මහා බලවත් රඟ මඬල

1230

කථානායක මහින්ද යාපා අබේවර්ධනට විරුද්ධව පාර්ලිමේන්තුවට මීට සතියකට පෙර ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 50 කට කිට්ටු ගණනකින් ඉතා සුවපහසු ලෙස පරාජයට පත් විය. ඉන්පසු පවත්වන ලද කතාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවාහැරීම සඳහා විදේශීය බලවේග කිහිපයක් ක්‍රියාත්මක වූ බව කථානායකතුමා පැවසීය. මේ සිද්ධියෙන් පසු අපේ අවධානය යොමුවන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොබෝදා මහනුවරදී කළ කතාවකට ය. පාස්කු බෝම්බය පිපිර වූ අය ගැන තමාට නිවැරදිම තොරතුරු ලැබුණ බවත් අධිකරණයෙන් නියෝග කරන්නේ නම් රහසිගතව (in camera) එම රහස හෙළි කරන බවත් හිටපු ජනාධිපතිතුමා නුවරදී සඳහන් කළේය. මෙය විශාල ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රකාශයකි. මෛත්‍රීපාල සිරිසේනට සතුරන් කොපමණ සිටිනවාද යන්න ඇස්තමේන්තු කරගැනීමට පවා මේ ප්‍රකාශය උපකාරී විය. මේ ප්‍රකාශය නිකුත්වීමෙන් විනාඩි කිහිපයක් තුළ හිටපු ජනාධිපති මෛත්‍රී දෙපලු කරමින් විවිධ කණ්ඩායම් අදහස් පළ කරන්නට පටන් ගත්හ. මෛත්‍රීට විරුද්ධව සතුරන් කොපමණ සිටින්නේ ද යන්න හෙළිවුණේ ඒ අදහස්වලට අනුවය. කෙසේ වුවද මෛත්‍රීගේ ප්‍රකාශය අප හිතන තරම් ලොකු බෝම්බයක් නොවේ. මේ ප්‍රකාශයෙන් දරුණු අවුලක් සිදුවේ යැයි කල්පනා වුණොත් මෛත්‍රීට කීමට ඇත්තේ සහරාන් පාස්කු බෝම්බය පිපිරවූ බව ස්ථිර වශයෙන්ම තමන්ට දැනගන්නට ලැබුණු බව පමණි. එතැනින් මේ කතාව ඉතාම සිල්ලරට ඉවරකරගත හැකිය. එහෙත් ගෝඨාභය පලවාහැරීමට විදේශ බලවේග ගේමක් ගැසූ බව හෙළිදරව් කෙරෙන කථානායකතුමාගේ කතාව හිතන තරම් සිල්ලරට අවසන් කළ නොහැක.

ගෝඨාභය පලවාහැරීමේදී ඇමරිකාව සෑහෙන භූමිකාවක් කළ බව විමල් වීරවංශ සහ සරත් වීරසේකර විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබ ඇත. එසේම ප්‍රසිද්ධ ලේඛකයකු වන සේන තෝරදෙණිය ලියූ ගාලු මුවදොර විරෝධය – ක්‍රමයේ වෙනසක්ද නැත්නම් අරාජිකත්වය ද නමැති පොතේද විමල් වීරවංශ ලියූ අරගලයේ සැඟවුණු කතාව පොතේද සඳහන් වන පරිදි එකල සිටි ඇමරිකන් තානාපති ජුලී චන්ග් ගෝඨාභය පලවාහැරීමේ වැඩපිළිවෙළේදී විශාල මෙහෙවරක් කර ඇත. එහෙත් ගෝඨාභය අරගලය ගැන ලියූ පොතේ කිසි තැනක ජුලී චන්ග් ගැන කිසිම සඳහනක් නැත. ගෝඨාභය රාජපක්ෂ සිය පොත ලිවීමේදී ඇමරිකන් තානාපති ජුලී චන්ග්ගේ නම මගහැරියේ ඇයි? තමා පලවාහැරීමට විදේශ බලවේග විශාල වශයෙන් මැදිහත් වූ බව ගෝඨාභය තම පොතේ සඳහන් කර තිබේ. ඔහු ජුලී චන්ග්ගේ නම මගහැරියේ කාලයක් තමා පුරවැසියකුව සිටි ඇමරිකාවේ හොඳ නමට හානිවීම වළක්වා ගැනීමට විය යුතුය.

මහා බලවත්තු යනු කැත මිනිස්සු ජාතියකි. වියට්නාම් යුද්ධය පැවති සමයේදී ඒ රට පාලනය කරන ලද්දේ ඇමරිකන් ගොට්ටකු වන ඩීන් ඩියම් විසිනි. ඇමරිකාව වියට්නාමයට බසින්නේ තම ගොට්ටා වූ ඩීන් ඩියම්ට සපෝට් එකටය. එහෙත් වියට්නාමයේදී ඇමරිකන් හමුදා පසුබසින්නට පටන්ගත් විට ඇමරිකාව ඩීන් ඩියම් අත්හැර දැමූ අතර ඔහු ඝාතනය කරවීය. එක්දහස් නවසිය අසූ ගණන්වලදී රුසියාව ද මේ හා සමාන ක්‍රියාවක් ඇෆ්ගනිස්ථානයට කළේය. ඒ කාලයේදී ඇෆ්ගනිස්ථානය පාලනය කළේ රුසියාවට පක්ෂපාත රූකඩ නායකයකු වූ නජිබුල්ලා විසිනි. නජිබුල්ලාගේ පාලනයට ඇමරිකාව විරුද්ධ විය. ඒ නිසා එවකට ඇමරිකන් සුරතලකු වූ ඔසාමා බින් ලාදින් ලවා කුලී හේවායන් එකතු කළ ඇමරිකාව නජිබුල්ලාගේ රුසියන් සපෝට් එක ලබන හමුදාවට පහරදෙන්නට පටන් ගත්තේය. මෙය සිවිල් යුද්ධයක් බවට පත්වූ අතර නජිබුල්ලාගේ හමුදාව පරදින බව ඇස්තමේන්තු කළ රුසියාව හෙමින් සීරුවේ නජිබුල්ලා අත්හැර දැමීය. මෙවිට නජිබුල්ලාගේ විරුද්ධවාදීහු ඔහු මරා දොඹකරයක එල්ලාගෙන නගරය පුරා ගෙන ගියහ. මහා බලවතුන්ට සෙට් වීමේ භයානකකම ඕකය. චීනය මේ දිනවල මාලදිවයින සමග දිවට දිව ගාගෙන සිටී. මීට මාස කිහිපයකට පෙර මාලදිවයින දිවට දිව ගෑවේ ඉන්දියාව සමගය. අද චීනය විසින් මාලදිවයින ශක්තිමත් කරනු ලැබේ. හැබැයි මාලදිවයින ඕනෑම වෙලාවක අත්හැර දැමීමට චීනයට පුළුවන. ඕක තමයි මහා බලවතුන්ගේ රඟ.

advertistmentadvertistment
advertistmentadvertistment