ජාතික සංහිදියාවට සිනමා සාහිත්‍යයක්

438

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව පිළිබඳව ජනවාර්ගික සිනමා සාහිත්‍ය ජනගත කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය විසින් දිවයිනේ සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉලක්ක කර, සෑම මසකම එකම දිනයක, එකම වේලාවක ප්‍රදර්ශනය කෙරෙන නෙල්සන් මැන්ඩෙලා ශූරීන්ගේ සාම ක්‍රියාදාමය ඇතුළත් ෂබඩසජඑමි චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ඊයේ (ජුනි මස 15 දින) ආරම්භ විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

යුද්ධය නිම කර, 2009 න් පසු ශ්‍රී ලාංකේය ජන සමාජය අපේක්ෂා කළ ජාතික සංහිඳියා වැඩසටහන ශක්තිමත් කිරීමෙහි ලා දෙපාර්ශ්වයෙන් සිදු වූ යුදමය ක්‍රියාවන් ඇතුළු සිත් පෑරුණු සිදුවීම් පිළිබඳව සත්‍යය සෙවීමේ කොමිසමක් මගින් හෝ උගත් පාඩම් හා සංහිඳියා ඉදිරි වැඩපිළිවෙළ තුළින් විශ්වාසයක් ගොඩනඟා ගැනීමට රටක් වශයෙන් අපේක්ෂා කළ ද ඒ සියලු අපේක්ෂාවන් බිඳ වැටීමෙන් පසු, 2018 වර්ෂයේ සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් යළිත් වතාවක් ශ්‍රී ලාංකේය ජන සමාජය ජාතීන් වශයෙන් පමණක් නොව, ආගම් වශයෙන් ද භේද බින්න වූ සමාජයක් බවට පත් වීම ජාතික ආරක්ෂාව පමණක් නොව රටේ සමස්ත සංවර්ධනය ද දැඩි අභියෝගයකට සහ පීඩනයකට ලක් වූ බව රහසක් නොවේ.

ජනවාර්ගික අර්බුදය විසඳීමෙහි ලා දීර්ඝකාලීන සාම වැඩපිළිවෙළ

ලෝකයේ ජනවාර්ගික ගැටුම් සහ ආගමික ගැටුම් අධ්‍යයනය කිරීමේදී විවිධ ජන වර්ග, ජන කණ්ඩායම්, කුල ගෝත්‍ර බහුල වශයෙන් පවතින අතර ආගම් වශයෙන් ද පවතින ගැටුම් අධ්‍යයනය කිරීමේදී බහු ආගමික පසුබිමක් දක්නට ලැබේ. එහෙත් ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදය අධ්‍යයනය කිරීමේදී ප්‍රධාන ජාතීන් දෙකක් සහ ප්‍රධාන ආගම් හතරකට සීමා වී තිබීම එහි විසඳුමක් කරා පැමිණීමට තිබෙන සාධනීය අවස්ථාව බැහැර කළ යුතු නොවේ. එමෙන්ම ප්‍රධාන ජනවර්ග දෙක වන සිංහල සහ ජන කොටස්හි සම්භවය උතුරු සහ දකුණු ඉන්දියානු ආභාෂයකින් පැවතීම මෙන්ම එකී ප්‍රධාන ජනකොටස් දෙකෙහි ප්‍රධාන භාෂාව ද ඉන්දු ආර්ය භාෂා ගණයට අයත් වීම එම සමීපතාව වඩාත් තහවුරු කරන්නකි. මෙම ප්‍රධාන ජනවර්ග දෙකෙහි අදහන ප්‍රධාන ආගම් වන බුදු දහම සහ හින්දු දහමෙහි ප්‍රභවය සහ එහි ශාස්තෲවරුන් වන ගෞතම බුදුන් වහන්සේ සහ හින්දු දෙවිවරුන්ගේ ප්‍රභවය ද ඉන්දියාව මුල් කරගෙන සිදු වීම හේතුකොට ගෙන මෙම ජනවර්ග දෙක අතර සංස්කෘතික බැඳීමේ දැඩි බව මනාව පැහැදිලිය.

මෙරට ප්‍රධාන ජාතීන් දෙකෙහි ආගම් අදහන බෞද්ධයින්, හින්දු දෙවිවරුන්ගේ (විෂ්ණු, කතරගම වැනි) ආශිර්වාද පතා කටයුතු කරන අතර, බොහෝ හින්දු කෝවිල් පරිසරයන් තුළ බෝධීන් රෝපණය වී තිබීම ද බෞද්ධ සහ හින්දු ආගම් අතර පවතින සංස්කෘතික වටිනාකම අවබෝධ කර ගැනීමට පවතින සාධනීය සාධකයකි.

කළු සුදු වර්ණවාදය අවසන් කළ දකුණු අප්‍රිකානු සාම මොඩලය

වර්ගභේදවාදයේ පිළිකුල් සහගත ම්ලේච්ඡත්වය ප්‍රකට කළ රටක් ලෙස අපකීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කී දකුණු අප්‍රිකාව, ලෝකයේ වර්ණභේදවාදය පිටු දැකීමේ සාම මොඩලයක් බවට පත්කිරීමේ ගෞරවය හිමිවන්නේ දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාටය. ඔහු වසර 27 ක් සිර දඬුවම් ලබමින් 1994 දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු දශක ගණනාවක් පුරා ජීවිත දහස් ගණන් විනාශ වූ කළු සුදු වර්ණභේදවාදී ගැටුම සමාජ දර්ශනයක් සහිතව කටයුතු කර අවසන් කිරීම ලෝකයේ දැඩි කතාබහට ලක් වී තිබේ. ලෝකයේ වර්ගභේදවාදී සහ ආගම්වාදි ගැටුම් අධ්‍යයනය කිරීමේදී අප්‍රිකානු නිදහස් කොංග්‍රසයේ මැන්ඩෙලා තරම් බැට කෑ වෙනත් නායකයකු නොවන තරමට රොබින් දූපතේ සහ කේප් ටවුන්හි ටොකායි සිර කඳවුරේ වසර 27 ක් සිර දඬුවම සාක්ෂි දරයි. එවන් වෛරීය අත්දැකීම් ගණනාවකට මුහුණ දුන් නායකයකු ජනපති වූ පසු, තමන්ට කෲර වධ හිංසා පමුණුවන ලද එකී ජාතියගෙන් පළි ගැනීම ස්වභාවයක් වන නමුත් මැන්ඩෙලා වැනි විශිෂ්ට දාර්ශනික නායකයෙක් ඒ සියල්ල අමතක කොට, සුළු ජාතිය සහ මහ ජාතිය එකට එක් කිරීම සඳහා දකුණු අප්‍රිකාව දේදුන්නක් සේ නිර්මාණය කිරීමට ඔහු සමත් විය. ඒ සඳහා එක් අංශයකින් දේශපාලනික දාර්ශනික කියවීමක් සුදු – කළු ජනතාවට ලබා දුන් අතරම අනෙක් අංශයෙන් සාමයේ සංහිඳියාව පෙළ ගැස්වීම සඳහා ජනතාවගේ හෘද ස්පන්දනය සමග බැඳුණු ක්‍රීඩාව සහ සිනමාව භාවිත කිරීමට ද හේ අමතක නොකළේය.

ගැටුම් කළමනාකරණය කිරීමේ සාම මොඩලයක් ලෙස ක්‍රීඩාව හා සිනමාව භාවිත කිරීමේ පූර්වාදර්ශය දකුණු අප්‍රිකාවේ ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ලෝකයට දායාද කර තිබේ. ඔහු ක්‍රීඩාව හා සිනමාව ඊට යොදා ගනුයේ මිනිසුන්ගේ සිත් සතන් තුළ ආත්මීය වශයෙන් ආදරය කරන ජීවිතයේ සතුට වෙනුවෙන් භාවිත කරන මනෝභාවයන් සමග සමීප වන මාධ්‍යයන් ලෙස ක්‍රීඩාව ජාති, ආගම්, කුල, ගෝත්‍ර පසෙක ලා විශ්ව මෙවලමක් ලෙස පවතින බැවිනි. සිනමාව ද මිනිස් සිත් සුවපත් කරන, මිනිසුන් අලුත් මිනිසුන් බවට පත් කරන ආත්මීය භාව ප්‍රකාශන මාධ්‍යයක් ලෙස මිනිසුන් ප්‍රිය කරන බැවින් සාමය හා සංහිඳියාව පිළිබඳව මිනිස් මනෝභාවයන් වෙත ආමන්ත්‍රණය කළ හැකි ගුණයක් පවතින බැවින් දකුණු අප්‍රිකානු ජන සමාජයේ සුදු – කළු වෛරය මානව ධර්මතා සහිතව වෙනස් කිරීමට යොදා ගෙන තිබෙන බැවින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික වශයෙන් සමීප සබඳතාවක් පවතින සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වැනි ජාතීන්ට මානව ධර්මතා මත ආමන්ත්‍රණය කිරීමට වඩාත් සුදුසුම මාධ්‍යය සිනමා මාධ්‍ය වන බැවින්, වර්තමාන ජනාධිපතිතුමන්ගේ රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හැරුණ විට වැදගත්ම ක්ෂේත්‍රයක් ලෙස වර්තමානයේ සාමය හා සංහිඳියා වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බැවින් ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනය උදෙසා අධිකරණ අමාත්‍යාංශයේ ජනවාර්ගික ඒකාබද්ධතා අංශය, සාමය හා සංහිඳියා කාර්යාංශය ඒකාබද්ධව රටපුරා ගම්මට්ටමින් සංහිඳියා කමිටු පිහිටුවමින් ගම් තිස් දහසක් ඒකාබද්ධ කර, මිනිසුන් සවපත් කිරීමේ මාධ්‍යයක් ලෙස ජනවාර්ගික සිනමා සාහිත්‍ය ප්‍රවර්ධනය කරනු ලැබේ. මෙහි පළමු වැඩසටහන

පසුගිය සතියේදී නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී පැවැත් වූ අතර මෙහි ප්‍රධාන වැඩසටහන දිවයිනේ සෑම දිසාපති කාර්යාල, ප්‍රධාන ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි රාජ්‍ය නිලධාරීන්, සිවිල් පුරවැසියන්, මාධ්‍යවේදීන්, ස්වෙච්ඡා සේවකයින් සම්බන්ධ කර, ජනවාර්ගික සිනමා සාහිත්‍ය වැඩසටහනක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව යළි ස්ථාපිත කිරීම සඳහා යන මේ දුෂ්කර ගමනේ ආදර්ශ පාඨයක් වූ පහතින් දක්වා ඇති තේමාව සිහි කිරීම වැදගත් යැයි සැලකේ.

“මගේ කළුවර ලෝකයේ ඇත්තේ දසතින්ම වැසී ගිය කළුවරම පමණයි.
එහෙත් මම කෘතඥ වෙමි.
කවුරුන් වුවත් ඒ දෙවිවරු මට ලබා දුන් පරාජය කළ නොහැකි ආත්මය වෙනුවෙන්
මේ ගමන කෙතරම් අමාරුදැයි යන්න වගක් නැත, දඬුවම් පෙළින් පෙළට එන
මගේ දෛවයේ ස්වාමියා මමයි – මගේ ආත්මයේ ස්වාමියා මමයි.”

ජාතික සංහිදියාවට සිනමා සාහිත්‍යයක්


● ආචාර්ය හර්ෂ බී. අබේකෝන්
මාධ්‍ය උපදේශක,
අධිකරණ අමාත්‍යාංශය

advertistmentadvertistment
advertistmentadvertistment