ගනේමුල්ල සංජීවගේ ගිනි අවි මුල්ලේරියාවේ ලඳු කැලෑවක සිරමැදිරියට සීසීටීවී සවි කරයි

775

ගනේමුල්ල සංජීව නමැති පාතාල නායකයා විසින් මිනිස් ඝාතන සඳහා යොදාගත් බවට සැකකරන මයික්‍රෝ වර්ගයේ පිස්තෝල 02 ක් සහ ජීව උණ්ඩ සහිත මැගසින් 02 ක් මුල්ලේරියාව කුමාර මාවතේ ලඳු කැලෑවක සඟවා තිබියදී පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (04 දා) රාත්‍රී සොයාගෙන ඇත.

වීරඟුල පොලිසියේ දැඩි රැකවරණ මධ්‍යයේ රඳවා සිටින ගනේමුල්ලේ සංජීවගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත මෙම ස්වයංක්‍රීය පිස්තෝල දෙක සහ මැගසින් දෙක සොයා ගැනීමට හැකි විය.

මෙම ආයුධ පාකිස්ථානයෙන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන එවැනි රටකින් ගෙන එන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. මේ අතර ප්‍රශ්න කිරීම් සඳහා ගනේමුල්ලේ සංජීව රඳවා සිටින වීරඟුල පොලිසිය වෙත දැඩි ආරක්ෂාවක් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.

පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් ද ඒ සඳහා යොදවා තිබේ.

පොලිසිය සහ ඒ අවට ප්‍රදේශවල මාර්ග බාධක යොදා ඇති අතර සංජීව රඳවා සිටින සිර මැදිරියට සී. සී. ටී. වී කැමරා සවිකර ආරක්ෂාව ලබා දී ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment