12ට අඩු දරුවකු සම්පූර්ණයෙන් ම අතහැර භාරකාරත්වය බැහැරලීමේ චෝදනාව යටතේ මියගිය දරුවාගේ සීයාව අත්අඩංගුවට ගෙන තිබිණි. බාල වයස්කාර දරුවකු සිය භාරකාරත්වයෙන් අතහැර දැමීමේ චේතනාව ඇතිව දෙමාපියන් හෝ භාරකාරත්වය පැවැරී තිබූ යමෙකු කටයුතු කරන්නේ නම් එය අධිකරණ වරෙන්තු නියෝගයක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් වන බැවින් එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණි.

එම සැකකරු ද ඊයේ (11 දා) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුනිමල් ප්‍රසන්ත මහතාගේ උපදෙස් පරිදි විමර්ශන සිදුකෙරිණි.
ඒ. ජේ. ඒ. අබේනායක, කඩුවෙල – සුගත් ප්‍රේමතිලක, ප්‍රියන්ත මද්දුමආරච්චි – මුල්ලේරියාව

advertistmentadvertistment
advertistmentadvertistment