නිවසක බ්‍රහ්ම පාදය බලගන්වා ධනය, නිරෝගිකම ලබාගන්න

252

මනුෂ්‍ය ශරීරයේ සුවිශේෂි ස්ථානයක් හැටියට පපු ප්‍රදේශය ඉතාමත් වැදගත් වේ. එයට හේතුව පපුව ආශ්‍රිතව පපුව මධ්‍යයේ පිහිටි හෘදය නිසාවෙනි. එය වම්පසට බරව පිහිටයි. පපුවේ අමාරුවක්, වේදනාවක් ලද විගස වෛද්‍යවරයකු වෙතට ගොස් පපුව කැක්කුමයි යනුවෙන් පැවසූ විගසින් වෛද්‍යවරයා E.C.G. එකක් ගැනීමට ඉක්මනින් උනන්දු වන්නේ, පපුවේ පිහිටි මෙම හෘදය තුළ යම්කිසි බාධාවක්, හිරවීමක් ලේ ගමනාගමනයේදී ඇතිව ඇද්දැයි බැලීමටයි. ශරීරය තුළ අපිරිසිදු ලේ පිරිසිදු කරන ක්‍රියාවලිය මනුෂ්‍යයාගේ ආශ්වාස ප්‍රශ්වාස පද්ධතියෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය ඇති වේ. හෘදයෙහි තත්පර ගණනක අක්‍රියතාවක් නිසා මනුෂ්‍ය ශරීරය ක්‍ෂණිකව අක්‍රිය වනු ඇත. හෘදයේ ක්‍රියාකාරීත්වය මෙපමණක් යැයි කිව නොහැක. ඒ අපේ ශරීරය තුළිනි. නමුත් නිවසකත් මෙවන් ආකාරයේ පපු ප්‍රදේශයක් පවතින බව ඔබ දන්වා ඇත. වාස්තු පුරුෂයා ඊශාන දිශාවේ හිස තබා මුනින් අතට වැතිරී සිටමින් පපු ප්‍රදේශය නිවසේ මධ්‍ය කොටස තුළත්, කකුල් දෙක නිරිත දිශාව තුළත් තබාගෙන ඇත. මෙම පපු ප්‍රදේශය අයත් කොටස බ්‍රහ්ම පාදය යනුවෙන් මුළු නිවසේ 1/4 කොටසකට අයත් වේ. මෙම කොටසේ මධ්‍යම හෙවත් හරිම මැද වැටෙන ලක්ෂ්‍යයට බ්‍රහ්ම පාද ශුන්‍ය ලක්ෂ්‍යය හෙවත් Centre Point වශයෙන් හැඳින්වේ. එම නිසා බ්‍රහ්ම පාදය යනු තනි තිතක ලක්ෂ්‍යයක් නොවන බව තේරුම් ගන්න. තිතක් වශයෙන් නම් කරන්නේ බ්‍රහ්ම පාද ලක්ෂ්‍යයයි. එය මනුෂ්‍ය ශරීරයේ හදවත බඳු ස්ථානයයි. මෙම බ්‍රහ්ම පාද ලක්ෂ්‍යය අවහිර කර නිවසේ බිත්තියක් බැඳීම, ඒ මත නිවසේ පඩිපෙළ ඉදිකිරීම, උළුවස්සක් මැදට සිටින සේ බ්‍රහ්ම පාදය ගැනීම, නාන කාමරය තුළට වැටෙන ආකාරයට, වහලේ මුදුන් යටලීයට ලම්බකව පිහිටන ලෙසින්, නැතිනම් වහලයේ කුරුපා, බාල්ක, යටලී මූට්ටුවලට ලම්බකව පිහිටන ආකාරයට බ්‍රහ්ම පාදය පිහිටුවීම අශුභ වේ. ඒ වගේම බ්‍රහ්ම පාදය හරහා දිවෙන කතිර රේඛා හෙවත් විකර්ණ රේඛා නිවසේ උළුවහු මැදින් ඡේදනය වීම, මධ්‍ය රේඛාව ඡේදනය වන ආකාරයට ද්වාර පිහිටීම, වැසිකිළි වළවල්, ළිඳට මෙම රේඛාවන් වැටීම ද අශුභ වේ.

මේ ආකාරයට බ්‍රහ්ම පාදය නිදහස් ස්ථානයක පිහිටීම සිදුවන ආකාරයෙන් නිවාස සැලසුම සකස් කළ යුතුය. ඒ සඳහා විසිත්ත කාමරය හෙවත් නිවසේ සාලය ඉතාම සුදුසුම ස්ථානය ව්. මක් නිසාද නිවසේ කාමරවලට බ්‍රහ්ම පාදය යෙදීම ඉතා අශුභ වේ.

බ්‍රහ්ම පාදය අවහිර වන ලෙසින් බිත්තියක් බැඳීම

මේ නිසා බ්‍රහ්ම පාදය බිත්තියට යටවී හිරවීමෙන් වාස්තු පුරුෂයාගේ හෘදය පීඩාවට පත් කරයි. ඒ සමග එහි ප්‍රතිවිපාකය නිවසේ ගෘහ හිමියාට ළඟා කර දේ. ඔහුගේ හෝ ඇයගේ හෘදය, පපුව ආශ්‍රිත හදිසි අනතුරු, හෘද පීඩා ශ්වසන පද්ධතිය අක්‍රිය වීම ආදී පපුව හා හෘදය ආශ්‍රිතව පීඩාවන්ට ලක් වේ. ඒ වගේම එම නිවසේ ආර්ථිකය හිරවීමකට භාජනය වේ. මුදල් ලැබීම අඩු වේ. පිටට දුන් අයගෙන් මුදල් ලබා ගැනීම අපහසු වේ. සමහර විට මේ ආකාරයට බ්‍රහ්ම පාදය නිවසේ කුමන ඉදිකිරීම් තත්ත්වයකදී හෝ තදවීම, හිරවීම නිසා ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත් විය හැක. ණය වාරික, ලිසිං වාරික ගොඩගැසේ. නිවසේ ලෙඩ රෝග බහුල විය හැක. අඹු සැමියන් අතර මතභේද, රණ්ඩු සරුවල් ඇතිවේ. නිවසේ සියලුම දේ පීඩාවට පත්වේ. දරුවන් රෝගී වේ. බොහෝ නිවාස පරීක්ෂාවලදී දැක ඇති සුලභ සිද්ධියකි එය. අඹු සැමියන් වෙසෙන නිදන කාමරයට බ්‍රහ්ම පාද ලක්ෂ්‍යය පතිතවී ඇත්නම් එවැනි බොහෝ නිවාසවල අඹු සැමියන් අතර නොයෙක් මතභේද පවතී. එක්තරා නිවසක එසේ පැවැතීමේදී ගෘහ හිමියාට මා ඉදිරි කාලයේ එසේ වීමට ඉඩ ඇතැයි යනුවෙන් ඉඟි කළේ කෙළින්ම කියා

ගන්නට සිත් නොදුන් නිසාය. නමුත් තරුණ වයසේ මාගේ සේවාදායකයකු වූ ගෘහ හිමියා මා හට හැඬූ කඳුලෙන් පැවසුවේ සිය බිරිඳ දික්කසාද වීමට අවසර ඉල්ලමින් සිටින බවය. ඉන්පසුව බ්‍රහ්ම පාද ලක්ෂ්‍යය නිවසේ වෙනත් කාමරයකට වැටෙන ලෙසින් මා විසින් අත්තිවාරම වෙනස් කිරීමට උපදෙස් දුන් අතර ඉන්පසු ඔවුන්ගේ අඬදබර අවසන්ව අද වනවිට ඉතා සතුටින් ජීවත් වෙයි. මෙවැනිම නිවාස පරීක්ෂාවකදී බ්‍රහ්ම පාද ලක්ෂ්‍යය එම නිවසේ ඉගෙන ගන්නා වයසේ සිටි පිරිමි දරුවා නිදන ඇඳට වැටී තිබුණ අතර එම දරුවාට ද දැඩි මානසික ආතතියක්, නිතරම රෝගතුරු වීම හා විකාරයෙන් දොඩවන ගතිය ද, ඉගෙනීම කෙරෙහි කිසිම උනන්දුවක් ද නොපැවතිනි. එම නිවසේ ද දෝෂය හෙවත් බ්‍රහ්ම පාද ලක්ෂ්‍යය සාලයට වැටෙන ලෙසින් කටයුතු කළ අතර ඉන්පසු එම දරුවා ද නිරෝගීව ප්‍රීතියෙන් ගතකළ අතර දැනට ඔහු සරසවි වරම් ද හිමිකරගත් අයෙකි.

මෙසේ නිදන කාමර, නාන කාමරවලට බ්‍රහ්ම පාද ලක්ෂ්‍යය පතිතවීම තුළින් කාමරයක නම් එම කාමරයේ නිදාගන්නා අඹු සැමියන් එකිනෙකාට එපා වී දෙපැත්තට වීමත්, දරුවකු නම් ඔහු හෝ ඇය මානසිකව, කායිකව දුර්වල වීමත්, අවිවාහක අයකු නම් විවාහය ප්‍රමාද වීමට හෝ විවාහය සිදු නොවීමටත් හේතු දෙයි. නිවසේ අමනුෂ්‍ය දෝෂ හටගනී.

රැකියා අපේක්ෂකයන්ට රැකියාවක් හිමි නොවන අතර තිබෙන රැකියාව ද අහිමි කරවයි. නිවසකට පවතින්නේ එක බ්‍රහ්ම පාදයක් හා එක බ්‍රහ්ම පාද ලක්ෂ්‍යයක් පමණි. නිවසේ කොතරම් ඉහළ මහලවල් පැවතිය ද එම නිවසේ ඉහළටම යනතුරු බලපාන්නේ මෙම බිම පිහිටි බ්‍රහ්ම පාදය අයත් කොටස හා බ්‍රහ්ම පාද ලක්ෂ්‍යය (Centre Point) පමණි. ඊශාන දිශාවෙන් නිවසට ගලාගෙන එන අන්තරීය ශක්තිය Cosmic Energy නිවසේ බ්‍රහ්ම පාද ලක්ෂ්‍යය මත ක්‍රියා කරයි. අද වනවිට තිබෙන නවීන තාක්ෂණික උපකරණ භාවිතයෙන් බ්‍රහ්මපාද ලක්ෂ්‍යයේ ක්‍රියාකාරීත්වය ඇස්වලින් දැකගත හැකිය. ඊශාන හා නිරිත දිශාව යාවෙන රේඛාව හෙවත් විශ්ව ශක්ති රේඛාව ඔස්සේ ඊශානෙන් ඇදෙන ශක්තිය බ්‍රහ්ම පාදය තුළ ක්‍රියා කරමින් නිරිත දිශාවෙහි එය ගබඩා කරන අතර නිරිත දිශාවෙන් ගිණිකොන, නැඟෙනහිර, වයඹ දිශාවන්ට එය බෙදාහැරිම සිදු වේ. නිවසේ වාස්තු විද්‍යාත්මක පිහිටුවීම යන්න මෙම අන්තරීය ශක්තිය සෑම තැනටම ගලාගෙන යන අයුරින් කළමනාකරණය කිරීමට අවශ්‍ය දිශාවන්ට අදාළව කාමර සැකසීමයි.

බ්‍රහ්ම පාද ලක්ෂ්‍යය නිවැරදි ආකාරයට පරීක්ෂා කිරීම සඳහා නිවසක වැඩිම දුර සිට වැඩිම පළලට විකර්ණ රේඛා යා කළ යුතුය. එසේ නොකිරීමෙන් නිවැරදි මධ්‍ය ලක්ෂ්‍යය සොයා ගැනීමට නොහැකි වේ. මෙහිදී අත්තිවාරමට සම්බන්ධ කුස්සි පෝරණය නාන කාමර ද ඇතුළත් විය යුතුය. බ්‍රහ්ම පාද ලක්ෂ්‍යය බලගැන්වීම තුළින් එම නිවසේ වාස්තු දෝෂ අවම කර ගැනීමටත්, අමනුෂ්‍ය දෝෂ ඉවත් කර ගැනීමට වගේම ඇස්වහ කටවහ දෝෂවලින් ද ආරක්ෂාව ලබාගත හැකිය. එවැනි දේ අත්හදා බලා ප්‍රතිඵල ලත් ක්‍රම දෙකක් සම්බන්ධයෙන් ඔබට මා පවසන්නම්. මේවා ඉතාම සත්‍ය ක්‍රම වන අතර එයින් ප්‍රතිඵල ලබාගත් අය ද මා සතුව ඇත.

ප්‍රථමයෙන්ම මේ සඳහා කොහොඹ ලීයෙන් තැනූ කනප්පුවක් තිබිය යුතු අතර එය බ්‍රහ්ම පාදය මත තබා එය මත පාත්තරයක් තැබිය යුතුයි. එම පාත්තරය වෙළෙඳසලකින් ගත් එකක් නම් එය නුසුදුසුය. ඒ සඳහා තෝරාගත යුත්තේ සිල්වත් භික්ෂුවක් (ආරණ්‍ය සේනාසනවල වැඩ සිටින) පිණ්ඩපාතය ගොස් දන් වැළඳූ ඉවත් කළ පාත්තරයකි. එවැනි පාත්තරයක් ඉල්ලාගෙන එයට මාවී පුරවා ඒ මාවී පිරවූ පාත්තරය කනප්පුව මත තැබිය යුතුය. ඉතා කෙටි කාලයකදී ඔබ නොසිතන ආකාරයේ වාසනාවන්ත ප්‍රතිඵල ඔබට අත්විඳීමට හැකියාව ලැබේ.

එයට අමතරව විශ්ව ශක්ති කේන්ද්‍රයක් බලගන්වා බ්‍රහ්ම පාදය ඉදිරිපිට බිත්තියේ ගැසීමෙන් ඇස්වහ කටවහ දෝෂ දුරු වී වාසනාව අත්වේ.

ඒ වගේම අවසන් වශයෙන් ප්‍රකාශ කළ හැක්කේ දැනටමත් ඔබ නිවසේ බ්‍රහ්ම පාදය බිත්තියකට, පඩිපෙළට, උළුවස්සක් මත හෝ යටලී, බාල්ක, කුරුපාවක් මතට පතිතව ඇතිව පීඩාවට පත්ව ඇත්නම් එය කිසිම කැඩීමක් බිඳීමක් නොමැතිව වාස්තු විද්‍යානුකූල ක්‍රම මාර්ගයෙන් දෝෂය නිදොස් කිරීම ඉතා පහසුවෙන්ම කළ හැකි බවයි.

නිවසක බ්‍රහ්ම පාදය බලගන්වා ධනය, නිරෝගිකම ලබාගන්න

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment