ඔක්තෝබර් මාසය පුරා ග්‍රහ මාරුවීම් හතක් – ඔබේ ලග්නයට කෙසේද?

5871

2023 එනම් මේ වර්ෂයේ ඔක්තෝබර් මාසය ජ්‍යොතිෂමය වශයෙන් විශේෂ අවධානයක් හිමිවන මාසයකි. එනම් මේ මාසය තුළ ග්‍රහ මාරුවීම් හතක් සිදුවන කාලයකි. වසර එකහමාරකට පමණ පසු රාහු මීන රාශි ගත වෙයි. ඒ සමග කේතු කන්‍යා රාශි ගත වෙයි. එසේම ග්‍රහ ලොවේ සෙන්පතියා වූ කුජ ඔක්. 03 දා තුලා රාශි ගත විය. ග්‍රහලොව සුකොමලිය වූ සිකුරු ඔක්. 02 දා සිංහ රාශි ගත වූවාය.

විශ්ව නායක වූ රවි ඔක් 01 කන්‍යා රාශි ගත විය. එසේම එම රවි ඔක්. 18 තුලා රාශි ගතව නීච බවට පත්වෙයි. බුධ ග්‍රහයා ඔක්. 02 කන්‍යා රාශි ගතව භද්‍රා යෝගය උදා කරයි. නැවතත් එම බුධ ඔක්. 19දා යළි තුළා රාශි ගත වෙයි.

මෙලෙස ග්‍රහ මාරුවීම් හතක් එකම මාසය තුළ සිදුවෙද්දී වලයාකාර සූර්ය ග්‍රහණයක් ඔක්. 14 වැනිදා කන්‍යා රාශිය තුළ සිත නැකැතේ 2 පාදය තුල සිදුවෙයි. එසේම ඔක්. 28 වන දින අර්ද්‍ර චන්ද්‍ර ග්‍රහණයෙන් මීන රාශියේ රේවතී නැකතේ 3 වන පාදය තුළ සිදුවෙයි.

විශේෂයෙන් මේ සිදුවීම් එකම මාසයක් තුළ සිදුවීම පොදුවේ අප රට කෙරෙහි අසුබ පිහිටීමකි. රටේ ආර්ථික තත්ත්වය සතුටුදායක බවක් ඇති නොවේ. බඩු මිල තව තව ඉහළ යා හැකි අතර ජනතා ජීවන තත්ත්වයන් දුර්වල කරයි. රාජ්‍ය නායකයින් යම් යම් රැවටීම් රාජ්‍ය මට්ටම්වලින්ම ඇතිවී යම් ආකාර රැවටීම්වලට ජාත්‍යන්තර වශයෙන් ලක්විය හැක.

පොදුවේ ලග්න 12ට මෙය බලපාන්නේ කෙසේ දැයි විමසා බලමු.

මේෂ:
රාහු මහ දශාව ගෙවන අයට තරමක් අසුබය. නමුත් උත්පත්ති කේන්ද්‍රයේ විදේශ ගමන් යෝග ඇත්නම් ඒවා සඵලවීමට ඉඩකඩ තිබේ. බුධ රවි දශා ගෙවන අයට තරමක් අසුබ ඇති කරයි. කුජ දශා ගෙවන අයට අනියම් කම් සැප ලැබීමේ ඉඩකඩ ඇත. නමුත් කරදර පීඩා නොවැම්බර් 16 දක්වා ඇති විය හැකිය. සෙසු දශා ගෙවන අයට මිශ්‍ර ඵල සහිත කාලයකි.

වෘෂභ:
රාහු මහ දශා ගෙවන අයට ඉතා සුභ කාලයකි. මුදල් අතින් දියුණුවත් තම අදහස් ප්‍රකාරව ඉටුකර ගැනීමටත් හැකියාව ලැබේ. උත්පත්තියෙන් ද රාහු 11 සිටියේ නම් සුබඵල වඩාත් ඇති කරයි. කුජ මහ දශාවේ සිටින අයටත් ධනලාභ ආදියට හේතුයි. සතුරු කරදර දුරුවී යයි. බුධ මහ දශාව ගෙවන අයට මඳක් අසුබය. ගනුදෙනු ආදියේදී තමාගේ වැරැදීම් නිසා ආරවුල් මතුවිය හැක. සෙසු දශාවලට මධ්‍යස්ථ ප්‍රතිඵල ගෙන දේ.

මිථුන:
රාහු මහ දශාව ගෙවන අයට අන් අය සමඟ අවුල් ඇති වෙයි. ධන හානි ඇති බැවින් කල්පනාකාරී විය යුතුය. රැකී රක්ෂාවලට එතරම් බාධක ඇති නොවේ. මේ කාලය ඉතා සංයමයෙන් පාලනය කරගත් සිතකින් කටයුතු කළ යුතුය. කුජ මහා දශාව ගෙවන අයත් ඉතා සංයමකින් සිත හසුරුවා ගත යුතුය,

කටක:
කරන කියන වැඩ කටයුතු සේම අලුතින් අරඹන වැඩ ද සාර්ථක වේ. ධන ලාභත් දියුණුවත් උදා කරයි. නමුත් සෙනසුරුගේ අෂ්ඨම ඒරාශ්ටකය කටක ලග්න හිමියන්ට පවතින නිසා ඒ සුබඵල වලට බාධක ඇති කළ හැකිය. එනිසා සෙත් ශාන්ති කර ගන්න. සෙසු දශා ගෙවන අයට මධ්‍යස්ථ ඵල උදා කරයි.

සිංහ:
රාහු මහ දශාව ගෙවන්නේ නම් ඉතා අසුභ කාලයකි. අනතුරු ආදිය ඇතිවීමටත් හොඳට ඉඩකඩ ඇති නිසා කල්පනාකාරී වන්න. බුධ මහ දශාව ගෙවන අයට නම් ධන ලාභ ඇති කරයි. ආදායම් වැඩිවෙයි. වඩා උසස් තත්ත්වයකට පත්විය හැකි වෙනස්වීමක් ඇති විය හැක.

කන්‍යා:

කන්‍යා ලග්න හිමි ඔබ බුධ මහ දශාවේ සිටී නම් නොයෙක් දේවල් ගැන අදහස් වෙනදාට වඩා සිතට ඇති වෙයි. ඉගෙනීමේ යෙදේ නම් එම තත්ත්වයේ ද වෙනසක් කිරීමට අදහස් ඇති ිවෙයි. රාහු මහ දශාවේ නම් වසර එකහමාර තුළ ඔබට සැප දුක් සහිත දෛවයක් උදා කරයි. වැඩි වශයෙන් සිත අවුල් ඇති කළ හැකිය. ඒ හරහාද තම වැඩ කටයුතුවලට යම් යම් අසුබතා මතු කළ හැක.

තුලා:

කුජ ලග්නගතව සිටී. ඔබ කුජ මහ දශාව ගෙවන අයෙක් නම් සාමාන්‍යයෙන් ලෙඩ දුක් ඇතිකරන කාලයකි. සුළු සුළු අසනීප ගති තමා තුළ ඇතැයි දැනේ. හිසට උෂ්ණාධික ගති බලපායි. කලකෝළාහල බහින්බස්වීම් ආදියට නොයා සිටිය යුතු කාලයකි. ඔබ රාහු මහ දශාව ගෙවන්නේ නම් වෙළ හෙළඳ ව්‍යාපාරයක් නම් වඩා සුබය. සෙසු දශා සුබා සුබ මිශ්‍රව ලැබේ.

වෘශ්චික:

මේ දිනවල ඔබේ ලග්නයේ 4 වැන්නේ සෙනසුරු ගමන් කරන නිසා සෑම අතකින්ම සිතට පීඩා දායක බව ඇති කරයි. බුධ මහ දසාවේ සිටීනම් සෑම අතකින්ම සුබ දායකය.දියුණුවට කටයුතු මුදල් ලාබ ඇති කරයි. නමුත් සෙනසුරු 4වැන්නේ සිටීම එයට යම් පමණකින් බාධා ඇති කරයි. ඔබ රාහු මහ දශාව ගෙවන්නේ නම් මිල මුදල් අතින් වඩාත් සුබ නොවේ. වියදම් අධික කරයි. ලැබීම් අඩු කරයි. නමුත් සෙත් ශාන්ති කටයුතු කිරීමෙන් යහපත සලසා ගත හැක.

ධනු:

ඔබ බුධ මහ දශාවේ නම් ධන ලාබ – මිල මුදල් ලැබීම් යහපත් වේ. සතුරු කරදරවලින් මිදීම ලැබේ. වාසනාවන්ත කාලයකි. ඔබ රාහු මහ දශාවේ නම් නරක වැඩට ඇබ්බැහිකම ඇති ිවෙයි. ඒ තුළින් අපවාද අසන්නට සිදු වේ. මව්පිය වැඩිහිටියකුට විෂ මිශ්‍ර රෝග බාධා ඇතිවිය හැක. බඩු මූට්ටු උගස් තැබීම් වැනි තත්ත්වයක් ද ඇති විය හැක.

මකර:

ඔබ කුජ මහ දශාව ගෙවන කෙනෙක්නම් තම ස්ථානයේ හෝ වැඩකටයුතුවල වෙනසක් ඇතිවිය හැක. ඒ ගැන සැළකිලිමත්ව කටයුතු කළහොත් ඒවා තම යහපතට හරවා ගත හැකිය. ඔබ රාහු මහ දශාව ගෙවන්නේ නම් වෙළ හෙළඳ ව්‍යාපාරවලට ඉතා සුබදායක කාලයකි. ඉතා ලාබ ඉපයිය හැක. බඩු බාහිරාදිය ලබාගත හැකි කාලයකි. ඔබ බුධ මහ දශාවේ නම් රෝග බාධා ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න.

කුම්භ:

දැන් සෙනසුරු ලග්න ඒරාශ්ටක වී තිබේ. කුම්භ ලග්නය නිසා අනෙක් ලග්නවලට මෙන් අපල, තද බලපෑම් නොවේ. නමුත් අපල කාලයකි. ඔබ රාහු මහ දශාවේ නම් මිල මුදල් අතින් කරදර ඇති වේ. නිශ්ඵල වියදම් ඇතිවිය හැක. එසේම සොර සතුරන් ඔබේ ධනය සොරා ගත හැක. අනුන්ට මුදල් ණයට දුන්නොත් ඒවා ආපසු ඔබට නොලැබේ. ඔබ බුධ මහ දශාවේ නම් බලාපොරොත්තු වන දේවල් හා කරගෙන යන වැඩ වලින් දියුණුව ඇති වේ. මුදල් පිළිබඳ ලාබ ද ඇතිවිය හැක. ඔබගේ බුධ සිටින්නේ 08 වැන්න තුළය. එසේම කේතුද එම බුධට සම්බන්ධ නිසා තරමක් හෝ එම වැඩවලින් පාඩු ද ඇති විය හැක. එනම් ඒ කියූ පරිදි සිදුවීමට බාධා ඇතිවිය හැක.

මීන:

ඔබ කුජ මහ දශාවේ නම් අසුබය. සිත්තැවුල්, කනගාටු, බලාපොරොත්තු කඩවීම් ඇති විය හැක. උණ, තුවාලවීම්, අසුබ ඇතිවිය හැක. අනතුරු ඇතිවිය හැක. නොවැ. 16 දක්වා ප්‍රවේශම්වීම යහපත්ය. ඔබ රාහු මහ දශාවේ නම් මීන රාශිය රාහුට සම්පූර්ණ සුබ නැත. තමා කරන වැඩ කටයුතුවල දියුණුව සාමාන්‍ය තත්ත්වයෙන් පවතී. අපතේ යන දේවලින් තමන්ට ආදායම් මාර්ග සදා ගත හැක. පාවිච්චි කළ දේවල් අඩු මිලට ලබා ගැනීමට ද අවස්ථාව උදා වේ. ඔබ බුධ මහ දශාවේ නම් සුබ අසුභ දෙකටම මිශ්‍ර දෛවයක් නිර්මාණය වේ.

ඔක්තෝබර් මාසය පුරා ග්‍රහ මාරුවීම් හතක් - ඔබේ ලග්නයට කෙසේද?

ජ්‍යොතිෂවේදී – අගලවත්තේ බී. හේරත්
මහජන ක්‍රීඩාංගණය අසල, අගලවත්ත.
දු. අංකය.-071-2154253

advertistmentadvertistment
advertistmentadvertistment