ඉරා අඳුරු පට පෙරදිග අහසේ සැඟව ගිය මහැඳුරාණෝ

231

“ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණලු දැයේ දිලිසෙන පිනිමත
පියමන් කරමින්
අහස් ගව්වටයි ලං වන්නේ…

හිරු රැස් දැඩි වී හැකිලී ගුලිවී – සැඟවී යාදෝ පිනි කැට මිහි තුළ
පා පෙරළී ගොස් රැඳේද අප හැම
ඉමක් නොපෙනෙනා අහස් ගඟේ…

ඉර හඳ නැතිවී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළක් සුසුමක් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ – එන්න මගේ පිය මිතුරෝ…”

සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක් බඳුවූ 1974දී තිරගත වූ ධර්මසේන පතිරාජ සිනමාවේදියාණන් අධ්‍යක්‍ෂණය කළ ‘අහස් ගව්ව’ සිනමා පටයේ ඉහත සටහන් කළ අමරණීය ගීතය ගයනු ලැබුවේ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ගායනවේදියාණන් විසිනි. එහි තනුව හා සංගීතය එක්ව ඇමුණූ මුතු පෙළක් සේ නිමවන ලද්දේ අභාවප්‍රාප්ත ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ‘මස්ටර්’ විසිනි. එම ගීතයේ පද රචකයාද පසුගිය 22 වැනිදා දිවි ගමනට සමු දුන්නේය.

ඉරා අඳුරු පට පෙරදිග අහසේ සැඟව ගිය මහැඳුරාණෝ

පල්ලියගුරුගේ චන්ද්‍රසිරි නම්වූ එතුමන් පිළිබඳව රටම දන්නේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු නමින්ය.

1943 අප්‍රේල් 05 වැනිදා ජන්ම ලාභය ලැබූ එතුමන් කීර්තිමත් ශ්‍රී ලාංකික පුත්‍රයකු ලෙස 2024 මාර්තු 22 වැනිදා සිය අසිරිමත් දිවි සැරිය නිම කරන විට 80 වැනි වියේ පසුවිය. මාතර කොටුවේගොඩට නුදුරු පල්ලිමුල්ල ඔහුගේ නිජබිම විය.

විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ (වත්මන් කැලණිය සරසවියේ සමාරම්භක නාමය) මුල්ම ශිෂ්‍ය පරම්පරාවේ තුන්වැනි කණ්ඩායමට අයත් ආදි විද්‍යාර්ථියකු වූ එතුමෝ මෙරට බිහිවූ අද්විතීය විද්වතකු වූයේ ඇතැම් බෝඩ් ලෑලි වියතුන්ටද, රටටද පරමාදර්ශ සපයමිනි.

මාතර රෝහණ මහ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා එම විද්‍යාලයෙන් විශ්වවිද්‍යාල වරම් ලැබූ පළමු ශිෂ්‍යයා ලෙස ඉතිහාසයට එක්විය. මෙරට බිහිවූ තවත් විශිෂ්ට විද්වතෙකු වූ මහාචාර්ය ඇම්. බී. ආරියපාල මහතා එකල එම පාසලේ විදුහල්පතිවරයා විය.

“ගොඩක් සතුටින් ගත කරපු ළමා කාලයක් තමයි මට තිබුණේ. ඒ තරම් වත්පොහොසත්කම් තිබුණේ නැතත් අපි ජීවත් වුණේ සතුටින්. අපේ පවුලේ දරුවන් තුන්දෙනයි. තාත්තා කරගෙන ගිය පුංචි කඩෙන් තමයි අපි ජීවත් වුණේ. මම තමයි කඩේ අතුගාලා උදේට සූදානම් කරන්නේ. ඉතින් කඩේ වැඩ කරනවාට තාත්තා සුමානයකට මට රුපියලක් ගෙවනවා. ඒක තමයි මගේ ජීවිතේ ලැබුණු මුල්ම වැටුප.”

තාත්තාගෙන් ලැබෙන රුපියල නිකරුණේ වැය නොකළ චන්ද්‍රසිරි ඉන් ශත පනහක් වැය කළේ චිත්‍රපටයක් බැලීමටයි. ඉතිරි ශත පනහ වැය කළේ ඉංග්‍රීසි හෝ සිංහල නවකතාවක් මිලදී ගැනීමටය. කුඩා කල සිටම ඔහු චිත්‍රපට නැරඹීමේ නොනින් ආශාවෙන් සිටින්නෙකු හා පොත් කියැවීමේ රුසියෙකු විය.

පාසල් වියේ තිබූ චිත්‍රපට පිස්සුව එලෙසම තිබියදී ඔහුගේ සරසවි ප්‍රවිෂ්ඨය සිදුවිය. එම චිත්‍රපට පිස්සුව පසු කලෙක ශාස්ත්‍රීය තලයට ගෙන ඒමට හැකිවීම ඔහුගේ මෙන්ම රටේද වාසනාවක් විය.

“අපි විශ්වවිද්‍යාලයට ආවේ 1961 දී. ඒ කාලේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය කීර්තිමත් දෙස්-විදෙස් පඬිවරුන්ගේ ක්‍ෂේම භූමියක්.

මම ඉගෙන ගත්තේ හින්දි, පාලි සහ සිංහලයි. විද්‍යාලංකාරෙටම එන්න හේතු වුණේ හින්දි ඉගැන්වූයේ කැලණියේ විතරක් වීමයි. හින්දි සිනමාවට අතිශයින්ම පෙම්බැඳීම ඊට එක් හේතුවක් වුණා. අපිට ඉතිහාසය

ඉගැන්වූයේ මහාචාර්ය හේමචන්ද්‍ර රායි විසින්. සංස්කෘත මහාචාර්යවරයා වුණේ ශාන්ත විෂ්ණු ශාස්ත්‍රී ආචාර්යතුමන්.

දර්ශනය විෂය මහාචාර්ය මහා පණ්ඩිත් රාහුල්, හින්දි භාෂාව මහාචාර්ය භදන්ත ආනන්ද කෞශල්‍යා යන ඉන්දියානු පැරණි ශාස්ත්‍රීය සම්ප්‍රදාය අනුව මේ ගුරුවරු අපිට ඉගැන්වූවා.

විශ්වවිද්‍යාලයේ ඒ කාලේ ඉතිහාසය, භූගෝලය, ආර්ථික විද්‍යාව, සාහිත්‍යය වැනි විවිධ විෂයවලින් සඟරා රාශියක් ප්‍රකාශයට පත් කළා. ඉතින් අපි ඒවාට ලිපි ලියන්න පුරුදු වුණා. මම සිංහල ගෞරව උපාධියටයි ලියාපදිංචි වුණේ. හින්දි අනු විෂය ලෙස තෝරා ගත්තා. හින්දි ඉගෙන ගැනීම මට තවත් ඇසක් ලැබුණා වගේ වුණා. එයින් අලුත් ලෝකයක් විවෘත වුණා.”

පල්ලියගුරු පරම්පරාවේ වැඩි පිරිසක් ගුරුවරු. ඉතින් මටත් අවශ්‍ය වුණේ ගුරුවරයෙක් වෙන්නයි. ඒත් ඉහළම ලකුණු ලබාගෙන විභාග සමත්වීම නිසා මාව සරසවියේ ආචාර්ය මණ්ඩලයටම බඳවා ගත්තා.”

චන්ද්‍රසිරි පල්ලියගුරු තරුණ කථිකාචාර්යවරයා ශිෂ්‍ය ප්‍රජාව අතර ජනප්‍රිය චරිතයක් වූයේ ඔහු විෂය මාලාවලම එල්ලී නොසිට බාහිර ලෝක දැනුම, චිත්‍රපට රසවින්දනය වැනි දෑද කියා කියවා නියමානුකූලව හා ක්‍රමානුකූලව දැනුමින් පෝෂණය කළ නිසාය. 1970 දී ඔහු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය උපදේශක ධුරයට පත්විය.

ඔහු සමස්ත විශ්වවිද්‍යාලීය ප්‍රජාව අතර ගරු බුහුමනට පාත්‍ර වන්නට එක් ප්‍රමුඛ හේතුවක් වූයේ සරල පැවැත්ම හා නිහතමානී බවයි. ඒ සරල බව විශ්වවිද්‍යාලයේ බොහෝ ශිෂ්‍යයෝ ආදර්ශයට ගත්හ.

වසර 42ක් ඉක්මවා ඔහු මහාචාර්යවරයෙක්, අංශාධිපතිවරයෙක්, පීඨාධිපතිවරයෙක් වශයෙන් සේවය කොට විශ්‍රාම ලබන තෙක්ම සිය සරල බව හා නිහතමානී බව නොවෙනස්ව රැකගන්නට සමත් විය. එසේ ගෙවුණු දශක පහ පුරාම ඔහු කුඩයකුත් අතින් ගෙන උදෑසන කැලණිය විශ්වවිද්‍යාලය අසලින් බසයෙන් බැස දළුගම කන්ද නඟින අයුරු සහ නැවත සේවය නිමවා බස් නැවතුමට පැමිණ බසයක නැගී කඩවත බණ්ඩාරවත්තේ ‘ගුරු නිවස’ ට යන මාවත අසලින් බසිනු සුපුරුදු දසුනක් විය.

මහාචාර්ය පල්ලියගුරුගේ ගේ බිරිඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක් විය. පසුව එම දෙපළ පුතෙකුගේ හා දියණියකගේ ආදරණීය මව්පිය යුවළක් විය. “අපේ විවාහයට මගේ මව්පියන් වගේම බිරිඳගේ මව්පියන්ද අකමැති වුණා. ඉතින් අපි හොරෙන්ම බැන්දා.” ඔවුන් දෙදෙනාගේ විවාහයේ සාක්ෂිකරුවන් වූයේ ධර්මසේන පතිරාජ, දයා තෙන්නකෝන් යන කලා ලොව නම දිනූ සිය කලණ මිතුරන් දෙදෙනාය.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වූ චන්ද්‍රසිරි පල්ලියගුරු විද්වතාණෝ උර්දු භාෂාව පිළිබඳව ප්‍රාමාණිකයකු විය. චීනයේ බෙයිජිං විශ්වවිද්‍යාලයේ වසරක පමණ කාලයක් සේවය කළ පල්ලියගුරු මහාචාර්යතුමන් පසුව කැලණිය සරසවියේම මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා ලෙසද, ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ප්‍රධානියා ලෙසද විශිෂ්ට සේවයක නිරත වූවේය.

‘සංස්කෘතික මානව විද්‍යාව’ පිළිබඳව වූ පර්යේෂණ නිබන්ධය රචනා කරමින් ආචාර්ය උපාධිය හිමිකර ගත් ඔහු ඒ සඳහා බි්‍රතාන්‍යයට ගොස් සිටියදී බි්‍රතාන්‍ය චිත්‍රපට සංගමයේ සාමාජිකත්වයද හිමිකර ගත්තේය. ගාමිණී හත්තොට්ටුවේගම, බෙනඩික් දොඩම්පේගම, රැලෙක්ස් රණසිංහ, ලෙස්ලි බොතේජු සමග එක්වූ පල්ලියගුරු මහතා එකල ‘ශ්‍රී ලංකා චිත්‍රපට ලේඛක සහ විචාරක සංගමය’ ට ජීවය දෙන්නට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. මෑත යුගයේ ඔහු සාමාජිකත්වය නොදැරූ නාට්‍ය සමීක්‍ෂණ මණ්ඩල, සාහිත්‍ය හා සිනමා විනිශ්චය මණ්ඩල මෙරට නොවූ තරම්ය.

ගෙවුණු දශක කීපය පුරා ග්‍රන්ථ රාශියක් විවිධ විෂය මානයන්ගෙන් රචනා කළ එතුමෝ (අප දන්නා පරිදි එම කෘතීන් සංඛ්‍යාත්මකව 54කි.) නූතන සිංහල සාහිත්‍ය වංශය පෝෂණය කිරීමට පුරෝගාමී දායකත්වයක් දැක්වූහ.

එතුමන් විසින් රචිත ග්‍රන්ථ පෙළ මෙසේ දැක්විය හැක.

ළමා කතා :-

අකීකරු කුමාරයා, ලෝබ ඤාණා සහ බයගුල්ලා, තවලමේ නායකයා සහ මංපහරන්නා, පුල්ලියා සහ යාළුවෝ, ඔටුවා සහ මැඩියා, සිරීපාදේ ගිය සමනල්ලු.

පරිවර්තන නවකතා සහ කෙටි කතා :-

බකමුහුණා (2003 රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ විය.) වීනස්ගේ ලෝම කබාය, දූවිලි, ලේ සහ වැලි, මිහිකතගේ දරුවෝ, භක්තිවන්න මිත්‍රයා සහ තවත් කතා.

නවකතා (ස්වතන්ත්‍ර) :-

වරද ඇතත්, අන්‍යතර මානවිකා වස්තුව, එපුර රැජයූ ඇය (2009 රාජ්‍ය සාහිත්‍ය සම්මාන සහ ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශ විය.), සමාරෝපණය (2010

ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය උළෙලේ ප්‍රථම ස්ථානය හිමිවිය.) තොප වරදකින් කෙලෙසින් කිපෙම්, රජ විරිතින් සුරින්දු මහ විජයබා නිරින්දු, සීමා (2014 රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ විය.) රෝහණ රාජිනී, අංචිය, මහාකාල, මහ බිසෝ ලීලාවතී (2019 බෞද්ධ සාහිත්‍ය උත්සවයේ ප්‍රථම ස්ථානය හිමිවිය.) අමුතු තාලේ ආදර කතාවක්, විනිදිතයෝ, සෙනෙහස (මෙම නවකතාව ඓතිහාසික සත්‍යයත් පරිකල්පනයත් පදනම් කොට ගෙන මහසෙන් රජතුමාගේ චරිතය අලලා ලියැවුණකි.)

පරිවර්තන ශාස්ත්‍රීය කෘති :-

චිත්‍රපටය හා සමාජ විපර්යාසය, චිත්‍රපට සිද්ධාන්ත සහ විචාර (1995 දී එළීදැක්වූ මෙරට සිනමාවේ පුරෝගාමී පරිවර්තන කෘතියකි.) සරු දිවියකට, දිවමන් බුදු හිමි,

විවිධ විෂය : චිත්‍රපටය ප්‍රේක්‍ෂකයා සහ රසාස්වාදය, හින්දි භාෂාව සහ සාහිත්‍යය, සංස්කෘතියේ සමාජ මුහුණුවර (1994 රාජ්‍ය සාහිත්‍ය සම්මානය), සංස්කෘතිය සමාජය හා පෞරුෂය, විදේශීන් දුටු සිංහල ලකුණ, සාහිත්‍ය සමාජ විද්‍යාව පිළිබඳ හැඳින්වීමක්, මහා ප්‍රාකාරයෙන් එහා (චීන සංචාරක සටහන්), යාථාර්ථය හා නිර්මාණය (1994 රාජ්‍ය සාහිත්‍ය සම්මානය), සමාජ ප්‍රතිබිම්බය යථාර්ථය හා සිනමාව, තොප වුවද සරොසා (කව්), සිංහල බුදු සමයෙහි නාට්‍ය ලක්ෂණ, අර්ථවත් ජීවිතයකට, ජනශ්‍රැතිය පුරා කථාව සහ පුරා වෘත්තය, රූපණය නිරූපණය සහ සිනමාව, උණතුරු ගොමු මැද (වියට්නාම් සංචාරක සටහන්), නවකතා විග්‍රහය (අනුරුද්ධිකා කුමාරි කුලරත්න සමග ලියූ), පරිකල්පනය, තර්කනය සහ නිර්මාණය (නාට්‍ය, ටෙලිනාට්‍ය, චිත්‍රපට තිර රචනය විෂයකර ගනිමින් මෙරට ලියැවුණු පුරෝගාමී කෘතියකි),

දකින දෙය සත්‍යයම නොවේ (2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ විය.) නෙත් සිත් ගත් තැන් (සංචාරක සටහන්), රූ රඟ සොබා, නූතන චීන ඥානාදර්ශ කතා, සහජය සහ අනුකරණය.

ඉංග්‍රීසි බසින් : CEREMONIES FESTIVALS AND RITUALS OF THE SINHALESE : Anthropological approach

ඉදිරිපත් කළ රූපවාහිනී වැඩසටහන් : රස කලස (නාට්‍ය, චිත්‍රපට, සාහිත්‍ය මුල්කරගෙන මෙහෙයවීය), උරුමය (වැනසී යන දේශීය සාම්ප්‍රදායික චාරිත්‍ර අංග මුල් විය.)

ප්‍රකට ලේඛකයකු, සිනමා විචාරකයකු, ගීත රචකයකු, ජනශ්‍රැති පර්යේෂකයකු, සමාජ විද්‍යාඥයකු හා විශ්ලේෂකයකු ආදී කොටගත් විසල් ක්‍ෂේත්‍රයන් රැසක විශිෂ්ට භූමිකාවක් ඉටු කළ එතුමන් සිය ජීවිතයේ සැඳෑ භාගය කඩවත ‘ගුරු නිවස’ සිය නිවහනේ ගත කරමින් ලියූ අවසන් කෘතිය ලෙස ‘ගමනක සටහන්’ හැඳින්විය හැක.

තම ජීවන ගමනේදී දැනුණු, ඇසුණු, දැකපු, සිතුණු දේ ගොනු කොට ස්වයං ලිඛිත චරිතාපදානයක් ලෙසද ලියැවුණු ගමනක සටහන් කෘතියේ චන්ද්‍රසිරි පල්ලියගුරු සාහිත්‍යවේදියාණන් මෙසේ ලියා තිබේ.

“අප යෙදී සිටින්නේ අධිගමයක් ලබන තෙක් භවයෙන් භවයකට යන නොනිමි ගමනකය.

මෙම ගමනේදී අප නවාතැන් ගත් තැන්, මුහුණදුන් සිද්ධි, හමුවූ අය හා අවස්ථා මෙන්ම ඇති කොටගත් සම්බන්ධතා ආදියෙහිද කෙළවරක් නොමැත්තේය. එක් භවයකින් තවත් භවයකට මාරු වෙද්දී පෙර භවයේ අත්දැකීම් සමුදායන් ඇබින්දක්වත් මේ භවයට ගෙනෙන බවටද සැකයක් නැත. මේ භවය අප යන දිගු ගමනේ එක් නවාතැන්පළක් පමණි. මා මේ ලියන ‘ගමනක සටහන්’ ඇරඹෙන්නේ එම කරුණ කෙරෙහිද අවධානයෙනි.”

“කිසියම් ලේඛකයකු නිර්මාණකරණයේ යෙදෙන්නේ සාහිත්‍ය නිර්මාණය හා සම්බන්ධ කරුණු සතරක් හේතුවෙනි.

පළමු කරුණ වන්නේ ආත්ම ප්‍රකාශනයට ඇති කැමැත්තය. දෙවැනි කරුණ වන්නේ පුද්ගලයන් හා ඔවුන්ගේ කටයුතු පිළිබඳව දැන ගන්නට ඇති ආශාවය. තෙවැනි කරුණ වන්නේ අප ජීවත්වන ලෝකයේ යථාර්ථ ස්වභාවය දැන ගැනීමට ඇති කැමැත්තය. සතර වැනි කරුණ වන්නේ නිර්මාණයේ සැලැස්ම පිළිබඳ කැමැත්තය.

මේ සියල්ලම අප මතකය මත පදනම් වන්නේය. මතකය මහ පුදුම දෙයකි. අපේ ජීවන කාලය තුළ අප අසන දකින කියන දේවල් ප්‍රමාණාභික්‍රාන්තය. එහෙත් අපට ඒවායෙන් මතක අප කැමැති දේවල් මෙන්ම අතිශයින්ම කම්පාවට පත් කළ සිද්ධීන් පමණකි. අතිශය අමිහිරි දේ අමතක කර දමන්නට මොළයට ඇති හැකියාව පුදුමසහගතය.

මිනිස් මොළයට ඇති එම හැකියාව නොවන්නට අප හැමටම සිදුවන්නේ නිරන්තර දුක් දොම්නසින් යුතුව ජීවිතය ගෙවන්නටය.

හැම ලේඛකයකුම සිය චරිතාපදානය හා සම්බන්ධ දේ ලේඛනගත කරන්නේ අතීත, වර්තමාන සහ අනාගතය පිළිබඳව ඔහු සිතූ පැතූ සහ ජීවිතයේ ඉටු කොට ගත් දේ සඳහන් කරන්නටය. මතක මාවත දිගේ ගමන් කොට වර්තමානයට පැමිණ අනාගතය ගැන සිහින දකින්නටය.”

“එම ලේඛකයන් තුළ තිබූ කැමැත්තට සමාන කැමැත්තක් මා තුළද පවතී. එසේද වුවත් කාල අනුක්‍රමණිකාව හෝ සිද්ධි අනුක්‍රමණිකාව අනුව මෙය ලියන්නට මගේ කැමැත්තක් නැත. මට අවශ්‍ය වන්නේ ‘දින නොමැති දිනපොත’ ලියූ ආර්.කේ. නාරායන් ලේඛකයා පරිද්දෙන් මට සිතෙන දේවල් බාධාවකින් තොරව එපරිද්දෙන්ම ලිවීමටය. එහෙත් එම කටයුත්ත කළ යුත්තේ පරිස්සමකිනි. මෙහි අඩංගු වන්නේ වසර හැත්තෑ නවයක් වන ජීවිත කාලයක් තුළ මතකයට නගාගත හැකි වූ දිවි ගමනේ සටහන් කීපයකි.”

නව පරපුරේ බොහෝ පිරිසකට ලේඛකයන්, මාධ්‍යවේදීන් වන්නට, සාහිත්‍යයේද සිනමාවේද නන්විධ ඉසව් ස්පර්ශ කරන්නාවූ විචාරශීලී මිනිසුන් වන්නටද, නිහඬවම දිරිදෙමින් අපට යහමග කියාදුන් මිනිසත් ගුණපිරි ගුරුතුමනි, නිහතමානීත්වයේ ප්‍රතිමූර්තියක් වන්වූ යුග පුරුෂයාණනි, මෙරට මාධ්‍ය කලාවේ ප්‍රගමන උදෙසා සිය දිවියම කැප කළ වියත් පර්යේෂකයකු වූ සොඳුරු කලාකරුවාණනි, අප වෙනුවෙන් රට වෙනුවෙන් මතු පරපුර වෙනුවෙන් කළ මෙහෙවරට ස්තුතියි. චන්ද්‍රසිරි පල්ලියගුරු සම්මානිත මහාචාර්යතුමනි ඔබට බොහෝ පින්….!

සටහන – සචිත්‍ර නේරංජන ඇල්වලගේ

advertistmentadvertistment
advertistmentadvertistment