ගාල්ල කණ්ඩායම නැෂනල් සුපර් ලීග් ශූරතාවය දිනයි

116

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් සිවුදින තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ගාල්ල කණ්ඩායම ඊයේ (03 වැනිදා) සමත් විය.

මහනුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර පැවැති එම අවසන් මහා තරගයේ ලකුණු 176 ක ඉලක්කයක් හඹා ගිය ගාල්ල ක්‍රීඩකයෝ කඩුලු තුනක් පමණක් දැවී එම ජයග්‍රහණය අත්කර ගත්හ.

පන්දුවාර 27.4 කදී ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය ලබා ගන්නා විට ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 77 ක් ලබා සිටියේය.

මහනුවර සහ ගාල්ල අතර අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදුන් මහනුවර පිල සියලු දෙනා දැවී ලකුණු 316 ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස පිටියට පිවිසි ගාල්ල පිල ලකුණු 304 ක් ලැබීය.

ගාල්ල කණ්ඩායම නැෂනල් සුපර් ලීග් ශූරතාවය දිනයි

මහනුවර කණ්ඩායම වෙනුවෙන් සිතාර ගිම්හාන පන්දු 184කදී හතරේ පහර 7ක් සමග ලකුණු 90ක් ලබා ගැනීමට සමත් විය. ගාල්ල පිලේ අසංක මනෝජ් කඩුලු 3ක් බිඳ හෙලූ අතර, තිලංග උදේශන, ධනංජය ලක්ෂාන් හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිඳ හෙළා ගත්හ. අනතුරුව පන්දුවට පහර දුන් ගාල්ල පිල වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 79ක් ලබා ගැනීමට සමත් වූ අතර, ධනංජය ලක්ෂාන් අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 47කට දැවී ගියේය. රමේෂ් මෙන්ඩිස් පන්දු 118කදී හතරේ පහර 6ක් එල්ල කළ අතර මේ හේතුවෙන් ගාල්ල ලකුණු පුවරුව ඉහළ ගියේය.

එහෙත් දෙවෙනි ඉනිමේදී දරුණු කඩා වැටීමකට ලක් වූ මහනුවර කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 164 කට දැවී ගිය අතර නිශාන් පීරිස් ලකුණු 42 කට කඩුලු 5 ක් බිඳ හෙළීය.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ලකුණු හඹා යෑමේදී ඕෂධට අනගි සහයක් ලබා දුන් අංක තුන පිතිකරු ලක්ෂාන් එදිරිසිංහ පන්දු 57 කදී ලකුණු 56 ක් ලබා ගත්තේය.

තරගාවලියේ වීරයා සම්මානය දඹුල්ල කණ්ඩායමේ සොනාල් දිනූෂට හිමි වූ අතර, අවසන් තරගයේ වීරයා සම්මානය ගාල්ල කණ්ඩායමේ රමේස් මෙන්ඩිස්ට හිමිවිය. තරගාවලියේ හොඳම පිතිකරුවා ලෙස සම සම්මාන දිනා ගැනීමට ගාල්ල කණ්ඩායමේ ඕෂධ ප්‍රනාන්දු සහ පසිඳු සූරියබණ්ඩාර සමත් වූහ.

ගාල්ල කණ්ඩායම නැෂනල් සුපර් ලීග් ශූරතාවය දිනයි

මහනුවර කණ්ඩායමේ වනුජ සහන් හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබීය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී මෙම අවසන් මහා තරගය පැවැත්විණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment