හඳහනක් නැතිව පලාපල කියන්නේ කෙසේද?

225

හඳහන හෙවත් කේන්ද්‍රය වෙනත් අයුරකින් හඳුන්වනවා නම් ජන්ම පත්‍රය සෑදීමට පදනම වන්නේ ජන්මියා මෙලොවට බිහි වූ වේලාව හා ස්ථානයයි. ඉපදුනු ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වෘත්තයක් ඇන්ඳොත් ග්‍රහතාරකාවන්ගේ පිහිටීම එහි සටහන් කළ හැකිය. එබැවින් ඊට කේන්ද්‍රය යයි කියනු ලැබේ. ග්‍රහ තාරකාවල පිහිටීම සඳහන් කරන සටහන හඳහන වෙයි. ජන්මය ලැබූ වේලාව අනුව ග්‍රහ පිහිටීම් දක්වන බැවින් ජන්ම පත්‍රය නම් වේ.

කෙසේ නමුත් එය සාදා ගැනීමට උපන් වේලාව හා ස්ථානය අවශ්‍යම වේ. එවිට උපන් වේලාව නොදන්නා නැතහොත් හඳහනක් නැති කෙනෙකුට ජ්‍යොතිෂයේ පිහිට ලැබිය නොහැකිද? යන ප්‍රශ්නය මතු වේ. අනෙක් අතට හඳහනක් සාදා තිබුණ ද එය නිවැරදි උපන් වේලාවට සාදා නැතිනම් නිවැරදි නොවෙන්නේය. නිවෙස්වල හෝ අතරමඟ උපන් කෙනෙකුගේ උපන් වේලාව වැරදීමට ඉඩ තිබේ. මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට පෙර ඇස්ට්‍රොලොජිකල් මැගසින් නම් ජාත්‍යන්තර සඟරාවේ පළව තිබූ උදාහරණයක් සාකච්ඡා කර බලමු.

ජ්‍යොතිර්වේදියකු වෙත පැමිණි කාන්තාවක් තම එකම දියණියගේ ජන්ම පත්‍රය ඉදිරිපත් කළාය. විවිධ අවස්ථාවල මෙම ජ්‍යොතිර්වේදියාගේ සේවාව ලබා ඇති අය පැමිණියේ ප්‍රශ්නයට විසඳුමක් අපේක්‍ෂාවෙනි. තවම දුවට කසාදයක් හරි ගියේ නෑ. ඇය ප්‍රශ්නය ද ඉදිරිපත් කළේ දුක්මුසු ලෙසය. මෙවිට ජ්‍යොතිර්වේදියා තම නිවසේ සාලයේ සිදුවන සිදුවීමක් දෙස බලාසිට යමක් අවබෝධ වූවාක් මෙන් හිස සැලීය.

මාසයක් යනකොට යෝජනාවක් එයි. ඒක ස්ථිර වෙයි. ඔහු පැවසීය. කාන්තාව තරමක් විමතියට පත් වූ බවක් පෙනුණි. තවම කේන්දරේ අතට ගත්තෙත් නැහැනේ. කොහොමද එහෙම අනාවැකි කියන්නේ?

එහෙම කියන්නේ ඔබ මට මේ හඳහන දෙනකොටම අපේ අර සාලේ ඉන්න අමුත්තා මගේ බිරිඳට මංගල ආරාධනාවක් කළා. “දුවගෙ මංගල්ලෙ ලබන මාසෙ විසිවැනිදා. නොවරදවාම දෙන්නම එන්න ඕන. කියල කියනවත් ඇහුන. ඒක නිමිති ක්‍රමයක්.

ජෝතිර්වේදියා පැවසූ ලෙසම අදාළ කාන්තාවගේ දියණියට මංගල යෝජනාවක් ස්ථිර විය. මේ අනාවැකිය කීමට ඔහු කේන්ද්‍ර සැදුවේවත්, ගණනය කළේවත් නැති බව අමතක නොකළ යුතුය. මේ මිථ්‍යාවක් නොවේ. මෙවැනි උදාහරණ නිරන්තරව අපට හමුවේ. දර්ශන නිමිත්ත හා ශ්‍රවණ නිමිත්ත යනුවෙන් මේ නිමිති ක්‍රමය හැඳින්වේ. ඇත්ත වශයෙන් ම මෙය ඔබට ද අත්හදා බැලිය හැකිය. සේවා දායකයකු ඉදිරිපත් කරන විවිධ ප්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාරය ජ්‍යොතිර් විiාවේදී ප්‍රශ්න ශාස්ත්‍රය නමින් හැඳින්වේ. ඇත්ත වශයෙන් ම ජන්ම පත්‍රයක් මගින් පලාපල කීම අසම්පූර්ණ බව කිව යුතුය. සරල උදාහරණයක් ගතහොත් මේ කාලයේ රෝගී වීමට ඉඩ ඇති බවත්, රෝග පිළිබඳවත් හඳහන මගින් කිව හැකි වේ. ඉන් ඔබ්බට යා හැක්කේ මෙම ප්‍රශ්න ශාස්ත්‍රය මැනවින් දත් ජ්‍යොතිර්වේදියකුට පමණි. එනම් රෝගියාට වෙදකම් කරන වෛiවරයා යහපත් ද? වෙනත් කෙනෙකු ළඟට යා යුතු වේද? දැනට නියමිත බේත් ලැබී තිබේද? කරන ප්‍රතිකාර නිසා වෙනත් රෝගයන් හටගනීද? සුවකර ගැනීම සඳහා රෝගියා උපදෙස් පිළිපදින්නේ ද නැද්ද යනාදී ප්‍රශ්නවලට පිළිතුරු ජන්ම පත්‍රය මගින් නොලැබේ.

ප්‍රශ්න ශාස්ත්‍රය තත්කාල ශාස්ත්‍රය නමින් ද හඳුන්වනු ලැබේ. පුරාණ ජ්‍යොතිෂ ග්‍රන්ථවල මේ සඳහා වෙනම පරිච්ඡේද ඇති අතර, ප්‍රශ්න ශාස්ත්‍රය ඉගැන්වීමටම ලියන ලද ග්‍රන්ථ ද දක්නට ලැබේ. පහත සඳහන් වන්නේ ඉන් කිහිපයකි.

දෛවඥ කාමඛනු –
තාජිත නීලකණ්ඨි –
ප්‍රශ්න ඥාන ප්‍රදීපය –
ෂට් පංචශිඛා –
භුවන දීපිකාව –
තත්කාල නිමිත්ත –

ජන්ම පත්‍රය සඳහා උපන් වේලාව පදනම් කරගනු ලබන අතර, තත්කාල ශාස්ත්‍රයේදී සේවා දායකයා ජ්‍යෝතිර්වේදියා වෙතට ඉදිරිපත් වූ වේලාවට කේන්ද්‍රයන් සාදනු ලැබේ. බුලත් අතක් පිළිගැන්වීමේ පුරාතන චාරිත්‍රය අනුවම එය සිදුවෙයි. බුලත් අත පිළිගන්වන වේලාව සටහන් කරගන්නා දෛවඥයා ඒ වේලාවට උදාවන ලග්නය, නවාංශකය, හෝරාව ආදීය සටහන් කර ගනී. පිළිතුරු දෙන්නේ ඒ අනුවය.

එහෙත් ප්‍රශ්න විනිශ්චය කිරීමේ එකම පදනම වන්නේ තත්කාල කේන්ද්‍රයම නොවේ. ජ්‍යෝතිර්වේදියාට පෙනෙන දේ ද ඇසෙන දේ ද හිතට දැනෙන දේ ද ප්‍රශ්න විනිශ්චය කිරීමේ සංඥා වන්නේය.

දර්ශන නිමිත්ත යනු පෙනෙන දේ අනුව සංඥා කරන කරුණු වන අතර ශ්‍රවණ නිමිත්ත යනුවෙන් හඳුන්වන්නේ කනට ඇසෙන දේ අනුව ප්‍රශ්නය විසඳීමයි. ඉහත දැක්වූ ඉන්දියානු ජ්‍යෝතිර්වේදියා තම සේවා දායිකාවගේ දියණියට මාසයක් ඇතුළත විවාහයක් ස්ථිර වන බව කීවේ මේ අනුවය. පුරාතනයන් ගමනක් පිටත් වන විට දකින දේ අනුව ප්‍රතිඵල වටහා ගත්හ. මේ පැරණි කවියෙන් ඒ බව සනාථ කරයි.

සුන් බඳුන්, දුසිල් මහනුන් කළු පිළිය
යොන් දනන්, මැහැළියන් හැඳි වැරහැලිය
ගින්දරත්, සුරා සොඬුනුත් නැති විලිය
යන්නටත් එපා පෙරමඟ දුටු කලිය

උක්ත කරුණු අනුව තත්කාල ශාස්ත්‍රයේ හෙවත් ප්‍රශ්න ශාස්ත්‍රයේ ආරම්භය මෙවැනි නිමිති වෙයි. මෙවැනි නිමිති ක්‍රම දහයක් පුරාණ ග්‍රන්ථවල දැක්වේ. එනම්,

  1. දර්ශන නිමිත්ත
  2. ශ්‍රවණ නිමිත්ත
  3. සිත නිමිත්ත
  4. චිත්තාරම්මන නිමිත්ත
  5. අක්‍ෂර ස්පර්ශාදී නිමිත්ත
  6. සුපින නිමිත්ත
  7. භාෂණ නිමිත්ත
  8. ආගත නිමිත්ත
  9. ගත නිමිත්ත
  10. තත්කාලීන සිද්ධ නිමිත්ත

ආදී වශයෙනි. මෙම සියලු නිමිති සුබ අසුබ වශයෙන් බෙදෙන අතර ඒ අනුව නිමිති ක්‍රම විස්සක් වන්නේය.

ඉහත දක්වන ලද්දේ හඳහන නැතිව පලාපල කීමට පදනම් වන ප්‍රශ්න ශාස්ත්‍රය හෙවත් තත්කාල ශාස්ත්‍රයේ මූලික කරුණු කිහිපයකි. මේ අනුව ප්‍රශ්නය වටහා ගන්නා අතර ඉතිරි විසඳුම් නැතහොත් විස්තර තත්කාල කේන්ද්‍රය මගින් විස්තර කළ හැකි වේ. මේ ශාස්ත්‍රයට පිවිසීමට පෙර ජ්‍යෝතිර් විiාවේ මූලික කරුණු පිළිබඳව මනා දැනුමක් තිබිය යුතු බව ග්‍රන්ථවල දැක්වේ. එනම් රාශි දොළහ නවග්‍රහයින් ආදිය පිළිබඳ සිද්ධාන්ත වේ.

මේ අනුව රාශි 12 චරු තිරා උභය ස්වභාවය ධාතුමුල ජීව, මෙන්ම ග්‍රහයන්ගේ සියලු කරුණු දැන ගැනීම වැදගත් ය. උදාහරණ වශයෙන් යම් කාරණයක් ඉටුවේද? නොවේද යන ප්‍රශ්නය ගනිමු.

ලග්නාධිපති ග්‍රහයාට කර්මස්ථානය පෙනීම, කාර්යාධිපති ග්‍රහයාට ලග්නය පෙනීම, ලග්නපති, කාර්යාධිපති දෙදෙනා චන්‍ද්‍රයාට පෙනීම, ලග්නපති, කාර්යාධිපති ඔවුනොවුන් දැකීම යන කරුණු අනුව ප්‍රශ්න කරන කරුණු ඉටුවන්නේය.

තත්කාල ශාස්ත්‍රය යනු කුමක් දැයි හඳුනාගැනීමට පමණක් උගත් පාඨකයාට මෙම ලිපිය මගින් ඉඩ ලැබෙන නමුත් පැහැදිලි කිරීමට දිගු ලිපියක් ලිවීම අවශ්‍ය වේ.

කෙසේ නමුත් අතීතයේදී පුස්කොලයක සටහන් කළ දළ කේන්ද්‍රය පදනම් කර ගනිමින් තමා කරා දිනකට එන සේවාදායකයන් ගණනාවකට ඉක්මනින් පලාපල කීවේ කෙසේද? පරිගණක හෝ ගණක යන්ත්‍රයක් පවා නැතිව පැරණි ජ්‍යෝතිර්වේදීන් විස්මිත අනාවැකි කීවේ කෙසේද යන්න දැන ගැනීමට මෙම කරුණු ඉවහල් වේ යැයි සිතමු. එබැවින් පදිංචි නිවස, එහි අණවින, බහිරව ප්‍රේත ආදී දෝෂ, වාස්තු දෝෂ, අසනීපවල ස්වභාවය, ආදී බොහෝ කරුණු අනාවරණය කිරීමට නම් තත්කාල ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කළ යුතු බව අවධාරණය කරමු.

මතු සම්බන්ධයි

advertistmentadvertistment
advertistmentadvertistment