අදූරදර්ශී වැඩ නිසා ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් 80ක් හිඟයි – ගුවන් නියමුවන්ගේ සංසදය

113

ශ්‍රී ලංකන් කළමනාකාරීත්වයේ අදූර්දර්ශී සහ හිතුවක්කාර තීන්දු තීරණ නිසා ගුවන් නියමුවන් තුන්සිය තිහක් සිටිය යුතු ගුවන් සේවයේ දැනට සිටිනුයේ ගුවන් නියමුවන් 250ක පමණ පිරිසක් යැයි ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය සඳහන් කරයි.

මෑතක සිට ශ්‍රී ලංකන් ගුවන් ගමන් සම්බන්ධයෙන් ගැටලු මතුවී තිබෙන්නේ කළමනාකාරීත්වයේ එකී අකර්මණ්‍යතාව නිසා බව ද ඔවුහු කියති.

පවතින තීරණාත්මක හා බරපතළ ගැටලු කළමනාකාරීත්වය විසින් විසඳා නොගැනීම හේතුවෙන් ගුවන් සමාගම තුළ වත්මන් ව්‍යසනකාරී තත්ත්වය ඇතිවී ඇතැයි ද ගුවන් නියමු සංසදය පවසයි.

නියමිත ගුවන් ගමන් සඳහා පූර්ණ ධාරිතාවකින් යුතුව කටයුතු කිරීමට ගුවන් නියමුවන් 330 ක් අවශ්‍ය වුවද ගුවන් නියමුවන් මුහුණ දෙන ගැටලු හේතුවෙන් ඉකුත් 2022 හා 2023 අතර ගුවන් නියමුවන් 70 ට අධික පිරිසක් ඉල්ලා අස්වී ඇති බව ද ඉදිරියේදී තවත් බොහෝ දෙනා ඉල්ලා අස්වනු ඇතැයි ද එම සංසදය අවධාරණය කරයි.

ගුවන් සේවා ඇමැතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගොස් කුමක් ප්‍රකාශ කළ ද පසුගිය දා පැය 12 කටත් අධික කාලයක් ප්‍රමාද වී පිටත් වූ ගුවන් යානයකට අනුයුක්ත කිරීමට සේවය සඳහා සූදානම් වූ ගුවන් නියමුවන් නොසිටීම පවතින ගැටලුවේ බරපතළකම දැක ගැනීමට ලැබුණු අවස්ථාවක් බව ද ඔවුහු පවසති.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment