රාසමානික්කම්ට හොඳට පුරුදු ඇති ඒත්… මහින්ද බැසිල් නාමල් සරණං ගච්ඡාමි මට පුරුදු නෑ!

468

නියෝජ්‍ය කතානායකවරයකු තෝරා ගැනීමේ යෝජනාවට විපක්ෂයෙන් රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කරන්නේනම් සහාය දෙන බවට නිමල් සිරිපාල ද සිල්වා මහතාට එදා දුන් පොරොන්දුව පසුව වෙනස් කිරීමට තමන්ට අවශ්‍ය නොවූ බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී කීය.

වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මන්ත්‍රී රාසමානික්කම් මන්ත්‍රීතුමා ඊයේ මා ගැන සඳහනක් කරලා තිබෙනවා. එය වැරදි ප්‍රකාශයක්. මම රාජපක්ෂ කණ්ඩායමේ ඉන්නවා කියලා. මම කවදාවත් රාජපක්ෂ කණ්ඩායමේ හිටියේ නෑ. රාජපක්ෂවරු, ප්‍රභාකරන් එක්ක මාව පරද්දන්න කටයුතු කළා. මම රාසමානික්කම් මන්ත්‍රීතුමා ගැන කියන්නම්. 2013 පෙබරවාරි 21 දා, මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඔහු භාරගත්තා පදිරුප්පු සංවිධායකකම. ඒ ලිපිය මා කියවන්නම්. ඒ ලිපිය මම දෙන්නම්. මම නොවෙයි, මම ඒ කාලයේත් ගියේ නෑ. එතුමාට පුරුදු ඇති මහින්ද සරණං ගජ්ඡාමි, බැසිල් සරණං ගජ්ඡාමි, නාමල් සරණං ගජ්ඡාමි කියන්න. මම එහෙම කරලා නෑ. ඒ නිසා මට එහෙම කියන්න යන්න එපා. පිල්ලෙයාන් එක්ක කරපු වැඩ කටයුතුත්, අර පොලිසියේ හයසිය ගණනක් මරපු ඒවා මම මෙතනදී කතා කරන්නේ නෑ. මම ගැන කියපු කතාවලට මට කනගාටුයි. ගිය සතියේ නියෝජ්‍ය කථානායක ධුරයට රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් වුණා කිව්වා. ජනාධිපතිතුමා පිළිගත්තේ නැතත් ඡන්දයට යනවා කියලා කිව්වා. මම කිව්වා ඔබ නිලය අතහැරලා යළි එන එක හොඳ දෙයක් කියලා. එදා විජමු කථානායකතුමා පිළ මාරු කළත් තනතුරෙන් ඉවත් වුණේ නෑ. නමුත් විපක්ෂයෙන් එනවා නම් සහයෝගය දෙන්නම්, ආණ්ඩුවෙන් නම් බෑ කිව්වා. ඉතින් මම වචනයක් දුන්නම වෙනස් කරන්න හේතුවක් නෑ. මට ආණ්ඩුවෙනුත් කිව්වා මන්ත්‍රීවරු 10 ක් විතර ඒ අයගේ ඡන්දෙත් දෙනවා කියලා. ආණ්ඩුවත් කිව්වා කාවවත් ඉදිරිපත් කරන්නේ නෑ, ඒ අයට බහුතරය තිබෙනවද දන්නෑ කියලා. මම නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීතුමාගෙනුත් ඇහුවා, නිමල් සිරිපාල මන්ත්‍රීතුමා යෝජනා කරනවානම් මමත් ඒ සහයෝගය දෙන්නම්, එදත් කියනවා අදත් කියනවා කියලා.

පසුව මගෙන් ඇහුවා දෙමළ ජාතික සංධානයේ ප්‍රශ්නයක් තිබෙනවා කතා කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම එතැනට ගියා. මම ගිහින් ඇහුවා මොකක්ද මේකට කරන්නේ, සජබයේ අපේක්ෂකයා ඉවත් වුණොත් මොකද කියලා ඇහුවා. සජබයේ අපේක්ෂකයා ඉවත් වුණොත් අපේ අපේක්ෂකයෙක් දානවා කිව්වා. මට තේරුණා ඒක බෙදිලා කියලා. සජබය එක්ක ගනුදෙනු කළත් වැඩක් නෑ. විශේෂයෙන්ම ද්‍රවිඩ සන්ධානයෙන් දාන නිසා. ඒ නිසා ආණ්ඩුවෙනුත් දැන්නේ නැති නිසා ඡන්දයකට ගිහින් ඊට පස්සෙ එකතු වෙන්න කියලා. මම ඒ ගැන රාසමානික්කම්, සුමන්තිරන් එක්ක කතා කළා. මම ඇහුවා, අඩෙක්කලනාදන්ගෙනුත් ඇයි ඒක වෙනස් කළේ කියලා. මනෝ ගනේෂන්, අනුර දිසානායක, ශ්‍රීදරන් එක්ක විතරයි මම කතා කළේ. ඊට වඩා මම කතා කළේ නෑ. රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීතුමා මට විශ්වාසභංග යෝජනාව දුන්නාම මම ඒකට එකඟවෙනවා කිව්වා. සුමන්තිරන් ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග දුන්නාම මම කිව්වා අනෙක් අයට කලින් සහයෝගය දෙනවා කියලා. මට පෙරේදා කිව්වා සජබ ආණ්ඩුවක් හදනවානම් ඒගොල්ලෝ එකඟයි සහාය දෙන්න කියලා. මම කිව්වා, මම පැත්තක ඉඳලා සහයෝගය දෙන්නම් කියලා. දැන් ඇත්තටම රාසමානික්කම් වැරදි ප්‍රකාශයක් කරල තිබෙන්නේ.

අද මගේ නිවස වටලන්න කියලා පණිවුඩයක් වටේ යනවා, ලේඩිස් කොලේජ් එක පැත්තේ ඉඳන්. ඒකට රාසමානික්කම් සම්බන්ධයි. ඔය කොලොන්නාව පැත්තෙන් සෙනඟ ගේන්න යනවලු. පාර්ලිමේන්තුවේ කතාවකට තර්ජනය කිරීම වැරදියි. දැන් ඊයෙ මුළු දවසම පාර්ලිමේන්තුව කාලය නාස්ති කළා කියලා ජනතාව සාප කරනවා. අද ඉන්ධන නෑ, ආහාර නෑ, ජූලි මාසය වනවිට මොනව වෙයිද කියලා දන්නේ නෑ. අපි මේ සභාවේ මොකුත් කළේ නෑ, මඩ ගැහුවා, අවලාද නැඟුවා විතරයි. අපි ආණ්ඩුවට කියනවා ප්‍රශ්න විසඳන්න කියලා. අපි නිකන් කතා කරලා යනවා නම් මේක වටලන එක සාධාරණයි. මම ඩීල් දැම්මේ නෑ. ඩීල් දාපු මිනිසුන් ශ්‍රීලනිපයෙන් අපේ පක්ෂයට ගත්තා, ඊට පස්සේ ගියා සජබයට. මේ රටේ ප්‍රශ්නයක් තිබෙනවා. එම ප්‍රශ්නය විසඳන්න අපි කටයුතු කරමු. සමාජ මාධ්‍යයෙන්, දුරකථනයෙන් බැණුම් අහන්න අපට බෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment