නෙස්ලේ ලංකා සමාගම සහ පොල් වගාකිරීමේ මණ්ඩලය එක්ව නෙස්ලේ පොල් වගා සැලසුම හරහා තවත් ග්‍රාමීය පවුල් 500කට ප්‍රතිලාභ සලසයි

83

නෙස්ලේ ලංකා සමාගම මගින් ක්‍රියාත්මක කරන සුවිශේෂී ප්‍රජා සංවර්ධන වැඩසටහනක් වන නෙස්ලේ පොල් වගා සැලසුම, තවත් ග්‍රාමීය පවුල් 500කට ප්‍රතිලාභ සලසමින් මධ්‍යම පළාතට ව්‍යාප්ත කිරීමට පියවර ගැනුණි. ශ්‍රී ලංකා පොල් වගාකිරීමේ මණ්ඩලය හා එක්ව අඛණ්ඩව හත්වැනි වසරටත් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් මේ වනවිට 4,500කට අධික ගෙවතු පොල් වගාකරුවන්ට දෙමුහුන් පොල් පැළ සහ වෙනත් උපකාර ලබාදී තිබේ. ශ්‍රී ලංකාව තුළ පොල් වගාව වැඩිදියුණු කිරීම එහි පරමාර්ථය වන අතර, දිවයින පුරා ප්‍රදේශ රැසක ආදර්ශ ගොවිපොළ පිහිටුවමින්, ප්‍රතිලාභීන් අතර පොල් වගාව ආශ්‍රිත සම්මත භාවිතයන් ප්‍රචලිත කිරීමට ද මෙම වැඩසටහන යටතේ පියවර ගෙන තිබේ. එම ගොවිපොළවල් නිකවැරටිය, කැබිතිගොල්ලෑව, අරලගංවිල, හොරොව්පතාන, කන්තලේ සහ අරන්තලාව යන ප්‍රදේශවල සහ හත්වැනි සහ නවතම ආදර්ශ ගොවිපොළ කණ්ඩලම ප්‍රදේශයේ ද ඉදිකොට ඇත.

ග්‍රාමීය පවුල්වලට සහාය වීම වෙනුවෙන් නෙස්ලේ පොල් වගා සැලසුම තවදුරටත් ව්‍යාප්ත කිරීමට හැකිවීම ගැන මම ඉතා සතුටට පත්වන අතරම, ඒ පිළිබඳව නෙස්ලේ සමාගමට බෙහෙවින් කෘතවේදී වෙනවා. ගෙවුණු වසර ගණනාව පුරා, සාම්ප්‍රදායක පොල් වගා නොකරන ප්‍රදේශවල පොල් වගාව දිරිගැන්වීමට මෙම වැඩසටහන විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. ඒ වගේම, වගා තාක්ෂණික ක්‍රම, අභියෝග සහ පොල් වගාව ආශ්‍රිත නව කරුණු අනාවරණය කර ගැනීමටත් මෙම වැඩසටහන ඔස්සේ සිදුවූ දැනුම් හුවමාරුව උපකාරී වී තිබෙනවා, යනුවෙන් මෙම රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතා වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපතිනි මාධවී හේරත් මහත්මිය පැවසුවාය.

මෙම දිගුකාලීන පොල් සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ පොල් වගාව වැඩිදියුණු කිරීම සඳහා අපගේ නොසැලෙන කැපවීම පිළිබිඹු කරනවා. ශ්‍රී ලංකාවේ විශාලතම පිටිකළ පොල් කිරි අපනයනකරු ලෙස, අප විසින් පොල් සපයා ගනු ලබන දහස් ගණන් ගොවීන්ට අමතරව රටේ විවිධ ප්‍රදේශවල ගෙවතු වගාකරුවන්ට ආධාර කිරීමට හැකිවීම ගැන මම බෙහෙවින් ආඩම්බර වෙනවා. පොල් වගාකිරීමේ මණ්ඩලය සහ අපගේ නෙස්ලේ පොල් වගා සැලසුමට සම්බන්ධ පවුල් සමග එක්ව, පරිසරයට ද යහපත්වන පුනර්ජනනීය කෘෂිකාර්මික භාවිතයන් ඇතුළු සම්මත භාවිතයන් අනුගමනය කරමින් මෙම අගනා බෝගයේ සැබෑ වටිනාකම මතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ජීවනෝපාය වැඩිදියුණු කරමින් දේශීය පොල් කර්මාන්තයට මෙන්ම ආර්ථිකයට ද සෞභාග්‍යමත් අනාගතයක් උදාකර දෙමින් පොල් වගාවෙන් ස්වයංපෝෂිත තත්ත්වයක් ළඟාකර ගැනීමට සහායවන මෙම වැඩසටහන පිළිබඳව අපි ආඩම්බර වෙනවා, යනුවෙන් නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටෙෆන් මහතා පැවසුවේය.

නෙස්ලේ ලංකා සමාගම වසර 115ක් මුළුල්ලේ ශ්‍රී ලංකාව තුළ කටයුතු කර ඇත. රට පුරා මධ්‍යම සහ මහා පරිමාණ ගොවීන් 8,000කට වැඩි සංඛ්‍යාවකට සහාය දක්වන සමාගම, දේශීය පොල් කර්මාන්තයට රුපියල් බිලියන ගණනක ආදායමක් උත්පාදනය කර ඇත. එමෙන්ම ග්‍රාමීය ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් ද සමාගම අඛණ්ඩව ක්‍රියාකර තිබේ. පසුගිය වසර කිහිපය තුළ පැවති දුෂ්කරතා මධ්‍යයේ වුව ද, නෙස්ලේ සමාගම අඛණ්ඩව පොල් මිලදී ගැනීමෙහි නිරත වූ අතර, වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 90කට අධික ප්‍රමාණයක් ගොවීන්ගෙන් මිලදී ගැනීම වෙනුවෙන් 2021 සහ 2022 වසරවලදී පිළිවෙළින් රු. බිලියන 6ක් සහ රු. බිලියන 6.8ක් වැයකර තිබුණි. 2022 වසරේදී නෙස්ලේ ලංකා සමාගම රුපියල් බිලියන 14.3ක අපනයන ආදායමක් සමඟින් ශ්‍රී ලංකා ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් සපයා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment