විදුලි බිලට එරෙහිව රට පුරා උද්ඝෝෂණ

51

මාකොළ

වැඩි කළ විදුලි බිල වහා අඩු කරන ලෙසට රජයට බල කරමින් පෙරේදා (22 වැනිදා) රාත්‍රියේ බියගම ආසනයට අයත් මාකොළ වයි හන්දියේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. ජාතික ජන බලවේගයේ බියගම ආසන සංවිධානය මගින් මෙය සංවිධානය කෙරිණි. මෙහිදී උද්ඝෝෂකයෝ විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින්, විවිධ සටන් පාඨ කියමින් හා පන්දම් දල්වමින් මේ උද්ඝෝෂණය පැයකට අධික කාලයක් පවත්වා විසිර යන ලදී. මේ අවස්ථාවට බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන නීතිඥ ලාල් කුමාරපේලි හා ජනිත් චතුරංග ජයකොඩි යන මහත්වරුන් ඇතුළු තුන්සීයක් පමණ දෙනකු එක් වී සිටියහ. එහිදී උද්ඝෝෂකයන් උද්ඝෝෂණයේ යෙදී සිටි අයුරුයි මේ.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

ගම්පොළ උද්ඝෝෂණයට පොලිසියෙන් දැඩි විරෝධය

විදුලි බිලට එරෙහිව රට පුරා උද්ඝෝෂණ

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ගම්පොල දුම්රියපළේ දී පැවති උද්ඝෝෂණයට ගම්පොල පොලිසිය දැඩි විරෝධයක් එල්ල කළහ.
ගම්පොල ජන අරගල සභාව හා සිවිල් ක්‍රියාකාරීන් මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණි. පාගමනින් ගොස් ජනතා අත්සන් ලබා ගැනීම මෙහි මූලික අරමුණ බව මොවුන් ප්‍රකාශ කළහ. එම අවස්ථාවට එක්ව සිටි ගම්පොල පොලිසිය ප්‍රකාශ කළේ පෙළපාලි යෑමට ඉඩ දිය නොහැකි බවයි. විරෝධතාකරුවන් සඳහන් කර සිටියේ ජනතාවගෙන් අත්සන් ලබාගැනීමට ක්‍රියා කරන බවයි. නමුත් පොලිසිය ප්‍රකාශ කර සිටියේ ඔවුන් සිටින ස්ථානයෙන් මදක් හෝ ඉදිරියට ගමන් කළ හොත් සියලු දෙනාම අත්අඩංගුවට ගන්නා බවයි.

ඒ සඳහා ගම්පොල පොලිසියට අයත් ජීප් රථ දෙකක් හා බස් රථයද එම ස්ථානයට ගෙනැවිත් තිබුණි.

විරෝධතාකරුවන් පොලිසියේ අවවාද නොතකා ඉදිරියට යෑමට උත්සාහ කිරීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

ගම්පොල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කර සිටියේය. පෙළපාලි යෑම නීති විරෝධී හෙයින් සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමට සිදුවන හෙයින් ඉදිරියට ගමන් නොකරන ලෙසයි. මෙම ප්‍රකාශ සමග පොලිස් නිලධාරීන් මෙම විරෝධතාකරුවන්ට ඉදිරියට යෑමට නොදී වටකර එම ස්ථානයේ රැඳී සිටි අතර බොහෝ වේලා ඒ අයුරින් සිටි නිසා විරෝධතාකරුවන්ට ඉන් ඔබ්බට ගමන් කිරීමට නොහැකි විය.

අවසානයේ ඔවුන් එම ස්ථානයේ සිටිමින් විරෝධතාවේ නිරත වී ප්‍රකාශ කර සිටියේ විදුලි බිල වැඩි කිරීම ජනතාවට පමණක් නොව පොලිසියටද එය බලපාන හෙයින් මිල වැඩි කිරීමට එරෙහිව කරන හඬනැඟීම මර්දනය කිරීමට ක්‍රියා කිරීම ජනතා විරෝධී ක්‍රියාවක් බවයි.

ගම්පොළ – සුරංග දිල්හාන්

විදුලි බිල වැඩිකිරීමට එරෙහිව පන්දම් විරෝධයක්

විදුලි බිලට එරෙහිව රට පුරා උද්ඝෝෂණ

විදුලිබිල වැඩිකිරීමට විරෝධය පලකරමින් පන්දම් දල්වාගෙන උඩුගම හෝමදොළ ප්‍රදේශයේ දී ඊයේ (22) රාත්‍රි විරෝධතාවයක් පැවැත්විණි. පන්දම් දල්වාගෙන පැමිණි විරෝධතාකරුවන් විදුලිබිල වැඩිකිරීමට එරෙහිව විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ. සමගිජන බලවේගයේ බද්දේගම ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාද මේ සඳහා එක්ව සිටියේය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්

තලවකැලේත් පන්දම් පත්තු කරයි

විදුලි බිලට එරෙහිව රට පුරා උද්ඝෝෂණ

වැඩිකල විදුලි බිලට විරෝධය පාමින් තලවකැලේ නගර මධ්‍යයේ (22) දින රාත්‍රියේ පන්දම් දල්වා විරෝධතාවයක් සිදු කළහ.

සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක අසෝක සේපාල මහතා විසින් මෙම පන්දම් විරෝධතාවය සංවිධානය කර තිබූ අතර, මෙම විරෝධතාවයට දේශපාලන භේදයකින් තොරව තලවකැලේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පන්දම් අතතිව එක් වී සිටියහ.

මෙම විරෝධතාවයේදී මාධ්‍යට අදහස් දැක් වූ අසෝක සේපාල මහතා කියා සිටියේ රටේ ජීවන වියදම ඉහළ ගොස් ඇති අවස්ථාවක යළිත් වරක් 18% කින් විදුලි බිල වැඩි කිරීම ජනතාවට දරාගත නොහැකි බවයි.
වහාම වැඩිකළ විදුලි බිල අඩු කිරීමට රජය පියවර ගත යුතු බවද අසෝක සේපාල මහතා පැවසීය.

ඡායාරූප හා සටහන නුවරඑලිය – නාලක රත්නායක

අනුරාධපුර යාපනය හන්දිය

විදුලි බිලට එරෙහිව රට පුරා උද්ඝෝෂණ

රටේ ජනතාවට විදුලිසර වද්දමින්, අසාධාරණ ලෙස යළිත් වරක් ඉහළ දැමූ විදුලි බිල, වහා පහත හෙලන ලෙසට රජයට බල කරමින් පිරිසක් පෙරේදා (22දා) සවස අනුරාධපුර, යාපනය හන්දිය ප්‍රදේශයේදී විරෝධතාවයක නිරත වූහ.

අධික ලෙස බදු බර වැඩි කරමින්, භාණ්ඩ මිල ඉහළ දමමින්, ජනතාව දැඩි අසීරුතාවයට පත් කරමින් සිටින රජය, යළිත් වරක් විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදී භාණ්ඩ මිල තව තවත් ඉහළ යන බව උද්ඝෝෂකයෝ මෙහිදී පැවැසූහ.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නවරත්න, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් සභික ඩිලානි ප්‍රියංගිකා මහත්මිය, ගොවි ගෙවිලියන් ඇතුළු මහජනතාව විශාල පිරිසක් මේ සඳහා සහභාගි වී සිටියහ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment