මැලේරියා නැගිටියි – මේ වසරේ ලංකාවෙන් මැලේරියා රෝගීන් 10 ක්

106

එතෙර සිට ආවා නම් වහාම රුධිර පරීක්ෂාවක් කර ගන්න

මේ වසරේ මේ දක්වා මෙරටින් මැලේරියා රෝගීන් දසදෙනකු හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙලෙස හඳුනාගත් රෝගීන් අතරින් නවදෙනකු ශ්‍රී ලාංකිකයින් බවත්, ඔවුන්ගෙන් බහුතරය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවත් එම සංගමය පවසයි.

ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් වුවද විදේශිකයින් හා විදේශගතව සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් මැලේරියා පරපෝෂිතයා මෙරටට පැමිණෙන බවද මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

මැලේරියාව හඳුනා ගැනීමේ රුධිර පටල පරීක්ෂාවන් මැලේරියා මර්දන ව්‍යාපාර මූලස්ථානය, සියලුම ප්‍රාදේශීය මැලේරියා මර්දන කාර්යාල, මූලික රෝහල්, දිස්ත්‍රික් සහ පළාත් රෝහල් මෙන්ම පරීක්ෂණ රෝහල්වලින් සිදු කර ගත හැකි බව මැලේරියා මර්දන ව්‍යාපාරය ජනතාවට දැනුම් දෙයි.

ශ්‍රී ලංකාව තුළ නැවත මැලේරියා වසංගතයක් ඇතිවීම වැළැක්වීමට මේ වසරේ මැලේරියා දින තේමා පාඨය ‘මැලේරියාවෙන් තොර ශ්‍රී ලංකාවක් සඳහා අවදානම් කාණ්ඩ හඳුනා ගනිමු’ ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි ප්‍රජා වෛද්‍යවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී, මැලේරියා මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය නවින් ද සොයිසා මහතා ‘දිවයින’ට පැවසීය.

මැලේරියාව යනු Palsodium නමැති පරපෝෂිතයා මගින් ඇති වන Anopheles නමැති මදුරු විශේෂය හරහා පැතිරෙන රෝගයකි.

2019 වසර තුළදී මෙරටින් මැලේරියා රෝගීන් 53 ක් ද, 2020 වසරේදී රෝගීන් 30 ක් ද, 2021 දී රෝගීන් 26 ක් සහ 2022 වසරේදී රෝගීන් 37 ක් ද වාර්තා වූ බව මැලේරියා මර්දන ව්‍යාපාරය වැඩිදුරටත් සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment