බලවත් දරු උපතක් සඳහා සුබ මොහොතක එක් වන්න

155

විවාහ දිවියට ඇතුළත් වන සෑම කාන්තාවකගේ ම මූලික බලාපොරොත්තුව වන්නේ මව් පදවියයි. විවාහ ජීවිතය තුළ ස්වාමි – භාර්යා දෙදෙනාගේ බැඳීම වඩාත් ප්‍රබල වන්නේ ද දරුවෙකු ලැබුණු පසුවය. දරුවකු පිළිසිඳ ගැනීම සිදු වන්නේ පුරුෂයකුගේ බීජයක් ස්ත්‍රියකගේ ඩිම්බයක් සමග සංසේචනය වීමෙනි. මෙහිදී සිකුරු ග්‍රහයා පුරුෂ බීජ පාලනය කරන අතර ස්ත්‍රියගේ ඩිම්බ කුජ විසින් පාලනය කරනු ලබයි. සිකුරුගේ හා කුජගේ බලවත්කම අනුව ඔහුට හෝ ඇයට දරුවකු ලැබීමට භාග්‍යය ඇද්දැයි තීරණය කළ හැකිය. එමෙන්ම මෙහිදී ජන්ම කේන්ද්‍රයේ පස් වැන්න සහ එහි අධිපතියාත් පුත්‍ර කාරක ගුරු ග්‍රහයාත් පිළිබඳව විශේෂයෙන් අවධානයක් යොමු කළ යුතු ය.

කේන්ද්‍රයේ පස් වැන්න ශුභයන්ගෙන් යුක්ත නම් හෝ පස් වැන්නට ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබේ නම් හෝ පස් වැන්නාධිපති කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝණස්ථානයක බලවත්ව සිටියි නම් හෝ පුත්‍ර කාරක ගුරු ශුභ භාව ගතව බලවත්ව සිටී නම් දරුඵල සම්බන්ධයෙන් සුබදායකය. එමෙන්ම 5 වැන්නට 2, 11 සිටින ග්‍රහයන්ගේ සුබ දෘෂ්ටි ලැබීම ද 2 වැන්නාධිපති හෝ 11 වැන්නාධිපති ග්‍රහයෙක් 5 වැන්නේ සිටීම ද, 5 වැන්න හෝ 5 වැන්නාධිපති තැන්පත් රාශිය කටක, වෘශ්චික, මීන වැනි ඵලදායි රාශියක් වීම ද බොහෝ දරුවන් ලැබීමට හේතු වන පිහිටීම් වේ.

බලවත් දරු උපතක් සඳහා සුබ මොහොතක එක් වන්න

කේන්ද්‍රයේ 2, 11 හෝ කේන්ද්‍රස්ථාන , ත්‍රිකෝණස්ථාන යන භාවයක තැන්පත් 5 වැන්නාධිපතිට, ලග්නයට යෝග කාරක ග්‍රහයන්ගේ බලවත් දෘෂ්ටියක් ලැබේ නම් එම කේන්ද්‍ර හිමියන්ට විවිධ හැකියා ඇති දරුවන් ලැබෙයි. 5 වැන්නට හෝ ශුභ භාවගත 5 වැන්නාධිපතිට බලවත් ගුරු, බුධ යන ග්‍රහයන් ගේ දෘෂ්ටියක් ලැබේ නම් හෝ බුධ, ගුරු 5 වැන්නේ සිටී නම් හෝ 5 වැන්නාධිපති සමඟ සංයෝගව සිටීනම් එය ඉගෙනීමට දක්ෂ, බුද්ධිමත් දරුවන් ලැබෙන පිහිටීමකි. පස්වැන්නාධිපති රවි සමඟ සංයෝග වීමෙන් වාසනාවන්ත දරුවන් උපදී. පස්වැන්නාධිපති කුජ සමග සමග සංයෝග වීමෙන් නිර්භීත දරුවන් උපදී. පස්වැන්නාධිපති සිකුරු සමඟ සංයෝග වීමෙන් රූමත් දරුවන් උපදී. පස්වැන්නාධිපති දහවැන්නාධිපති සමඟ සංයෝග වීමෙන් ධනවත් දරුවන් උපදී.

ලග්නාධිපති හා 5 වැන්නාධිපති, ලග්නාධිපති හා 9 වැන්නාධිපති අතර ඇති වන පරිවර්තන යෝගවලදී, 5 වැන්නාධිපතිට බලවත් ගුරුගේ දෘෂ්ටියක් ලැබීම පින්වත් ගුණයහපත් දරුවන් ලැබීමට හේතු වේ. 5 වැන්න මිථුන, කන්‍යා, ධනු, මීන යන උභය රාශියක් වී එහි සඳු, සිකුරු, ගුරු යන ග්‍රහයන් තිදෙනාම හෝ දෙදෙනෙක් සිටී නම් එම ස්ත්‍රීන්ට පින්වත් නිවුන් දරුවන් ලැබේ.

පස්වැන්නාධිපති බුධගේ රාශියක වී පස්වැන්නාධිපති සමග යෝග වී හෝ බුධ ගේ දෘෂ්ටියට ලක් වේ නම් දරුවන් අහිමි විය හැකිය. පස් වැන්නාධිපති බුධ ගේ රාශියක වී පාප ග්‍රහයකුගේ දශා අතුරු දශා කාල ගත කරනවිට ගබ්සා විය හැකිය. පස්වැන්නාධිපතිට ශනිගේ දෘෂ්ටියක් ලැබේ නම් හෝ පස්වැන්නාධිපති සෙනසුරු සමඟ යෝග වී නම් දරුවන් නොලැබේ. කේන්ද්‍රයේ පස්වැන්නේ කුජ, ශනි සිටීමත්, පස්වැන්න කුජට, ශනිට පෙනීමත්, රවි ලග්නගතව සිටිය දී කුජ පස්වැන්නේ සිටීමත් දරුඵල අහිමි කරවන පිහිටීම් වේ.

පස්වැන්න කුජට අයත් රාශියක් වී රාහු එහි සිටීමෙන්ද, පස්වැන්න රාහු හා කුජගේ දෘෂ්ටියට ලක් වීමෙන්ද, පස්වැන්න හිමි ග්‍රහයා රාහු සමඟ පස් වැන්නේ සිටීමෙන්ද, කුජ ගුරු සංයෝගය යෙදීමෙන්ද දරුඵල අහිමි විය හැක. රවි පස්වැන්නේ පිහිටීමෙන් හෝ කුජ රාහු පස්වැන්නේ පිහිටීමෙන් ගබ්සා වීය හැක. පස්වැන්න හා ගුරු රාහුගෙන් පීඩාවට පත් වීමෙන්ද, අටවැන්නේ සිටින ගුරු හා සිකුරු සමඟ කුජගේ සම්බන්ධයක් ඇති වීමෙන්ද, පස් වැන්නේ හෝ අට වැන්නේ කුජ තැන්පත්ව ශනිගේ දෘෂ්ටි ලැබීමෙන්ද ගබ්සා වීම් ඇති වේ.

පස්වැන්නාධිපතියා නාශාංශක වීම හෝ පස් වැන්නේ නාශාංශක ග්‍රහයකු පිහිටීමද දරුඵල අහිමි වීමට හේතු වේ. පස් වැන්නාධිපතියා පාප ග්‍රහයකු සමග සංයෝගවී කේන්ද්‍රයේ කවර හෝ භාවයක සිටියදී, පස් වැන්නේ පාප ග්‍රහයකු තැන්පත්වීමද, පස්වැන්නාධිපතියා අටවැන්නේ පිහිටීම මෙන්ම අටවැන්නාධිපති ග්‍රහයාගෙන් පස් වැන්නට අසුබ දෘෂ්ටියක් ලැබීමද, ගුරු නීචවීමද, ගුරු ග්‍රහයා පාප ග්‍රහයන්ගෙන් පීඩාවීමද, ගුරු සිටින රාශිය දෙපස පාපී ග්‍රහයන් පිහිටීමද, ගුරු විසිදෙවන දෙර්කාණාධිපති ග්‍රහයා වී 6,8,12 සිටීමද, පස්වැන්නාධිපති විසිදෙවන දෙර්කාණාධිපතිගේ නැකතක පිහිටීමද, පස්වැන්නාධිපති බුධගේ රාශියක වී පස්වැන්නාධිපති සමග යෝග වී හෝ බුධ ගේ දෘෂ්ටියට ලක්වීමද දරුවන් අහිමි වීමට හේතු වන පිහිටීම් වේ. එමෙන්ම ලග්න කේන්ද්‍රයක පස්වැන්නත්, එහි අධිපතියාත්, ලග්නාධිපතිත් දුර්වලව පාප පීඩිතව ඇති කාන්තාවන්ට ගර්භාෂයේ හට ගන්නා දෝෂ හේතු කොට ගෙන දරුවෝ නොලැබේ.

පස්වැන්න හා හත්වැන්න අධිපතියන් දුර්වල වී පස් වැන්නට සුබ දෘෂ්ටි නොමැතිව හතරවැන්න හා හයවැන්න අධිපතීන් යෝග වී ඇති පුරුෂ කේන්ද්‍ර හිමියන්ට දාව ස්ත්‍රියකට දරුවන් නොලැබේ.

නිරෝගී දරු උපතක් ලබා ගැනීම සඳහා ස්ත්‍රියකගේ මාස් ශුද්ධිය අවසන් වූ දින සිට දින 16 ක් යන තුරු කාලය සුදුසුය. දරුවකු බලාපොරොත්තුවෙන් ස්ත්‍රියට හා පුරුෂයාට සම්භෝගයේ යෙදීම සඳහා රේවතී, රෙහෙණ , හත, සිත, උත්‍රසල, අනුර, සුවණ , සියාවස, උත්‍රපුටුප යන නැකැත් උදාවී තිබෙන දිනයන්ද, වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, මීන යන ලග්න උදාවී එහි 8 වැන්න පිරිසිදුව තිබෙන අවස්ථාද සුබය. සතියේ දිනවලින් සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දින සුබ වේ. පුර පක්ෂයේ 2,3,5,7,10,11,13 යන තිථි සුබය.

රවි, චන්ද්‍ර ,ගුරු, ශුක්‍ර ග්‍රහයින් තමන්ගේ ස්වක්ෂේත්‍ර රාශියක, නවාංශකයක හෝ ලග්න භාවයේ සිටි කල කුජ සංයෝග වී හෝ දෘෂ්ටි ලැබෙන අවස්ථාව ස්ත්‍රී පුරුෂ සම්භෝගය පැවැත්වීමට ඉතා යහපත්ය. ගුරු හෝරාවේ ගුරු පංචම හා සූක්ෂම හෝරාවක් සම්භෝගය ආරම්භ කිරීමට ඉතා සුබදායකය. රාත්‍රී 8.00 ත් අලුයම 4.00ත් අතර කාලය මේ සඳහා වඩාත් සුදුසු අතර පංචාංග ශුද්ධ දිනයක් වීම වඩාත් ප්‍රශස්තය.

ජ්‍යොතිර්වේදී,වාස්තුවිද්‍යා උපදේශක, විදුහල්පති, දේශමාන්‍ය ආචාර්ය –
කපිල ඉන්ද්‍රික ගුණදාස.
මාලිබොඩ- දැරණියගල. 076 824 8000

advertistmentadvertistment
advertistmentadvertistment