විදුලි පංකාව හිසේ වැදී ශිෂ්‍යයා මියයෑම!

878

පැයකට අධික කාලයක් පමාවී ශිෂ්‍යයා රෝහල්ගත කරලා

පොලිසිය ඒමටත් පෙර පන්ති කාමරය සෝදා දැම්මේ ඇයි?

විදුහලේ අනාරක්ෂිත ස්ථාන තිබුණත් පියවරක් ගෙන නෑ – පාසල් සංවර්ධන සමිතියේ පිරිසක් කියයි

ලෝක ළමා දිනය සමරමින් සිටි පුස්සැල්ලාව හින්දු ජාතික පාසල් සිසුවකුගේ හිසේ විදුලි පංකාවක් වැදී මියගොස් ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ එම පාසලේ 10 වසරේ ඉගෙනුම ලැබූ රාජරත්නම් සදූෂන් නමැති සිසුවායි. මොහු ඩෙල්ටා පුපුරැස්ස, ඩේෂන්වත්ත පදිංචිකරුවෙකි.

ලෝක ළමා දිනය වෙනුවෙන් පෙරේදා (04 දා) එම පාසලේදී සැමරීමක් සිදුකොට තිබූ අතර එය එම පාසලේ ක්‍රීඩාංගණයේ පවත්වා ඇත.

සවස 2ට පමණ මෙම සිසුවා පාසල් පන්ති කාමරයට පැමිණ විදුලි පංකාව වැඩ කරමින් තිබියදී ඩෙස්ක් එකක් මත නැගීමේ දී මෙම විදුලි පංකාව හිසේ වැදී ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.

සිසුවා පුස්සැල්ලාව වහුගපිටිය ග්‍රාමීය රෝහලටත් ඉන්පසු ගම්පොළ රෝහලටත් රැගෙන ගොස් ඇති අතර එහිදී සිසුවා මියගොස් තිබේ.

මේ පිළිබඳව සිසුවාගේ දෙමව්පියන් හා පාසල් සංවර්ධන සමිතියේ පිරිස් ප්‍රකාශ කරන්නේ දරුවා පැයකට අධික කාලයක් ප්‍රමාද වී රෝහල්ගත කර ඇති නිසා මෙම මරණය සිදු වූ බවයි. ගම්පොල රෝහලට රැගෙන ගියද අධික ලේ වහනය නිසා දරුවා මියගොස් ඇති බවද ඔවුහු පවසති. පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික හේමකුමාර මහතා එම දෙමාපියන් සිද්ධිය වූ ස්ථානයට කැඳවා මෙම විදුලි පංකාව හා පන්ති කාමරය පෙන්වා දෙන ලදී.

මෙම සිදුවීම පාසල් පාලනාධිකාරිය විසින් වසා දැමීමට ක්‍රියාකර ඇතැයි සියලු දෙනාට චෝදනා කරමින් පාසල වෙතද පැමිණ කලහකාරීව හැසිරුණු පිරිස් පාලනයට පොලිසිය පියවර ගත්තේය.

සිසුවාගේ හිස විදුලි පංකාවට වැදී කැපී ලේ වහනය වී තිබිම හා පොලිසිය ඒමට පෙර ඔවුන් එම පන්ති කාමරය සෝදා දැමීමෙන් එය වසා දැමීමට උත්සාහ කළ බවටද මොවුන් චෝදනා කර සිටිති. එසේම මෙම පාසලේ බොහෝ ස්ථාන සිසුන්ට අනාරක්ෂිතව ඇති බව පවසන දෙමව්පියන් ඒ බව පාසල් පාලනාධිකාරියට පෙන්වා දුන්නද ඔවුන් එය සැලකිල්ලට නොගන්නා බවද චෝදනා කර සිටිති.

පාසලේ පන්ති කාමර තුළ අනාරක්ෂිත අයුරින් විදුලි රැහැන් ඇද තිබීම, සමහර ස්ථානවල කපා දමා ඇති යකඩ කම්බි තිබීමද දැඩි අනාරක්ෂිතව බව ඔවුන් පෙන්වා දුන්නේය. එම විදුහලේ විදුහල්පති සිවනේෂන් චන්ද්‍ර මොහාන් පැවසුවේ, ක්‍රීඩා පිටියේ තිබූ උත්සවය අවසානයේ දරුවන්ට සංග්‍රහයක් කිරීම සඳහා පංති භාර ගුරුතුමිය දරුවන්ව පංතියට යවා ඒවා බෙදාගෙන කෑමට සැලස්වුවා. කෑමෙන් පසු වතුර බීමට මියගිය දරුවා වතුර බෝතලය රැගෙන සූදානම් වී කිසියම් හේතුවක් මත ඩෙස්ක් එකට පය තබා නගින්න උත්සහ කළ විට පහත මට්ටමේ තිබූ විදුලි පංකාව ඔහුගේ හිසේ වැදී තිබෙනවා යැයි පැවසීය.

සිසුවාගේ මරණ පරීක්ෂණය ගම්පොළ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.

නෝමන් පලිහවඩන සහ ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment