කට්ටුව මාරක අනතුරින් 13 හැවිරිදි දැරිය මරුට

206

කන්ටේනර් රථ රියැදුරු අත්අඩංගුවට

මීගමුව, කට්ටුව ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් සහ යතුරුපැදියක් ගැටී පෙරේදා (4 දා) රාත්‍රී සිදුවූ අනතුරකින් මව සමග යතුරුපැදියේ ගමන් ගත් 13 හැවිරිදි දියණිය මරුමුවට පත්වී ඇතැයි මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.

දියණිය පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී නැවත මව සමග නිවෙස් බලා පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබේ.

පෙරේදා රාත්‍රී 7.50ට පමණ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ දංකොටුව, කටුකෙන්ද පදිංචිව සිටි විදානරාලලාගේ නිර්මාණි සිල්වා නමැති දැරියකි.

අනතුරින් සුළු තුවාල ලැබූ මව රෝහල්ගත කර තිබේ.

හලාවත දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථය එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියේ ගැටීමත් සමග යතුරුපැදිය පෙරළී තිබේ. එහිදී මව මාර්ගයෙන් තණකොළ බිස්සක් පැත්තටත්, දියණිය කන්ටේනරය දෙසටත් වැටි ඇත. එහිදී ඇය කන්ටේනරයේ වම්පස පිටුපස රෝදවලට යට වී ඇති බවත් පරීක්ෂණවලදී හෙළි වූ බව ද පොලිසිය කියයි.

අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.

මීගමුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන රණසිංහ මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇනස්ලි මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment