සිරිපාදේ විදුලි බිල අපි ගෙවලත් නෑ ගෙවන්නෙත් නෑ

972

පූර්වාදර්ශ නැතිව කිසිවක් කරන්න බෑ
විදුලිය නැත්නම් ජෙනරේටරයකින් මළුවට එළිය දෙනවා
ශ්‍රීපාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ කියති

ශ්‍රීපාදස්ථානයේ විදුලි බිල කිසිම දවසක අපි ගෙවලා නැහැ. ගෙවන්නෙත් නැහැ. ශ්‍රී පාදමළුවට වන්දනා කරන්න එන ප්‍රධාන මාර්ග තුනක් තියෙනවා. එහි ජනතාව පාගමනින් දිවා රාත්‍රියේ ගමන් කරන්නේ. විදුලිය එම ජනතාවගේ අවශ්‍යතාවයක්. 1947 දී මේ විදුලිය ශ්‍රීපාදස්ථානයට රජය මගින් දුන්නේ විදේශ ඉංජිනේරුවන්ට වසර 20 කාලයක නිමකරන්න බැරි වූ ලක්ෂපාන විදුලි බලාගාරය අපේ ඉංජිනේරුවරු සමන් දෙවියන්ට භාරයක් වෙලා පහන් ලක්ෂයක් දැල් වූ හෙයින් තමයි ලක්ෂපාන නමින් නම් වූයේ. එය මෙතෙක් සිදු වූවා. ඔබතුමාලට පාඩු නම් විදුලිය කපන්න. මාස 6 ටම උඩමළුවට ජෙනරේටරයකින් විදුලිය දෙන්න මට පුළුවන් යැයි ශ්‍රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ 24 වැනිදා පැවසූහ.

නාහිමියන් එසේ පැවසුවේ 2023/2024 මෙවර ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීම නිමිත්තෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන හා ස්වේච්ඡා සංවිධාන සමග පැවැති පළමු සම්බන්ධීකරණ රැස්වීමේ ලංකා විදුලි බලමණ්ඩලය වෙනුවෙන් සහභාගී වූ රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන විදුලි ඉංජිනේරුවරයා පසුගිය වසරේත් විදුලිය ලබා ගැනීම වෙනුවෙන් හිඟ මුදලක් ඇති බවත් එය මේ වන විටත් ගෙවීමට එකඟ වී තිබෙන හෙයින් මෙවර ශ්‍රීපාද වන්දනාවාරයට අවශ්‍ය විදුලි පහන්, වයර් සහ සේවක මණ්ඩලය දැනටමත් වෙන්කර ඇති බවත් වැයවන විදුලි බිල ගෙවීමට අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙසත් ඉල්ලූ අවස්ථාවේදීය.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙය පැවැත්විණි.

මෙහිදී ශ්‍රීපාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ වැඩිදුරටත් මෙසේ ද පැවසූහ.

“ශ්‍රීපාද මළුවට ලබා දෙන විදුලිය අපි ඉල්ලලා ගත්තු එකක් නොවේ. හිටපු නායකයින් ලක්ෂපාන විදුලි බලාගාරය තියෙන තුරු, විදුලිබල මණ්ඩලය පවතිනතුරු ශ්‍රීපාදස්ථානයට විදුලිය ලබා දෙනවා යැයි පොරොන්දුවක් වී කරගෙන එන එකක්. ඒ අනුව දායකයෙක්වත්, වෙන නායක හාමුදුරුවෝ කෙනෙක්වත් මෙතෙක් ශ්‍රීපාදස්ථානයේ විදුලිබිල ගෙවලා නැහැ. මට පූර්වාදර්ශයක් නොමැති කිසිවක් කරන්න බැහැ.”

එළඹෙන ශ්‍රීපාද වන්දනාවාරයට පහසුකම් සැපයීමට ආරක්ෂක, සෞඛ්‍ය, ජල සැපයුම්, සනීපාරක්ෂක ඇතුළු අංශවල බලධාරීහු තම වගකීම් පිළිබඳ මෙහිදී සාකච්ඡා කළහ.

2023/2024 මෙවර ශ්‍රීපාද වන්දනා වාරය දෙසැම්බර් 26 වැනිදා උඳුවප් පෝය දිනයෙන් ආරම්භ වී 2024 වෙසක් පෝය දිනයෙන් අවසන් වීමට නියමිතය.

ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහ විහාරස්ථානයේ තැන්පත් කර ඇති ඓතිහාසික සමන්දේව ප්‍රතිමාව මෙන්ම සධාතුක කරඬුව සමග දේවාභරණ දෙසැම්බර් 24 දින සවස පහේ සිට සැදැහැවතුන්ගේ වන්දනාව උදෙසා අවස්ථාව සලසා දී ඇති අතර පසු දින එනම් දෙසැම්බර් 25 වැනිදා අලුයම 4. 30 ට එය අවසන් කිරීමට නියමිතය.

පසුව අවිස්සාවේල්ල හරහා හැටන්, පලාබද්දල, එරත්න සහ බලංගොඩ හරහා පෙරහැර හතරකින් ශ්‍රීපාදමළුව කරා ඓතිහාසික සමන්දේව ප්‍රතිමාව, සධාතුක කරඬුව සහ දේවාභරණ වැඩම කිරීමට නියමිතය.
කිරිඇල්ල – ඩී.කේ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment