800 බලන්න මාත් එනවා – මුරලි දිවයිනට කතා කරයි

263

මේකත් මගේ ජීවිතයේ එක කඩඉමක්

ලොව බිහි වූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව පාදක කරගෙන නිර්මාණය කරන ලද 800 චිත්‍රපටය අද සිට ලොව පුරා සිනමාහල්වල තිරගත කිරීමට නියමිතය. දමිළ සිනමාවේ සුප්‍රකට අධ්‍යක්ෂවරයකු වන එම්. එස්. ශ්‍රීපතිගේ සිනමා නිර්මාණයක් වන 800 තිර රචනය ද එම්. එස්. ශ්‍රීපති සහ ෂෙහාන් කරුණාතිලක විසින් සිදුකර ඇත.

මුරලිගේ චරිතයට පණ පොවන්න විජය සේතුපති තෝරා ගෙන තිබුණත් තමිල්නාඩුවේ ඇතැම් පාර්ශ්වයන්ගේ දැඩි බලපෑම් මත සේතුපති ඉන් ඉවත්වීමට තීරණය කරන ලදී. ඒ අනුව ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයට පත් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ Slumdog millionaire චිත්‍රපටයේ සලීම්ගේ චරිතයට පණ පෙවූ මධූර් මිට්ටාල්, මුරලිගේ චරිතයට රංගනයෙන් දායක වෙති. 800 චිත්‍රපටය අද (06 වැනිදා) සිට භාෂා හතරකින් ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන අතර 800 සිනමා නිර්මාණය ලංකාවට ගෙනැවිත් බෙදාහරිනු ලබන්නේ ලයිකා නිෂ්පාදන සමාගම සමග ඊ. ඒ. පී. සිනමා මණ්ඩලය විසිනි. ලොවපුරා මෙම චිත්‍රපටය තිරගත වන අද දිනයේදී විශේෂ මංගල දර්ශනයක් වැල්ලවත්ත රොක්සි සිනමාශාලාවේදී සවස 7.00 ට සිදු කිරීමට නියමිතය. ඒ සඳහා 96 ලෝක ශූරයන්ද සමග අපේ රටේ ජනප්‍රිය ක්‍රිකට් තරු, සිනමා හා ටෙලි තරු රැසක් සහභාගි වීමට නියමිතය. ඉතිං අද දවස මුත්තයියා මුරලිදරන් නමැති ක්‍රිකට් ක්‍රීඩකයාට සුවිශේෂී දිනයකි. ඒ මන්ද යත් ඔහුගේ ජීවිත කතාව සිනමාවට නැගීම හේතුවෙනි. ඒ වෙනුවෙන් මුත්තයියා මුරලිදරන් ‘දිවයින’ සිනමා කලා වෙත ඉන්දියාවේ ගුවන් ගමනක් යෙදෙන අතරතුරදී කෙටි පිළිසඳරක යෙදුණි. ඔහු අද (06 වැනිදා) ලංකාවට පැමිණීමට නියමිතය.

800 බලන්න මාත් එනවා - මුරලි දිවයිනට කතා කරයි

● මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අද සිට ලොව පුරා තිරගතවීම ඇරඹෙනවා. ඇත්තටම ඔබට මොකද මේ වෙලාවේ හිතෙන්නේ ?

ඉන්දියානු සිනමාවෙන් ඇවිත් මා ගැන චරිතාපදාන සිනමාපටයක් නිර්මාණය කිරීම පිළිබඳව. මොකද ඇත්තටම මේ වෙනකම් ලංකාවේ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ජීවිත කතාව පාදක කරගෙන සිනමා නිර්මාණයක් කරලා තිබුණේ නැහැ. මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණ නිසාම මට ඒ අවස්ථාව ලැබීම ගැන සන්තෝෂ වෙනවා.

● වැල්ලවත්ත රොක්සි සිනමාශාලාවේදී අද දැවැන්ත මංගල තිරගත කිරීමක් සිදුකරනවා නේද?

ඒ ගැන සතුටු වෙනවා. ශ්‍රී ලාංකිකයෙක් විදිහට මම කොහොමත් පෙනී සිටියේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට. ඉතිං මට මේ හැමදේම ලැබෙන්නේ මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණ හින්දයි. ඉතිං මම හිතනවා ඒකත් මගේ ජීවිතයේ තවත් සුවිශේෂී අවස්ථාවක් කියලා.

● 96 ලෝක ශූරයන් ඔබේ ජීවිත කතාව නරඹන්න එනවාද?

ඔව්. අනිවාර්යයෙන්ම. ලංකාවේ මේ වෙනකොට බොහෝ ක්‍රීඩකයොත් නැහැ. නමුත් අර්ජුන රණතුංග ඇතුළු අනෙකුත් සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන් මේ වෙලාවේ පැමිණීමට නියමිතයි. බොහෝ දෙනෙක් විදේස තරගාවලිය සඳහා වගේම අනෙක් වැඩකටයුතු සඳහා විදෙස්ගතවෙලයි ඉන්නේ. ලංකාවේ ඉන්න සියලුම දෙනා එනවා.

● ඔබේ ජීවිත කතාව සිනමාවට නැගීම ගැන මොකද හිතන්නේ ?

මේ හැමදේම ක්‍රිකට් හින්දා තමයි ලැබෙන්නේ. ඉතිං ඒ ගැන සතුටුයි.

● ඔබේ ජීවිත කතාව සිනමාවට නගනවාට බිරිඳ කැමැති වුණාද?

ඔව්. ඔව්. එයා කැමැතියි. එයාගෙන් කිසිම විරුද්ධත්වයක් නැහැ.

● 800 රූගත කිරීමේදී මුහුණදුන් අත්දැකීම් ගැනත් කථා කළොත් ?

ඇත්තටම ඒ වෙලාවේ අපි සඳහන් කරන්නම ඕනෑ ශ්‍රී ලංකා පොලීසිය. මොකද ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම තමයි ලංකාවේ පුරවැසියන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා. මේ සිනමා නිර්මාණයට ශ්‍රී ලංකාවේ නළු නිළියන් 60 දෙනෙකු පමණ සහභාගි වෙනවා. ඔය අතරේ එරල් කෙලී නමැති ජාත්‍යන්තරයට ගිය කලා අධ්‍යක්ෂවරයාද මෙහි දී විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.

800 බලන්න මාත් එනවා - මුරලි දිවයිනට කතා කරයි

● ඔබේ චරිතය විජය සේතුපති වෙනුවට මධූර් මිට්ටාල් රංගනයේ යෙදෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ ?

ඒකට තමයි ඉරණම කියන්නේ. එයාට ඒක ලැබෙන්න තිබිලා තියෙනවා. ඒ හින්දා ඒ චරිතය ඔහුට ලැබුණා. මම හිතනවා ඔහු ඒ චරිතය හොඳින් රඟපාලා තියෙනවා කියලා.

● ඔබට මේ චරිතය රඟපාන්න කිව්වා නම් මොකද කරන්නේ ?

මම රංගන ශිල්පියෙක් නෙමෙයිනේ. ඒ හින්දා මම කොහොමත් රඟපාන්නේ නැහැ. අනෙත් එක මට රඟපාන්න බැහැ කියලා මම දන්නවා. ඒ හින්දා මම මේක කරන්න යන්නේ නැහැ. මම ක්‍රිකටර් කෙනෙක්.

● ඔබේ ක්‍රිකට් ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?

මට සන්තෝෂයි. මම රට වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. මේකත් මගේ ජීවිතයේ එක කඩඉමක් විදිහට සලකනවා.

● දිනේෂ් විතාන

800 බලන්න මාත් එනවා - මුරලි දිවයිනට කතා කරයි
advertistmentadvertistment
advertistmentadvertistment